ව්‍යුති-ප්‍රතිසන්ධි හා අන්තරාභවය

ව්‍යුති-ප්‍රතිසන්ධි හා අන්තරාභවය

ඔරලෝසු - මොටෝරිය ආදිය සාදන්නෝ ඒවා පාවිච්චි කළ හැකි කාලය මෙපමණයයි සාමාන්‍යයෙන් කියත්. ලී බඩු සාදන්නන්ට ද ඒවා පවත්නා කාලය අනියම් වශයෙන් කිය හැක. මෙසේ සාදන සෑදෙන හැම දේකම ශක්ති ප්‍රමාණයක් තිබේ. ඒ ශක්තිය ගෙවෙන විට ඒවා දිරාපත් වෙති, වැඩකට ගත නොහැකි වෙති. ඒ ඒ භවයන්හි උපදිනා සත්ත්වයන්ට ද කර්ම ශක්ති ප්‍රමාණයක් තිබේ. ඒ ශක්ති ප්‍රමාණය හෝ පවත්නා කාල ප්‍රමාණය ගෙවී යන විට ඔවුන්ගේ මරණය සිදුවෙයි. “ආයුසංස්කාරය” යි කියනු ලබන්නේ මෙයටයි. මේ ශක්ති ප්‍රමාණය තෙක් ජීවත් විය හැක්කේ අතරේදී අනතුරක් විපතක් සිදු නොවූවොත්ය. හදිසි අනතුරකින් කර්ම ශක්තිය මගදී බිඳී යා හැක.

යම් කිසි යන්ත්‍රයක් නියම ප්‍රමාණයට වැඩියෙන් ක්‍රියා කෙරෙව්වොත් එය ඉක්මණින් ක්‍රියා විරහිත වෙයි. මනුෂ්‍ය ශරීරයන් එසේමය. අපගේ බුදුරදුන් අවුරුදු සියයක් හෝ එක්සිය විස්සක් හෝ ජීවත්වීමට ශක්තිය ඇතිව උපන්නා විය හැක. නමුත් අවුරුදු හයක් පමණ කල් සෑහෙන තරම් ආහාර නොගැනීමාදියෙන් ශරීරයට කරදර කළ නිසා ආයු සංස්කාරය අඩු විය. අවසන් කාලයේදී ලේ අතීසාරයෙන් දුර්වල වූ නිසාද ශරීරය වැඩිකල් පවත්වා ගැනීම නොහැකි බව උන් වහන්සේට වැටහුණි. එබැවින් අසූහැවිරිදි කල්හි ආයු සංස්කාරය හැර දැම්මේය, හෙවත් ජීවත්විමේ ආශාව අත්හැරියේය.

මෙහි අප කථා කරන්නේ මනුෂ්‍යයාගේ ව්‍යුතිප්‍රතිසන්ධි ගැනයි. මිනිසා තුළ පවත්නා ස්කන්ධයේ මොහොතක් පාසා විනාශයක් ඇත. එය මින් උඩ දී විස්තර කරන ලදී. කුඩා දරුවා ලොකු ළමයකු විය හැක්කේ මොහොතක් පාසා පවත්නා වෙනස්වීම් නිසා ය. එසේ වෙනස් වූවත් එක් භවයක දී ඔහුගේ මවුපියන්ගේ දූදරුවන්ගේ නෑයන්ගේ සම්බන්ධය පවත්නේ ය.

ව්‍යුතියෙන් හෙවත් මරණයෙන් සිදුවන්නේ ඊට වඩා බලවත් වෙනස්වීමකි; ඒ වෙනස්වීමෙන් ඥාතිමිත්‍රයන්ගේත් අයිති දේපලවලත් සම්බන්ධය නැතිවන්නේ ය. එයින් මිනිසා දෙවියෙකු හෝ තිරිසෙනෙකු විය හැක. අන්‍යවූම ඥාතිමිත්‍ර පිරිසක් ඔහුට ඇතිවෙයි: ඔහුට අයිති වන්නේත් අන්‍යවූම දේපලකි.

මේ එක් භවයකින් අන්‍ය භවයකට සංක්‍රමණය වීම සිදුවෙන සැටි විශුධිමාර්ගයෙහි ත් විභංගඅටුවාවෙහි ත් පටිච්චසමුප්පාද – නිදෙ දසයේ දී දක්වන ලදී. හේ මෙසේයි: අතීත භවයේ දී ස්වභාව වසයෙන් හෝ අන්‍ය උපක්‍රමයකින් හෝ මරණය ළංවූ විට අංගප්‍රත්‍යංගයන්ගේ සම්බන්ධකම් සිඳ දමන්නා වූ මරණාන්තික වේදනාවන් ඉවසිය නො හැකිව අව්වේ දැමූ අමු තල්කොළයක් මෙන්1 ක්‍රමයෙන් ශරීරය වේලී යන කල්හි හෙවත් අප්‍රාණික වෙන කල්හි චක්‍ෂූරාදි ඉන්ද්‍රියයන් නිරුද්ධ වූ කල්හි කායේන්ද්‍රිය – ජීවිතේන්ද්‍රිය – මනේන්ද්‍රිය හෘදය වස්තුව ආශ්‍රය කොට පවත්නා කල්හි මනේන්ද්‍රිය නමැති සිත තමා ජීවත් ව සිටියදී බරපතල ලෙස සැලකූ කර්මයක් හෝ නතර කළ කර්මයක් හෝ මරණයට ළංවූ කාලයේදී කළ කර්මයක් හෝ අරමුණු කොට ගනී.

නැතහොත් ඒ කර්මය කරන කාලයේ දී ඒවා කිරීමට උපකාර වූ දාන වස්තු - මල් - සුවඳ – ආයුධ – දැල් ආදි කර්ම නිමිත්තක් හෝ මින්පසු උපදින භවයේදී දකින්නට ලැබෙන උයන් පොකුණු - ගිනිදැල් ආදි ගති නිමිත්තක් හෝ ඔහුගේ සිතට අරමුණු වෙයි. මේ පුද්ගලයා තෘෂ්ණා අවිද්‍යා දෙක දුරු නොකළ බැවින් මේ අරමුණු ගැනීමේ දෝෂය අවිද්‍යාව විසින් වසනු ලැබේ; තෘෂ්ණාව ඔහු ඒ දෙසට හරවයි: ඒ සමග තිබෙන කුශල කුශලකර්මයෝ ඔහු එහාට තල්ලු කරත්.

මෙසේ තල්ලු කරනු ලබන ඒ පුද්ගලයා අගලකින් එහා පැත්තේ තිබෙන ගසක බැඳි කඹයක කොණ මෙහා පැත්තේ සිට අල්වා ගෙන කඹයේ එල්ලී අගලෙන් එගොඩට යන මිනිසකු මෙන් පෙර ජාතියේ ශරීරය අත්හරියි. අන්‍යභවයක ඉපදීමට පත්වෙයි. පෙර ජාතියේ අත්හරින සිත එයින් වෙන්වෙන බැවින් චුති ය යි කියනු ලැබේ. අලුත් භවයකට පැමිණෙව් සිත නැවත ගැළපීමක් ඇති කළ බැවින් පටිසන්ධි නම් වේ.

මේ දෙකම සිදුවූයේ එක් චිත්තපරම්පරාවකිනි. නිවනට යනතුරු චිත්තපරම්පරාවගේ සිදී කැඩීයාමක් නැතැයි දත යුතු. එබැවින් පරලොවින් මෙලොවට යමෙක් ආවේදැයි අසන්ට ඉඩක් නැත. අද කොළඹ යම් කිසි කර්මාන්තයක් කරමින් සිටි මිනිසෙක් හෙට මහනුවරට පැමිණඅන්‍ය වැඩක් කරන්නේ යයි සිතමු. ඒ මිනිසා සිටි තැනත් කළ කර්මාන්තයත් වෙනස් වූවත් මිනිසා වෙන් වූයේ නැත. එමෙන් මේ භවයෙන් අන් භවයකට පැමිණියත් චිත්ත පරම්පරාව වෙනස් නොවීය. “වෙනස් නොවී” යයි කියන ලද්දේ මොහොතක් පාසා වෙනස්වීම නැතැයි කීම නොවේ.

මෙසේ කිවහොත් ආත්මය ගමන් කෙෙර්ය යි කීවාට සමානය. මොහොතක් පාසා වෙනස් වෙන එකම චිත්ත පරම්පරාවක් මෙයින් අදහස් කරන ලදී. මිනිසෙකුගේ චිත්තපරම්පරාවම තිරිසනෙකුගේ චිත්තපරම්පරාව විය හැක්කේ එය නිතර වෙනස් වෙන බැවිනි. එක් භවයකදී ක්‍ෂණයක් පාසා වෙනස් වෙමින් පවත්නා චිත්තපරම්පරාව ඊළඟ භවයේදී අමුතුම තත්ත්වයකට පත්වෙන්නේ කර්මයන්ගේ බලය නිසයි.

නානාවිධ හොඳ නරක කර්මයන් කරන සත්වයාට හැමදාම එක් සැටියකින් පවතින්නට හෝ උපදින්නට නො ලැබේ. ඒ ඒ කර්මයන් විසින් තල්ලු කරනු ලබන හෙතෙමේ වරක් දෙව්ලොව ද වරක් මිනිස් ලොව ද තව වරක දී තිරිසන් - ප්‍රේත – නිකායවල ද උපදියි. එබැවින් පූර්වභවයේදී ඇති වූ හේතුවක් නැතිව පුද්ගලයා අන් භවයක නූපදින්නේයයි ද දත යුතු.

1. සම්පූර්ණ තල් කොළයක් අමුවෙන් කපා අව්වේ දැමූ විට අග්ගිස් වේලී සුදු වෙමින් ගොස් ඇත්තේ එක් පෙදෙසක පමණක් නිල්පැහැය ඉතිරි වෙයි. හබුරු කොළයක් අමුවෙන් අව්වේ දැමූ විට ද මෙය මෙසේම සිදුවෙන බව පෙනේ. තව තවත් වේලෙන විට එතැන තිබුණ නිල්පැහැය ද දුරුවෙයි.

ඉතිරි කොටස ලබන සතියේ

අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ
‘ථේරවාද බෞද්ධ දර්ශනය’ පොතෙන් උපුටා ගැනිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා