නව ඇමැති මඬුල්ල දිවුරුම් දෙයි

නව ඇමැති මඬුල්ල දිවුරුම් දෙයි

අගමැති පදවියට යළිත් දි. මු.

ප්‍රවීණයන් 9කට ජ්‍යෙෂ්ඨ ඇමැති පදවි

ඇමැතිවරු 51යි  නියෝජ්‍ය 31යි

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු 9 දෙනෙක් ඇමැතිවරු 51 දෙනෙක් ඇතුළු 60 දෙනෙකුගෙන් සමන්විත නව ඇමැති මණ්ඩලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (22) දිවුරුම් දුන්හ.

ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරුන් 31 දෙනෙකි.

ජනාධිපතිවරයා සිය දෙවැනි ධුර කාලය වෙනුවෙන් දිවුරුම් දීමෙන් අනතුරුව නව ඇමැති මණ්ඩලය තෝරාපත් කර ගැනිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වැනි වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කොට ආරක්ෂා කරන බවට සාමූහික ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව දිවුරුම් දීමේ කටයුතු ඇරඹිණ.

උදෑසන 10. 17 ට යෙදුණු සුබ මොහොතින් දි. මු. ජයරත්න මහතා අගමැති සහ බුද්ධ ශාසන ඇමැතිවරයා වශයෙන් ප්‍රථමයෙන් දිවුරුම් දුන්නේ ය.

ප්‍රවීණ හා පළපුරුදු දේශපාලනඥයන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වශයෙන් දිවුරුම් දීම මෙවර සුවිශේෂත්වයකි.

රත්නසිරි වික්‍රමනායක, ඩිව් ගුණසේකර, අතාවුද සෙනෙවිරත්න, පී. දයාරත්න, ඒ. එච්. එම්. ෆවුසි, එස්. බී. නාවින්න, පියසේන ගමගේ, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම මහත්වරු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වශයෙන් දිවුරුම් දුන්හ.

කලින් ඇමැති මණ්ඩලයේ සිටි ඇමැතිවරුන් 31 දෙනකු මෙවරත් එම ඇමතිපදවි වලම දිවුරුම් දුන් අතර නව ඇමැතිවරු වශයෙන් 19 දෙනෙක් පත්ව සිටිති. නියෝජ්‍ය ඇමැතිවරුන් වශයෙන් දිවුරුම් දුන් 31 දෙනාගෙන් සතර දෙනෙක් නව නියෝජ්‍ය ඇමැතිවරු වෙති.

එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් රජයට සහාය පළ කළ ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ඇමැතිවරයකු ලෙසත් අර්ල් ගුණසේකර හා අබ්දුල් කාදර් මහත්වරු නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙසත් දිවුරුම් දුන්හ.

මුස්ලිම් කොංග්‍රසයේ සිට රජයට එක් වූ රාවුෆ් හකීම් මහතා ඇමැතිවරයකු ලෙසත් සේගු ඩාවුඩ් මහතා නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසත් පත් කෙරිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා