‘වසන්තයේ අග’ එඩ්වඩ් සහ චරිතා

‘වසන්තයේ අග’ එඩ්වඩ් සහ චරිතා

විශාරද එඩ්වඩ් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනී ඔක්තෝබර් 16 වෙනිදා සිට ‘වසන්තයේ අග‘ ගීතාවලිය රැගෙන යුරෝපයේ සංචාරයක යෙදෙයි. නව ආරක් ගත් මෙම ප්‍රසංගයට එඩ්වඩ් – චරිතා යුවළට අමතරව හර්ෂණ දිසානායක හා ශාරන්‍යා ජයකොඩි ද ගායනයෙන් ද දර්ශනපති විජේරත්න රණතුංග, තිස්සසිරි පෙරේරා, සුසිල් අමරසිංහ, චතුර ප්‍රසාද්, චන්දීප ජයකොඩි වාදනයෙන්ද සම්බන්ධ වෙති.

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ තිස් පස් වසරක ගී කෙතින් වහනය වන්නේ දේශීය සුවඳය. ජනකවි ආරෙන් පෝෂිත සොබා දහමේ හා ගැමි සෞන්දර්යේ විචිත්‍රත්වය රැගත් ඔහු විසින් ගායනා කළ සෑම ගීතයක්ම මානව දයාවෙන් පිරිපුන්ය. එඩ්වඩ් ජයකොඩි ගායකයෙකු ලෙස ජන හදවත් තුළ තැන්පත්වන්නේ “ අකුරු මැකී නෑ “ ගීතයත් සමඟමය. කුමාරදාස සපුතන්ත්‍රී පද රචනා කොට රෝහණ වීරසිංහ සංගීතවත් කළ එම ගීතය ඔහුට එක රැයකින් ජනපි‍්‍රයත්වයක් ලබා දීමට සමත්විය.

ගතවූ දශක තුන තුළදී සිංහල සංගීතය විවිධ ප්‍රවණතාවන්ට හසුවු අතර එම රැලිසුලි ඉදිරියේ බොහොමයක් ගායක ගායිකාවෝ සුරියකාන්තකරණයට ලක්වූහ.එඩ්වඩ් ජයකොඩිගේ ප්‍රවේශය මෙහිදී සුවිශේෂ වන්නේ ඔහු එතෙක් ගොඩනඟාගෙන සිටි පෞරුෂය තවදුරටත් රඳවා ගැනීමට සමත්වීම නිසාය. පසුගිය ජනවාරියේ එඩ්වඩ් තම ප්‍රථම ඒක පුද්ගල සංගීත ප්‍රසංගය පැවැත්වූ විට රසිකයන් දහස් ගණනක් රැස්වී ඔහු ගිය මඟ අනුමත කළේය.

එඩ්වඩ් සංදර්ශන වේදිකාවට නැතිවම බැරි ගායකයෙකු වන්නේ 80 දශකයේ සිටය. ඔහු විසින් එම කාලය තුළදී “ සීතල පිණිමත “, කැරකෙන රොදේ’’ හා ‘ සමනලයා මල සහ ළමයා ‘ යනුවෙන් කැසට්පට දෙකක් හා සංයුක්ත තැටියක් එළි දැක්වන ලදී. පෙරදී සඳහන් කළ පරිදි ප්‍රථම ගීතයේ සිටම ජනපි‍්‍රයත්වය ඔහු පසුපස හඹා ගියද එඩ්වඩ් ජනපි‍්‍රයත්වය පසු පස හඹා නොගියේය. එඩ්වඩ්ගේ ජනපි‍්‍රයත්වය මේ කරදිය ගැබෙන් පිටතට ගලා ගියේය. විදෙස් රටවල පවත්වන ප්‍රසංගය සඳහා ආරධනා ලැබෙන කලාකරුවන් දෙපලක් ලෙස එඩ්ව්ඩ් හා චරිතා යුවල හැඳින්විය හැක.

චරිතා ගායනා කළ ඇගේ මුල්ම ගීතය වූ “සෙනෙහෙසේ නවාතැනේ මගේ ලොවේ” ගීතය එඩ්වඩ්ගේ අකුරු මැකි නෑ “ ගීතය ලෙසම ජනපි‍්‍රය විය. ඇය පසුගිය කාලය තුලදී “ සෙනෙහෙසේ නවාතැනේ” නමින් කැසට් පටයක් හා “ අහස් ගැබේ “ හා “ සල්මල්යාය “ යනුවෙන් සංයුක්ත තැටි දෙකක් එළි දක්වා ඇති අතර ඔවුන් දෙදෙනාම එක්ව පසුගිය වෙසක් මාසයේදී ‘ මෙත්මල් විල’ යනුවෙන් බෞද්ධ ගීතාවලියක් නිකුත් කළේය. බෞද්ධ ගීත බොහොමයක් “මෙත්මල් විල” තුළ ඒකරාශී වී තිබීම නිසා එම සංයුක්ත තැටිය බෞද්ධ ගීතාවලියක් ලෙස හැඳින් වූවද එම නිර්මාණාවලිය තුළ බුදු ගුණ ගීතාවලට අමතරව මව් ගුණ ගී හා පිය ගුණ ගී මෙන්ම ගුරු ගුණ ගීත ද ඇතුළත්ය.

යුරෝපයේ ශීත සෘතුව ගලාගෙන එන වසරේ අග භාගයේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් උණුසුම් කරවන සිදුවීමක් සිදුවෙයි. ඒ විශාරද එඩ්වඩ් ජයකොඩි හා විශාරද චරිතා පි‍්‍රයදර්ශනී “ වසන්තයේ අග“ නමින් නවතම ගායන ප්‍රසංගයක් සමඟ විදේශ සංචාරයකට එළඹීම නිසාය. ගායක ගායිකාවන්ගේ විදේශ සංචාර සංගීත ක්ෂේත්‍රයට අලුත් දෙයක් නොවේ. ඒ නිසා එඩ්වඩ්ගේ හා චරිතාගේ සංචාරය ගෙන එන නවතාවය කුමක්දැයි දැන ගැනීමට රිසිවීම සාධාරණය.

“ විදේශ සංචාරවලදී අපි දැකපු දෙයක් තමයි දෙමව්පියන් ප්‍රසංගය පැවැත්වෙන කාලය තුළදී දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට යොමු කිරීම. අපි ළමයින් වෙනුවෙන් ගීත කිව්වත් ඒවා අහන්න ළමයින් කැඳවාගෙන එන්නෙ නැහැ.” එඩ්වඩ් හා චරිතා පවසන්නේ එය ඔවුන්ට කඳුළක් එක් කළ සිදුවීමක් වූ බවයි. මෙවර ඔවුන්ගේ යුරෝපා සංචාරයේදී දරුවන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටත් ඒවා ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන පැවැත්වීමටත් ඔවුහු අදහස් කරති.

මේ ළමයි පිටරවල ජීවත් වුණත් ඔවුන් ලක් මවගේ දරුවෝ. සමහර විට මේ දරුවෝ තමන්ගේ මව් බස සිංහල කතා කරන්න නොදන්නවා වෙන්න පුළුවන්. එහෙම කියාල ඒ ළමයි ප්‍රතික්ෂේප කරන්න අපිට බැහැ. විශාරද එඩ්වඩ්ගේ හා චරිතාගේ ගීතාවලිය විශිෂ්ට මව්ගුණ හා බුදු ගුණ ගී රැසකින් හා ළමා ගී රැසක්ද ඇතුළත්. ඒ වගේම ඔවුන්ගේ ගීතයන්හි ප්‍රේමයද අනිවාර්යෙන්ම ඇතුළත්ව තිබෙනවා.

ළමා ගීත අතරින් ඉදිරියෙන්ම තිබෙන කොපර කොපර පිපිඤ්ඤා , රජ්ජුරුවෝ උඩයි උඩයි, කටු අකුළේ , සුළඟක්වී, චක්ගුඩු ගුඩු ගුඩු යනාදි ගීත ඔහු ගායනා කරන්නට අදහස් කරන්නේ විදෙස් ගතව සිටින මේ ස්වදේශික දරුවන් සමඟයි. එය ඔවුන්ගේ සිත් තුළ ජාතික හැඟීම මෙන්ම ගහකොළ පිළිබඳ ඇල්මක් ඇති කිරීමටත් හේතු වනු ඇත. ඒ අනුව මේ සීත සමය අන් කරවදාටත් වඩා විදෙස්ගත ශ්‍රීලාංකිකයන්ට මව්බිමේ උණුසුම ගෙන එනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා