කෙහෙළිය රඹුක්වැල්ල නැවතත් ජනමාධ්‍ය ඇමැතිවීම මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි ප්‍රසාදයට

කෙහෙළිය රඹුක්වැල්ල නැවතත් ජනමාධ්‍ය ඇමැතිවීම මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි ප්‍රසාදයට

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ධුරයට කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළි පත්වීම මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබේ.

කන්ද උඩරටින් බිහි වූ දෙවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කළ ඒ මහතා එයට පෙර ජාතික ආරක්ෂාව පිළිබඳ රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ක්‍රියා කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි ප්‍රසාදයට ලක් විය.

1993 වසරේ දී මධ්‍යම පළාත් සභාව හරහා මුලින්ම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඒ මහතා අනතුරුව එම පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස තේරී පත්විය. එම පළාත් සභාවේ විපක්ෂ නායක (එජාප) තනතුරට පත් වූ හෙතෙම 2000 වසරේදී මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසියේය. මේ දක්වා අඛණ්ඩව වසර දහයක් පාර්ලිමේන්තුව නියෝජනය කැර ඇති අමාත්‍ය රඹුක්වැල්ල මහතා එජාප රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළේය.

2005 වසරේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙමින් ඒ මහතා සමග එක් වූ හෙතෙම ප්‍රතිපත්ති සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය තනතුරු මෙයට පෙර උසුලනු ලැබීය.

තමන් මුහුණ දුන් සෑම මැතිවරණයකදීම ලක්ෂයකට අධික මනාප ඡන්ද ලබා ගනිමින් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටින රඹුක්වැල්ල මහතා මාධ්‍යවේදීන්ගේ ද ඉතා සමීප මිතුරෙකි.

මාධ්‍ය සංවර්ධන අධිකාරිය පිහිටුවීම ජනමාධ්‍ය ඇතුළු කලා ක්ෂේත්‍ර සඳහා ජනාධිපති සම්මාන උළෙලක් පැවැත්වීම, ළමුන් උදෙසා රූපවාහිනි ඇතුළු විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීම ඇතුළු සැළසුම්ගත වැඩපිළිවෙළ රැසක් ඉදිරියට ක්‍රියාත්මක කිරීම උදෙසා යළි මාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අවස්ථාව උදාවීම මාධ්‍යවේදීන්ගේ ප්‍රසාදයට හේතුවී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා