දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි සැකකරු රිමාන්ඩ්

දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි සැකකරු රිමාන්ඩ්

දුම්රිය සේවකයන්ට ගෙවීමට වැටුප් රැගෙන යමින් සිටි ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් දුම්රිය මැදිරියට අනවසරයෙන් ඇතුළු වී දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයා දුම්රිය ප්‍රවේශ පත්‍රයක්ද නොමැතිව දුම්රියට ගොඩ වැදී ඇතැයි කළුතර පොලිසිය අධිකරණයට සැකකරුවකු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

දුම්රිය ආරක්ෂක අංශයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියකු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ සිට කළුතර දක්වා ගමන් කළ මේ දුම්රියේ එක් මැදිරියක් ආරක්ෂක නිලධාරීන්ට මුදල් රැගෙන යෑමට වෙන් කර තිබූ අතර සැකකරු අනවසරයෙන් තමන් ගමන් කළ දුම්රිය මැදිරියට ගොඩවැදී තිබේ. ඔහුට වෙනත් මැදිරියකට යන ලෙස පැවැසූ විට රාජකාරියට බාධා කරමින් පහරදීමට තැත් කළ බව පැමිණිලිකාර ආරක්ෂක නිලධාරියා පොලිසියට දැන්වූ බව පොලිස් කොස්තාපල් (55301) ගුනේන්ද්‍ර මහතා අධිකරණයට සැකකරු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියෝග කළේය.

කළුතර වැඩබලන මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත, සුළු අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කපිල, කොස්තාපල් (55301) ගුනේන්ද්‍ර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා