හයිදර් ලන්ඩනයේදී මාධ්‍ය හමුවක් පවත්වයි

හයිදර් ලන්ඩනයේදී මාධ්‍ය හමුවක් පවත්වයි

මුදලට තරග පාවාදීමට තමාට ලැබුණු ඇරයුම ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් තමාටත් පවුලේ අයටත් එල්ල වූ මරණ තර්ජන හමුවේ ලන්ඩනයට පැමිණීමට සිදුවූ බව පාකිස්තානු පිලේ හිටපු කඩුලු රකින ක්‍රීඩක සුල්කර්නයින් හයිදර් පැවැසීය.

ලන්ඩනයේ සවුත් ගෝල් හී අවන්හලක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ හයිදර් ඩුබායිහි පැවැති දකුණු අපි‍්‍රකානු- පාකිස්තානු එක්දින තරගාවලිය අතරතුර කණ්ඩායමෙන් පලා යාමට තමාට සිදු වූ හේතුව අනාවරණය කළේ ය.

දකුණු අපි‍්‍රකාව සමඟ පැවැති සිවුවැනි එක්දින තරගයේ ජයග්‍රාහී ලකුණ තමා විසින් වාර්තා කරනු ලැබීමෙන් පසුව මරණ තර්ජන එල්ල වූ බව හයිදර් සඳහන් කළේ ය. ඩුබායි හී දී තමාට හමු වූ බුකීකරු ඔහු සමඟ එක්වන්නට ඇරයුම් කළ බවත් , ඊට අවනත නොවුවහොත් තමා හා පවුලේ සාමාජිකයන් ඝාතනය කරන බවට තර්ජනය කළ බවත් හයිදර් මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේ ය.

“බ්‍රිතාන්‍ය රජයෙන් මට කිසිම ආධාරයක් අවශ්‍ය නැහැ. මට ඕන සාමයෙන් ජීවත් වෙන්න විතරයි. පාකිස්තානයෙත් මම නීතිගරුක පුරවැසියෙක් ලෙස ජීවත් වුනා.” හයිදර් පැවැසීය. බ්‍රිතාන්‍යයේ පාකිස්තානු මහ කොමසාරිස්වරයා හමුවූ බවද හයිදර් සඳහන් කළේ ය.

“ ඔවුන් මගේ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කරාවි කියලා මං හිතනවා. මට බිරියක් හා දියණියන් දෙදෙනකු සිටිනවා. ඔවුන් ආරක්ෂා කිරීම මගේ වගකීමයි” 24 හැවිරිදි හයිදර් වැඩිදුරටත් සඳහන් කළේ ය. එමෙන්ම ජගත් ක්‍රිකට් කවුන්සිලයේ අල්ලස් හා දූෂණ වංචා විරෝධී ඒකකයේ නිලධාරිහු හමු වී සාකච්ඡා කළ බව ද හයිදර් තහවුරු කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා