‘මනෝ රම්‍ය’ මනෝ

‘මනෝ රම්‍ය’ මනෝ

යලත් මනෝරත්න අද්විතීය රංගන කුසලතාවයෙන් හා ගායනයෙන් අපගේ දෙනුවන් හා දෙසවන් පිනවූ රංගධරයෙකි. ඔහු විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද මහගිරිදඹ, තලමල පිපිලා, අන්දරේලා, ගුරුතරුව, සඳගිර, කනේරුමල්, සුදුරෙදි හොරා, ලෝකය තනි යායක් යන නාට්‍යයන්හි එන මියුරු නාට්‍ය ගීත වෙනම ගෙන වූවද රස විඳිය හැකිය. මෙම විශිෂ්ට රංගධරයාගේ නාට්‍ය ගීත එකතු කොට නිර්මාණය කරන ලද මනෝ රම්‍ය ගී ප්‍රසංගය පසුගියදා මුල්වරට වේදිකා ගත විය. මේ සාකච්ඡාව ඒ පිළිබඳ ය.

* සංගීතය නාට්‍යයට බද්ධ වන්නේ කුමන අවදියේදී ද?

පෙරදිග මෙන්ම අපරදිග නාට්‍ය කලාවේ පෝෂණයට බෙහෙවින් දායක වන ක්ෂේත්‍රයක් ලෙස සංගීතය හැඳින්විය හැකිය. ග්‍රීක නාට්‍ය ආරම්භය සඳහා යොදා ගත් “දිතිරම්භ” නම් ගායක වෘන්දය නාට්‍ය සඳහා සංගීතය හා ගායනය යොදාගත් ආරම්භක අවස්ථාවක් ලෙස ඉතිහාසයේ සටහන් වෙනවා.

චීනය, ජපානය, ඉන්දියාව වැනි පෙරදිග රටවල් කේන්ද්‍ර කරගෙන ගොඩනැඟුණු නාට්‍ය ධර්මී නාට්‍ය කලාවේ එක් වැදගත් ලක්ෂණයක් ලෙස රංගනය සඳහා සංගීතය හා නර්තනය කැටිකර ගැනීම දැක්විය හැකිය. දේශීයව බැලුවත් බලි තොවිල් යනාදි ශාන්ති කර්මවලින් පටන්ගෙන ගැමි නාට්‍යය,, සොකරි, නාඩම්, පාස්කු, නූර්ති යනාදිය හරහා වර්තමාන සිංහල නාට්‍ය එම ස්වරූපය දක්වා වර්ධනය වීමට සංගීතය හා ගායනය බෙහෙවින් දායක වුණා.

* දේශීය නාට්‍ය කලාවක් බිහිකිරීමට මෙන්ම පේ‍්‍රක්ෂකයන් ඇද බැඳගත් මධුර නාට්‍ය ගීත සාහිත්‍යක් බිහිකිරීම කෙරෙහිත් සරත්චන්ද්‍රයන්ගේ දායකත්වය වැදගත් නොවේද?

සරච්චන්ද්‍රයන් නාඩගම් ආශ්‍රය කොටගෙන ‘මනමේ’ නාට්‍යය නිෂ්පාදනය කිරීමේදී සංගීතය නැවත වරක් නාට්‍යයට එකතු වන අයුරු දක්නට ලැබෙනවා. මනමේ නාට්‍යයේ එන “පේ‍්‍රමයෙන් මන රංජිත වේ” වැනි ගීතයත් සිංහබාහු නාට්‍යයේ එන “ගල් ලෙන බිඳලා” වැනි ගීතයත් මුල්වරට ගායනා කොට වසර 50 ක් පමණ ගතවී තිබියදීත් රසිකයින්ගේ මතකයෙන් තවමත් ඈත්ව ගොස් නැහැ. 56 න් මෙපිට ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන වැනි නාට්‍යකරුවන් බොහෝදෙනෙක් තමන්ගේ නාට්‍ය සඳහා සංගීතය හා ගීතය යොදා ගන්නා අයුරුත් රසිකයින් ඉතා කැමැත්තෙන් ඒවා පිළිගන්නා අයුරුත් දක්නට ලැබෙනවා.

* ඔස්ටින් මුණසිංහගේ සිට නවරත්න ගමගේ දක්වා සංගීතඥයන් ගණනාවක් ඔබගේ නිර්මාණ සඳහා දායක කරගෙන තිබෙනවා. ඔබගේ නිර්මාණ කාර්යය සඳහා අනන්‍යය වූ නිර්මාණකරුවෙක් තවම හමුවී නැත්ද?

නාට්‍යයක පෙළ රචනා කිරීමෙන් පසු නිෂ්පාදනය දක්වා යන ගමනේදී තවත් ශිල්පීන් ගණනාවකගේ ආධාරය නාට්‍යය නිෂ්පාදකට ලැබෙනවා. නාට්‍ය කලාවේදී මේ කාර්යය අපි කලාත්මක ප්‍රයුංජනය ලෙස හඳුන්වනවා. නාට්‍යය නිෂ්පාදනය ස්වභාවය අනුව තෝරගන්නා ශිල්පීන් වෙනස්වීම ස්වභාවිකයි. මගේ දෙවෙනි නිෂ්පාදනය වු ‘පුත්‍ර සමාගම’ නාට්‍යය සඳහා සංගීතය සැපයුවේ ලක්ෂ්මන් විජේසේකරයි.

ඉන්පසුව නිෂ්පාදනය කළ ‘තලමල පිපිලා’, අන්දරේලා, ගුරුතරුව හා සඳගිර නාට්‍යයන්ට සංගීතය සැපයූවේ රෝහණ වීරසිංහ, රෝහණ බැද්දගේ, රංජිත් බාලසූරිය හා මහානාම වික්‍රමසිංහයි. නවරත්න ගමගේ මට හමුවන්නේ ‘කනේරු මල්’ නිෂ්පාදනයේදී. ඉන්පසු නිෂ්පාදනය කළ සුදුරෙදි හොරු, ලෝකය තනියායක් නාට්‍ය ද්විත්වයටත් ඔහු සංගීතයෙන් සම්බන්ධ වූවා.

* ගුරු තරුවෙන් ඔබ ආරම්භ කළ ගමන ඔබේ යැයි කිව හැකි රංග ආකෘතියක් සොයා ගිය ගමනක් ලෙස හැඳින්විය හැකිද?

ඕනෑම නාට්‍යකරුවෙකුට නාට්‍ය කලාව සමඟ ඉදිරියට යාමේදී තමන්ගේ ප්‍රකාශනය සඳහා විවිධ ශෛලීන් විවිධ ආකෘතින් සොයාගෙන යාමට සිදුවෙනවා. නාට්‍ය, කවිය, චිත්‍රය වගේ බොහෝ කලා මාධ්‍යය දියුණුව ලබා තිබෙන්නේ ආකෘතිය වෙනස් කිරීමෙන්. මෙතැනදී වැදගත් වෙන්නේ ආකෘතිය තමුන්ට උවමනා ආකාරයට වෙනස් කිරීමට වඩා සමාජීය අවශ්‍යතාවයන්ට අනුව වෙනස් කිරීමයි.

මගේ මුල්ම නාට්‍යය වූ මහගිරිදඹ සඳහා යොදා ගත්තේ සරළ ආකෘතියක්. ඊළඟ නාට්‍ය පුත්‍ර සමාගම නිෂ්පාදනය කළේ තාත්වික සම්ප්‍රදායට අනුවයි. ‘තලමල පිපිලා’ නාට්‍ය තුළ මේ දෙකේ මිශ්‍රණයක් දකින්නට ලැබෙනවා. අන්දරේලා නාට්‍ය නිෂ්පාදනය කළේ ගැමි රඟමඩල පාදක කරගෙනයි.සමාජමය ගැටලුවක් රමනීයත්වයකින් යුතුව ඉදිරිපත් කිරීමේදී වාර්තා රංගය වැදගත් වෙන බව ගුරුතරුව නිෂ්පාදනයේදී මට වැටහුණා. එතැන් සිට ඉදිරියට රංගය තෝරා ගත්තේ ඒ අනුවයි.

* ඔබ නාට්‍ය නිෂ්පාදනය සඳහා බොහෝවිට ස්වතන්ත්‍ර රචනා පිළිබඳ අවධානය යොමු කරන්නේ ඇයි?

පරිවර්තන නාට්‍ය නිෂ්පාදනය තුළින් ලෝකයේ බිහිවූ විශිෂ්ට මට්ටමේ නාට්‍ය නිෂ්පාදන දැකබලා ගැනීමට මෙරට රසිකයාට අවස්ථාව ලබාදිය යුතුයි. නමුත් රටක් හැටියට අපට අනන්‍යය නාට්‍ය කලාවක් ගොඩනඟා ගැනීමට නම් අපි ස්වතන්ත්‍ර රචනා කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා.

56 මෙපිට ගත්තහම අපේ නාට්‍ය කලාවේ විශාල ප්‍රබෝධයක් වර්ධනයක් ඇතිවී තිබෙනවා. නමුත් අනෙකුත් අංශවලට සාපේක්ෂව පිටපත් රචනයේ වර්ධනයක් සිදුවී නැහැ. ස්වතන්ත්‍ර රචනය අමාරු වැඩක්. ඒ නිසා අනෙකුත් අංශ පිළිබඳ මෙන්ම පිටපත් රචනය පිළිබඳවත් අප උනන්දු විය යුතුයි. පරිවර්තන සඳහා බොහෝ දෙනෙක් යොමුවන්නේ නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට ආසාව තිබුණත් ඒ සඳහා හොඳ පිටපතක් සොයාගත නොහැකිවීම නිසයි.

* රූපවාහිනී නාට්‍යය හරහා කලාතුරකින් දකින්නට ලැබීමට හේතුව කුමක්ද?

ඒ සඳහා බලපාන එකම හේතුව රංගනය සඳහා සුදුසු ටෙලි නාට්‍යය නිෂ්පාදනය නොවීමයි. ආරාධනා නම් දිනපතා වාගේ ලැබෙනවා. නමුත් ඒ නාට්‍යවලට සම්බන්ධ වීම කාලය අපතේ යැවීමක් කියලා මට හිතෙනවා. නළුවෙක් හැටියට මම රංගනයෙන් තෘප්තියක් ලබනවා. තමා සම්බන්ධ වන කෘතිය මඟින් කිසියම් රසයක් ලබාදෙන ගමන් රස විඳින්නාට දැනුමක් ලබාදීමේ වගකීමක් රංගන ශිල්පීන් හැටියට අපට තිබෙනවා. මතුපිටින් අතපතගාන ඇල්මැරුණු ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වෙනවාට වඩා නිකන් ඉන්න එක හොඳයි.

* නාට්‍ය කිහිපයක ගීත ඇතුළත් ‘මනෝ රම්‍ය ගී’ ප්‍රසංගයේදී ඔබ ඒකමිතියක් ගොඩනගා ගත්තේ කෙසේද?

චිත්‍රපට, නාට්‍යවල ගීත ප්‍රසංග සඳහා ඉදිරිපත් කෙරෙනවා අපි දැක තිබෙනවා. ඒ සඳහා බොහෝවිට භාවිතා කෙරෙන්නේ පටිගත කළ ගීත. නාට්‍යය ගීතයක් වෙනමත් රස විඳින්න පුළුවන්. අපි මෙතැනදි උත්සහ කළේ නාට්‍ය ගීතයේ යටිපෙළ අරුතක් තිබෙනවා නම් එය මතුවන ආකාරයට විවිධත්වය තුළින් විචිත්‍රත්වයක් මතු කිරීමටයි. රංගාලෝකය, ඇඳුම් පැළඳුම් හා ශබ්ද විකාශ පද්ධති පවා ඒ සඳහා නව්‍ය ආකාරයකින් භාවිතයට ගැනීමට අපි මෙහිදී උත්සාහ කළා.

* මෙවැනි ප්‍රසංගයක් ඉදිරියට පවත්වාගෙන යෑම එක්තරා ආකාරයක අභියෝගයක් නොවේද?

මෙම ප්‍රසංගය සඳහා නාට්‍ය ශිල්පීන් රාශියක් සම්බන්ධ වෙනවා. ඒ වාගේම රංගාලෝකය සඳහා ශබ්දවාහිනී යන්ත්‍ර සඳහා විශාල වියදමක් වැයවන නිසා නිෂ්පාදන පිරිවැය වැඩියි. Fonth Wall රංග මණ්ඩපය ශිල්පීන්ගෙන්ද කිසියම් දායකත්වයක් ලබාගෙන මෙවැනි උත්සාහයක් ප්‍රචලිත කිරීමට උත්සාහ කරනවා. පුද්ගලික අංශයේ අනුග්‍රහකයන්ගේ සහයත් ඉදිරි ප්‍රදර්ශන වාර සඳහා බලාපොරොත්තුª වෙනවා.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා