බළලුන්ගෙන් බෝවන ‘ටොක්සොප්ලාස්මෝෂියා’ වැළඳුනු 2403ක ගේ රුධිර පරීක්ෂා කරයි

බළලුන්ගෙන් බෝවන ‘ටොක්සොප්ලාස්මෝෂියා’ වැළඳුනු 2403ක ගේ රුධිර පරීක්ෂා කරයි

බළලුන්ගෙන් බෝ වන ‘ටොක්සොප්ලාස්මෝෂියා’ නමැති රෝගය වැළැඳුණු 2403 දෙනකුගේ රුධිර සාම්පල නියැදි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂවේද අංශය ගත වූ මාස දහය ඇතුළත පරීක්ෂාවට ලක් කර තිබේ.

ටොක්සොප්ලාස්මෝෂියා රෝගය ජනතාව අතර මෙන්ම වෛද්‍ය ප්‍රජාව අතරද එතරම් ප්‍රචලිත නැති රෝගයකි. මේ රෝගය බෝ කරනුයේ ‘ප්ලාස්මෝෂියා ගොන්ඩායි’ නමැති පරපෝෂිතයෙකි. එම පරපෝෂිතයා බළලුන්ගේ මළපහවල ජීවත් වෙයි. බළලා නිවෙස් ආශ්‍රිතව ජීවත්වන විශේෂයෙන්ම නිවෙස් ඇතුළත ජීවත්වන සුරතල් සතෙකු වන බැවින් උන්ගේ මාර්ගයෙන් මේ පරපෝෂිතයන් නිවැසියන්ගේ සිරුරුවලට ඇතුළු වීමට බෙහෙවින් ඉඩ කඩ තිබේ. බළලුන්ගේ මළපහ නිසි පරිදි වළලා දැමීමට හෝ පුළුස්සා දැමීමට කටයුතු නොකිරීම නිසා ශ්වසන මාර්ගයෙන් හෝ ආහාර මඟින් පරපෝෂිතයාට පහසුවෙන් මිනිස් සිරුරට ඇතුළු විය හැකිය.

ප්ලාස්මෝෂියා ගොන්ඩායි නමැති පරපෝෂිතයා ශරීර ගත වූ පුද්ගලයන්ට මොළයේ ගෙඩි, දෑස් අන්ධවීම, ගැබිනියක් නම් ගබ්සා වීම, අංගවිකල හෝ මන්දබුද්ධික දරුවන් බිහිවීම වැනි බරපතළ සෞඛ්‍ය ගැටලු රැසක් මතු කරයි. මොළයේ ගෙඩි ඇතිවීම මඟින් අංශභාග රෝගය පවා වැළඳිය හැකිය. පරපෝෂිතයා ශරීර ගත වූ පුද්ගලයන්ට බෙල්ලේ කුද්දටි මතුවීම, උණ, හිසරදය, ඇස් පෙනීම දුර්වල වීම වැනි රෝග ලක්ෂණ මතුවේ.

මෙවැනි රෝග ලක්ෂණ මතුවී රෝගියා වෛද්‍යවරයකු වෙත ගිය විට බොහෝ විට වෛද්‍යවරයාට රෝගය එකවර හඳුනාගත නොහැකිවේ.

මේ නිසා වෙනත් රෝගයක් ලෙස සලකා ප්‍රතිකාර කිරීම මඟින් රෝගියාට නිසි ප්‍රතිකාර නොලැබී රෝගය උත්සන්න වීමට පවා ඉඩ තිබේ.

ටොක්සො ප්ලාස්මෝෂියා රෝගය පිළිබඳ පර්යේෂණ සිදු කරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය වෛද්‍ය පර්යේෂණ ආයතනය පමණක් බව එහි පරපෝෂිතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය පවසයි.

නිවෙස්වල සුරතලයට ඇති කරන බළලුන්ට ඇඳ, පුටු, මේස ආදියෙහි ලැග සිටීමට ඉඩ නොදීම, එම සතුන් අතපත ගෑමෙන් වැළකීම හා උන්ගේ මළ පහ නිසි ලෙස වළලා දැමීම හෝ පුළුස්සා දැමීම, පලතුරු හොඳින් සෝදා ආහාරයට ගැනීම හා එළවළු, මස් ආදිය හොඳින් සෝදා තද උෂ්ණත්වයක් යටතේ හොඳින් පිසගැනීම ආදිය මඟින් රෝගය බෝවීමෙන් වැළකිය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි. රෝගය සුව කිරීමට අවශ්‍ය ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවද එම අමාත්‍යාංශය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා