සත් එෆ්. එම්. ඔස්සේ දැලි පිහියෙන් කිරි කන අඹ යාලුවෝ

සත් එෆ්. එම්. ඔස්සේ දැලි පිහියෙන් කිරි කන අඹ යාලුවෝ

පාදූප කට කතා අහන්න කවුරුත් කැමතියි. සමහර පුවත් මාධ්‍යවලින් ප්‍රචාරය වෙන්නත් කලින් රට පුරා කට කතාවලින් ප්‍රචාරය වූ අවස්ථාත් අප දැක තිබෙනවා “රට වටකර වැට බැන්දත්, කට වටකර වැට බඳීන්න බැහැලූ” ගමේ පොදු ළිඳ ළඟට එකතු වන ගැහැනු කට කතා කියන්නත් කට කතා පතුරවන්නත් හැබෑ දක්ෂයෝ කියලයි ගමේ උදවිය කියන්නේ. ඒත් මේ කතා කරන්න යන ඕපාදූප නම් ඊට වෙනස්.

මේ කතා කරන්නේ ගමේ ගොඩේ ඕපාදූප නෙවෙයි. දේශපාලන කරලියේ තිරයෙන් පිටුපස සිදුවන ඕපාදුපයි. දේශපාලන වේදිකාවේ මහ ඉහළින් විවේචන කරන පක්ෂ විපක්ෂ මතවාද මතභේද මැද පාර්ලිමේන්තුවේ මහ විවාද මැද ප්‍රබල වාග් ප්‍රහාරයන් එල්ල කරගන්නා දේශපාලන දැවැන්තයින් පාර්ලිමේන්තු ලොබියේ ආපන ශාලාවේ හෝ වෙනත් උත්සව අවස්ථාවලදී හමුවී කැමරා ඇසින්, මයික්‍රෆෝනයෙන් මිදී කරන කතාබහ පිළිබඳවයි මේ ඕපාදූප කතාවෙන් කියන්නේ. එෆ් එම් 103.6 සත් එෆ් එම් ඔස්සේ සෙනසුරාදා උදෑසන 8 සිට 9 දක්වා විකාශ වන රතුඑළිය වැඩසටහන පිළිබඳවයි අප මේ කතා කරන්නේ.

‘රතු එළිය’ හරහා දේශපාලන ලෝකයේ ඕපාදූප ගෙන එන ඒ ඕපාදූපකරුවන් දෙදෙනා පසුගියදා අපට මුණගැසුණා. ඒ චන්දන බණ්ඩාර සමඟ නිපුන් ඒකනායකයි. දැනට ‘සිළුමිණ’ පුවත්පතේ සතියේ පොලිටිකල් දෝංකාරය දේශපාලන තීරු ලිපිය ලියන චන්දන, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල වෙළෙඳ සේවයේ නිවේදකයකු වශයෙන් වසර හතරක් සේවය කළ අතර මැක්ස් රූපවාහිනියේ නිවේදකයකු වශයෙන් කටයුතු කළ ඔහු කෑගල්ල රංවල මහානාග විද්‍යාලයේ ආදි සිසුවෙකි.

නිපුන් කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ උපාධිධරයකු හා දෙවන වසර නීති ශිෂ්‍යයකු වන අතර දැනට සමූපකාර හා වෙළෙඳ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් වශයෙන්ද කටයුතු කරන ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. සත් එෆ් එම් හරහා මෙවැනි වැඩසටහනක් ආරම්භ වූයේ ඇයි දැයි මම නිපුන්ගෙන් ඇසුවා. පත්තර නොකියවන ජනතාවට මෙවැනි තොරතුරු ගෙනයන්න හොඳම මාධ්‍යය ;වන්නේ ගුවන් විදුලිය කියලා අපි හිතුවා. දවසක් චන්දනයි මමයි මේ ගැන කතාවෙලා සත් එෆ් එම් සභාපති ලක්ෂ්මන් හුළුගල්ල මහතාට ඒ ගැන දැනුම් දුන්නා.

එතුමා අපට මේ වැඩසටහන කරගෙන යන්න අවස්ථාව ලබා දුන්නා.” ඒ කතාවට චන්දන ද එකතු වුණා. “සාමාන්‍යයෙන් ඉරිදා පුවත්පත්වල මෙවැනි තොරතුරු තිබෙන කොළම් පළ වෙනවා. ඒත් පුවත්පතක එවැනි කාරණා සටහන් කරන්න තිබෙන ඉඩකඩ හරිම අඩුයි.  අපි හිතුවා ඒ තොරතුරු ඊටත් වඩා රසවත්ව ලේඛන කලාවෙන් ඔබ්බට ගිය සන්නිවේදන මාධ්‍යයක් හරහා ජනතාවට ගෙනයන්න අවශ්‍යයි කියලා. ඒ විදියටයි “රතු එළිය” නිර්මාණය වුණේ. කාර්යබහුල ජීවිත ගතකරන බොහෝදෙනාට පුවත්පත් කියවීමට ඉඩ ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්.

ඒත් එවැනි අයට මේ වැඩසටහන හරහා ඒ තොරතුරු දැන ගැනීමට අවස්ථාවක් උදාවෙනවා. එහෙත් නිපුන් සහ චන්දන මේ කරන කාර්යය එක්තරා අතකින් ‘දැලි පිහියෙන් කිරි කෑමක්ද? කියාත් මම චන්දනගෙන් විමසුවා. ඇත්තෙන්ම දේශපාලනඥයින් සමඟ අන්‍යෝන්‍ය විශ්වාසයකින් තොරව මේ දේවල් ප්‍රචාරය කරන්න බැහැ. දැනටමත් අපි දේශපාලනඥයින් සමඟ දැඩි විශ්වාසයක් හා හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. ඒ නිසා අපට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මේ කරුණු නිවැරැදිව සමබරව ගෙන එන්න හැකියාව ලැබී තිබෙනවා.

“ඒ වගේම අපි දේශපාලනඥයින්ගේ පෞද්ගලිකත්වයට හානිවන ආකාරයේ තොරතුරු දේශපාලන පෞරුෂයට හානිවන තොරතුරු හා අපහාසයට පත්වන තොරතුරු ඉදිරිපත් කරන්නෑ. දේශපාලනයට අදාළ ඕපාදූප විතරයි අපි කියන්නේ. විශේෂයෙන් දේශපාලන ලෝකයේ නොපෙනෙන හිතවත්කම් අපි ජනතාවට පෙන්වා දෙනවා. සෑම සෙනසුරාදාවකම උදෑසන 8 – 9 අතර කාලයේ සත් එෆ් එම් හරහා ඔබට මේ දේශපාලන ඕපාදූප රසවිඳිය හැකියි. ඒ අතර මිහිරි ගී රස විඳීමටත් ඉඩ ලැබෙන බව නිපුන් මතක් කළා. මේ වැඩසටහන නිෂ්පාදනයෙන් රුචිර දිලාන් සහ කසුන් කැලුම් සහය වන අතර සහය නිෂ්පාදනය ඉසුරු වික්‍රමවර්ධනගෙනි. වැට බැඳිය යුතු තැන්වලට වැට බැඳ කට කතා ඇසීමට නිපුන් සහ චන්දන ඔබටත් ආරාධනා කළා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා