හිරු පලස දුටු රන් ආකරයේ කඳුළු කතාව

හිරු පලස දුටු රන් ආකරයේ කඳුළු කතාව

‘ප්ලෑන් බී’ යනුවෙන් නිල වශයෙන් හැඳින්වූවද නිසැකයෙන්ම එය අපේක්ෂාවේද, ප්‍රාර්ථනාවේද මෙහෙයුමයි. දින 69 ක් තිස්සේ චිලියේ සැන් හොසේ රන් හා තඹ ආකරයේ සිරවී සිටි ආකර කම්කරුවන් 33 දෙනාගේ ජීවිත බේරා ගැනීමට එම මෙහෙයුමට හැකිවී තිබේ. ජීවිතය ලෙහෙසියෙන් අත්හළ යුතු නැති බව ද, මනුෂ්‍යත්වයට හා අප්‍රමාණ මනුෂ්‍ය ධෛර්යයට මහා වැඩ කොටසක් කළ හැකි බව ද එය ලෝකයට යළිත් උගන්වා ඇත.

ආකර කම්කරුවන්ගේ සමීපතමයන්ගේ හා චිලී ජනාධිපතිවරයාද ඇතුළුව චිලී වැසියන්ගේ පමණක් නොව සමස්ත ලෝකයේම සංවේදී හදවත් ඇති සියලු මිනිසුන්ගේ ඇස් ඊයේ සතුටු කඳුලින් තෙමිණි. ඒ, මීටර් 700 ක් පමණ ගැඹුරින් පතලේ සිරවී සිටි, චිලිය වීරත්වයෙන් සලකන ආකර කම්කරුවන් 33 දෙනාගෙන් පළමුවැන්නා ලෙස 31 හැවිරිදි ෆ්ලොරෙන්සියෝ ඇවලෝ, ෆීනික්ස් කැප්සියුලය මගින් පොළොව මතුපිටට රැගෙන ආ මොහොතේදීය.

සිය සමීපතමයන් මෙන්ම තමන් බේරා ගැනීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස වූ ආපදා මෙහෙයුමේ නිරත වූවන් පිස හමා ආ සුළඟින් ළය පිරෙන්නට හුස්මක් ගත් ෆ්ලොරෙන්සියෝ අපමණ උද්දාමයට පත්ව සිටියේය. ඔහුගේ බිරියගෙන් ලැබුණු ආදරණීය පිළිගැනීමෙන් පසු ජනාධිපති සෙබස්තියන් පිනේරා ඔහු වැළඳගෙන සමස්ත චිලී ජනයාගේ සුබ පැතුම් ඔහුට පිරිනැමීය. ආකර බිමෙහි මෙතෙක් දියත් වූ ගලවා ගැනීමේ මෙහෙයුමට එළිය දුන් යෝධ විදුලි පහන් අඳුරු අහසේ නෙක රටා මවමින් මේ ජයග්‍රාහී මොහොත ආලෝකමත් කළේය.

ආකර වීරයන්ගේ බිරින්දන් දූ දරුවන් මවුපියන් සහ ඥාති මිත්‍රාදීන් මෙන්ම මෙහෙයුමට එක්වූවන්ද රැස්ව සිටි අයද සතුටු කඳුලින් යුතුව ඔල්වරසන් දෙන අයුරු සංවේදී දසුනක් විය. චිලී ජාතික ධජය ලෙළවමින් ඔවුහු සිය සතුට පළ කළහ. ඒ සියල්ල අතර සති 10 කට පසු මරණය පරාජය කර තමන් වෙත පැමිණෙන ආදරණීය තාත්තා පිළිගන්නට නොඉවසිල්ලෙන් බලා සිටින පුතෙකුගේ දුවකගේ සිනහපිරි මුහුණක් දැකීම පමණක් වුවද මෙහෙයුමට එක්වූ ධෛර්යසම්පන්න මිනිසුන්ට සෑහේ.

ෆ්ලොරෙන්සියෝට පසුව ෆීනික්ස් කැප්සියුලයෙන් පිටතට ආවේ 39 හැවිරිදි මරියෝ සෙපුල්වේදාය. එක් අයකු පොළව මතුපිටට රැගෙන ඒම සඳහා පැයක පමණ කාලයක් ගතවනු ඇතැයි මුලින් අනුමාන කෙරුණද පැයකට අඩු කාලයකින් එය කිරීමට හැකිවිය. කෙසේ වූවද එය ඉතාමත් සීරුවෙන් සිදුකළ යුතු ක්‍රියාවලියක් විය. වරින්වර සිදුර ඔස්සේ වාර ගණනාවක් කැප්සියුලය ගමන් කිරීම නිසා සිදුරේ බිත්ති බිඳීයාමක් සිදුවීම වළක්වා ගැනීමට විශේෂයෙන්ම අවශ්‍ය විය.

ඒ සඳහා බිත්ති සවිමත් කිරීමට වානේ තල භාවිත කෙරිණි. ‘ප්ලෑන් බී මෙහෙයුම’ සාර්ථක වන ලකුණු පළ කරමින් ආකර වීරයන් රැඳී සිටි ස්ථානයට සිදුරක් විද අවසන් කෙරුණේ ඉකුත් 9 වැනිදාය. ඉන්පසු ආපදා ඉතිහාසයේ සුවිශේෂී ගලවා ගැනීමේ මෙහෙයුමක් වන මෙය වාර්තා කිරීම සඳහා ලොව පුරා නන් දෙසින් මාධ්‍යවේදීහු දහස් ගණනක් ආකර බිමට පැමිණ සිටියහ. මෙහෙයුමේ අදියර නිරන්තරයෙන් වාර්තා කිරීමට ඔවුහු වගබලා ගත්හ. CNN, BBC ආදී මුල්පෙළේ ප්‍රවෘත්ති සේවා එය සජීවීව ලෝකය වෙත ගෙන ගියේය.

ආකර වීරයන් බේරාගන්නා අයුරු දැකබලා ගැනීම සඳහා මෙන්ම එම මෙහෙයුමේ සාර්ථකත්වය වෙනුවෙන් සුබ පැතීම සඳහා එම ශුෂ්ක කාන්තාර ප්‍රදේශයට පැමිණ සිටි අය අතර තවමත් මසක්වත් ගත නොවූ සිඟිත්තියකද වූවාය. ඇය ආකර කම්කරු ඒරියල් ටිකෝනාගේ දියණිය එස්පැරෙන්සාය. ටිකෝනාගේ බිරිය මාගරිටා. මේ සිඟිත්තිය මෙලොවට බිහිකරනු ටිකෝනා සහ ඔහුගේ සඟයෝ රූපවාහිනි කැමරා ඔස්සේ ආකරය තුළදී දැකගත්හ. ටිකෝනා සහ මාගරිටා ඇයට නම් තැබුවේද ‘අපේක්ෂාව‘ යන තේරුම දෙන එස්පැරෙන්සා නම් ස්පාඤ්ඤ යෙදුමෙනි.

අමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාද මෙහෙයුමේ සාර්ථකත්වය වෙනුවෙන් සුබ පැතූවන් අතර විය. මේ එඩිතර කම්කරුවන්ට සිය දරු පවුල් සමඟ ඉක්මනින් එක්වීමට හැකිවේවා යැයිද, මෙහෙයුම ක්‍රියාත්මක කරන ධෛර්යය සම්පන්න ආපදා සේවකයන්ට ඔවුන් ගලවා ගැනීමට හැකිවේවා යැයිද පතමින් දෙවියන් යදින බව ඔහුගේ ප්‍රාර්ථනයේ සඳහන්ව තිබිණි.

වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් ගේ සුබපැතුම් පණිවිඩයද ආකර වීරයන්ට හා ආපදා මෙහෙයුම ක්‍රියාත්මක කළ අයට ලැබිණි. ‘අප චිලිය සමඟයි, දෙවියන්ද ඔබ සමඟ සිටිනු ඇත’ යනුවෙන් එහි සඳහන් විය. බොලීවියා ජනාධිපති ඉවෝ මොරාලස්ද ආකරයේ සිරවී සිටි බොලීවියා ජාතික කැරොලස් මවාන් ඇතුළු සගයන්ට සුබ පැතුම් එක් කරන්නට එහි පැමිණ සිටියේය. අමෙරිකාවෙන් මෙන්ම චීනයෙන්ද මෙම මෙහෙයුම් සඳහා විශේෂඥ උපදෙස් ලැබිණි.

ප්ලෑන් බී මෙහෙයුමට නායකත්වය දුන් වැට් ස්ටේෆල් නම් අමෙරිකානු ඉංජිනේරුවා පිළිබඳ ද එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ඔහුද වීරයකු ලෙස සැලකිය හැකි නිසායි. විනාශය මතින් නැඟී සිටි ෆීනික්ස් පක්ෂියා, සිහිගන්වමින් ෆීනික්ස් යනුවෙන් නම් ලැබූ, කම්කරුවන් බේරා ගැනීම සඳහා භාවිත කළ විශේෂ කැප්සියුලය චිලී නාවික හමුදාවේ නිර්මාණයකි. කම්කරුවන් 33 දෙනා ;බ්රා ගැනීමට පෙර ඉකුත් අඟහරුවාදා එම කැප්සියුලයෙන් ඔවුන් වෙත ගිය මැනුවෙන් ගොන්සාලේස් නම් ආපදා මෙහෙයුම් සාමාජිකයා ඔවුහු හමුවූහ. කම්කරුවන් පතලේ සිරවූ පසු ඔවුන් හමුවූ පළමු තැනැත්තා වූයේද ඔහුයි.

මෙහෙයුම ක්‍රියාත්මක වීමෙන් පසු කම්කරුවන් පොළොව මතුපිටට ගෙන එන්නේ කවර පිළිවෙළකට ද යන්න ද කලින් තීරණය විය. මුලින්ම ආකරයෙන් පිටවීම සඳහා ඔවුන් අතර මුලදී මතභේද තිබුණද පසුව ඒවා සමනය වූ බවද වාර්තා විය.

පතලේ සිරවී සිටි කාලසීමාව මුළුල්ලේම ඔවුන් වෙත ආහාරපාන ඖෂධ සන්නිවේදන ආදී පහසුකම් මෙන්ම විනෝදාස්වාද මාධ්‍යයන් පවා සැපයීම සිදුවිය. මානසික ආතතියට ලක්නොවී ඔවුන් තබා ගැනීම සඳහා උපදේශන සේවාවන් පවා සැපයිණි. සෑම කාර්යක්ම සිදුවූයේ දැඩි අධීක්ෂණයකිනි.

පොළව මතුපිට සිටින තම ඥාතීන් සමඟ දුරකතන මඟින් සංවාදයේ යෙදීමටද සෑම කම්කරුවකුටම විනාඩි කිහිපයක් බැගින් අවස්ථාව සලසා තිබිණි. ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම සඳහා ඔවුන් ව්‍යායාම්වල පවා නිරත විය යුතුවිය. සෑමදෙක්ම පිළිවෙළකට හා විද්‍යාත්මකව සිදුවීමද මේ මෙහෙයුමේ සාර්ථකත්වයට ප්‍රබල පිටුබලයක් වූ බව පෙනෙන්නට තිබේ.

සැන් හොසේ ආකරයේ සේවය කළ මෙම පිරිස පස් කඩා වැටීමෙන් පතලේ විවරය පර්වතයකින් වැසීයාම නිසා එහි සිර වූයේ අගෝස්තු 5 වැනි දිනයි. එම අනතුරේ ස්වභාවය අනුව ඔවුන් පතලේ වැළලී යන්නට ඇතැයි මුලදී විශ්වාස කෙරිණි. එහෙත්, ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් ආකර ප්‍රදේශයට පැමිණීමත් සමඟ තවදුරටත් මෙහෙයුම් දියත්විය.

එහි ප්‍රතිඵලයක් ලෙස අනතුර සිදුවී දින 17 කට පසු ආකරය තුළට විවරයක් තුළින් යැවූ කැමරාවක් සමඟ පොළව මතුපිටට ආ තුණ්ඩු කැබැල්ලකින් කියැවුණේ අපි 33 දෙනාම තවමත් එහි සිටිනවා” යනුවෙනි. චිලී ජනාධිපතිවරයා මේ සුබ පණිවිඩය එහි රැස්ව සිටි අයට කියැවූයේ කඳුළු පිරි නෙතින් යුතුවයි. ඒ සමඟම ඔහු සපථ කළේ “අපි කෙසේ හෝ ඔබලා බේරා ගන්නවා” යනුවෙනි.

ඒ අනුව කම්කරුවන් බේරා ගැනීම සඳහා මෙහෙයුම් 3 ක් දියත් විය. ප්ලෑන් ඒ, ප්ලෑන් බී, සහ ප්ලෑන් සී වශයෙනි. ජයග්‍රාහීව නිමාවූ ප්ලෑන් බී. මෙහෙයුම ඇරැඹුණේ අනතුර සිදුවී හරියටම මසකට පසු සැප්තැම්බර් 5 වැනි දිනයි. මෙම මෙහෙයුම් දියත්ව තිබියදී කම්කරුවන්ගේ පවුල්වල අය එහි කඳවුරු බැඳ හිඳිමින් ඔවුහු ධෛර්යමත් කළහ. ජනාධිපතිවරයාගේ පටන් මෙහෙයුමට එක්වූ සහනසේවකයා දක්වා සෑම දෙනෙකුම එකම සිතිවිල්ලකින් බැඳීමේ ප්‍රතිඵලය වූයේ දැවැන්ත ජයග්‍රහණයකි.

බේරාගත් කම්කරුවන් ඉක්මනින්ම රෝහල කරා යැවුණේ වෛද්‍ය පරීක්ෂණ සඳහාය. පැය 48 ක් පමණ ඔවුන් රෝහල්ගත කර තබන බව සඳහන් විය. ඔවුන් වෙතින් පළවූ යම් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදීමෙන් පසුවද ඔවුන් සාමාන්‍ය ජීවිතයට හුරු වනතෙක්ම වෛද්‍ය හා උපදේශන සේවාවන් ලබාදීමට පියවරගෙන ඇත. තවදුරටත් ඔවුන් ආකර කම්කරුවන් පමණක් නොවේ. චිලිය ඔවුන්ට සළකන්නේ වීරත්වයෙනි. එසේම සිනමා හා ක්‍රීඩා තරු මෙන්ම ඔවුන්ද ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටී, මින් ඉදිරියට ඔවුන්ගේ ජීවිත වෙනස්වන ආකාරය පිළිබඳ ඔවුන්ට අවබෝධයක් තිබිය යුතු බව උපදේශන සේවා විශේෂඥයන්ගේ අදහසයි.

චිලී මාධ්‍ය වාර්තා කළ පරිදි මේ සිදුවීම සිනමාවට නැඟෙන්නටත් මේ පිළිබඳ කෘතීන් රචනා වීමටත් බොහෝ ඉඩ තිබේ. ඒ සියල්ලකම ගැබ්ව ඇත්තේ වීරත්වයයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා