මන්චි කුසලාන 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 184ක්

මන්චි කුසලාන 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 184ක්

දිවයින පුරා පාසල් 184 ක ක්‍රීඩකයන් 2760 කගේ සහභාගීත්වයෙන් යුතුව ක්‍රිකට් තරග 2300 ක් පැවැත්වෙන වසරේ දැවැන්තම පාසල් ක්‍රිකට් තරගාවලිය වන ‘මන්චි යූත් 19’ 19 න් පහළ ක්‍රිකට් තරග මාලාව සංවිධානය කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ලෝකයේ වැඩිම ක්‍රිකට් තරග සංඛ්‍යාවක් සංවිධානය කරනු ලබන ක්‍රිකට් සංගමය බවට පත්වී ඇතැයි මාස්කොම් සමාගමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

13 න් පහළ, 15 න් පහළ හා 17 න් පහළ පාසල් ක්‍රිකට් තරග මාලාවන් ද සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වන බැවින් අති විශාල ක්‍රිකට් තරග ප්‍රමාණයක් සංවිධානය කිරීමේ ගෞරවය එම සංගමයට ලැබී ඇතැයි සුමතිපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

19 න් පහළ ක්‍රිකට් තරග මාලාවේ අනුග්‍රාහකත්වය දරන සීමාසහිත සිලෝන් බිස්කට්ස් ආයතනයේ අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙත ලබාදීම සඳහා පෙරේදා කොළඹ ‘සුමතිකෝට්’ හි පැවැති මාධ්‍ය හමුවේදී සුමතිපාල මහතා මේ බව සඳහන් කළේය.

දෙදින තරග ඕවර 50 තරග හා විස්සයි 20 ක්‍රිකට් තරග ඇතුළත් වන 19 න් පහළ පාසල් ක්‍රිකට් තරග මාලාවේ පළමු කොටසින් පාසල් 36 ක්ද, දෙවැනි කොටසෙන් පාසල් 32 ක් හා තෙවැනි කොටසෙන් පාසල් 118 ක් මෙවර තරග වදිති. මෙහි එක්දින තරග මාලාව සඳහා පළමු කොටසේ හොඳම කණ්ඩායම් 18 ක්ද, දෙවැනි කොටසෙන් හොඳම කණ්ඩායම් 10 ක්ද, තෙවැනි කොටසෙන් හොඳම කණ්ඩායම් 4 ක් ද තෝරා ගනු ලැබේ.

එක්දින තරග මාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් 16 විස්සයි 20 තරගමාලාව සඳහා සුදුසුකම් ලබනු ඇත.  ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා මාස්කොම් සමාගම එක්ව සංවිධානය කරනු ලබන මේ තරගමාලාවේ පසුගිය වසරේ එක් දින සූරතාව කොළඹ රාජකීය විදුහල හා මහින්ද විදුහල අතර සමසේ බෙදී ගිය අතර විස්සයි 20 සූරතාව දිනා ගැනීමට නාලන්ද විදුහල සමත් විය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති නාලන්ද විදුහල්පති රංජිත් ජයසුන්දර, සීමාසහිත සිලෝන් බිස්කට්ස් ආයතනයේ සමූහ අධ්‍යක්ෂ හා වෙළඳ හා විකුණුම් ප්‍රධානී නන්දන වික්‍රමගේ, එම ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරීනී (වෙළෙඳ) තේජා පීරිස්, මාස්කොම් සමාගමේ වෙළෙඳ අධ්‍යක්ෂ නිහාල් පතිරගේ, සහ පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් එම්. ටී. ඒ. රවුෆ් යන මහත්ම මහත්මීහු මාධ්‍ය හමුවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිල වෙබ් අඩවිය www.schoolcricket.lk  විවෘත කිරීම ද මෙදින සිදු කෙරිණ.

තරගාවලියේ අනුග්‍රාහක චෙක්පත මාස්කොම් සමාගමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා වෙත සිලෝන් බිස්කට්ස් ආයතනයේ සමූහ අධ්‍යක්ෂ නන්දන වික්‍රමගේ මහතා විසින් පිරිනමනු ලැබූ අවස්ථාව.

ඡායාරූපය – නිරංජන් කොත්තසිංහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා