වෙනස්වන ලෝකයේ සාරධර්ම සෝදා පාළුව

වෙනස්වන ලෝකයේ සාරධර්ම සෝදා පාළුව

මේක මහා අවිනිශ්චිත යුගයක්. කොයි මොහොතේ කුමක්වේද කියා කියන්න බැහැ. හැම දේම වේගයෙන් වෙනස් වෙනවා. කොපමණ වේගයෙන් වෙනස් වෙනවාද කිව්වොත් අපේ සිත නිතරම කැලඹිලා, සමබරතාවක් ඇත්තෙම නැහැ. ලෝකේ හැම රටකම මහ නොසන්සුන්තාවක් තියෙන්නේ. “නවීකරණය” කියලා මහා භයානක රෞද්‍රරකුසෙක් දැන් ඇවිල්ල. ඒ රකුසා ඉදිරියේ අපේ සම්ප්‍රදායයන් අඩපණ වෙලා. මේ සම්ප්‍රදායයන්ගෙන් එකට බැඳිලා තිබුණු සමාජය කෑලි - කෑලිවලට බිඳිලා ගිහිල්ලා. මේක මහා කලබලකාරී යුගයක්.

වෙනස්කම් සිදුවෙන්නේ හිතන්නවත් බැරි තරම් වේගයකින්. ඉස්සර අවුරුදු සිය දහස් ගණනකින් සිදුවුණු වෙනස්කම දැන් අවුරුදු කිහිපයකින් සිදු වෙනවා. හරියටම වයසට යන්න ඉස්සෙල්ලා අකාලෙ නාකි වුණු ළමයකුට වුණු දේම තමයි අප ජීවිත්වන මේ යුගයටත් සිද්ධවෙලා තියෙන්නේ. දීර්ඝ කාලයකින් සිද්ධ වෙන්න ඕන දේවල් ඉතාම කෙටි කාලයක් ඇතුළත සිද්ධ වෙනවා.

රිකී ගැලැන්ටි කියන්නේ කැනේඩියානු ජාතික ළමයෙක්, එයා උපන්නේ 1966. ජීවත් වුණේ අවුරුදු 11 යි. ඒ ළමයගේ පෙනුම හරියට ම අවුරුදු අනූවක් විතර මහළු තැනැත්තකුගේ වාගේ. නහර ගල් ගැහිලා, හොඳටම තට්ටේ පෑදිලා, හම වැහැරිලා, රැළි ගැහිලා, අකාලෙට නාකිවෙලා. අප ජීවත්වෙන යුගයත් ඒ වගේ, වෙනස් වෙන වේගය හුඟක් වැඩියි. එය සමාජයට ඔරොත්තු දෙන්න බැරි තරම් වේගයක්.

දියුණු වන රටවල හට ගන්නා මේ වෙනස්වීමේ සුළං රැල්ල මුළු ලෝකය හරහා ම හමා ගිහිල්ලා. කාර්මික දියුණුවක් සමග ආර්ථික රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා. නගර වැඩි වෙලා. ඉස්සරට වඩා වේගයෙන් දැනුම පැතිරිලා. ජනගහනය බොහෝ සෙයින් වැඩිවෙලා.

තාක්ෂණයේ හා විද්‍යාවේ දියුණුව නිසා නොයෙකුත් අලුත් දේ බිහිවෙලා. ඒ වාගේම අපට උරුම වුණු සමහර සංස්කෘතික ලක්ෂණ අභාවයට ගිහිල්ලා. සාරධර්ම සෝදා පාළුවෙලා. අලුත් සිරිත් - විරිත්, සංස්කෘතික ලක්ෂණ බෝවෙලා. මේ වාගේ ශීඝ්‍රයෙන් සිදුවන වෙනස්කම් නිසා සමාජයත් බොහෝ වෙනස්වීම්වලට භාජන වෙලා. මේ වෙනස්කම් හැම විටම දකින්නට තිබෙනවා. පුද්ගලයින් තුල සමාජවල, ලෝකයේ රටවල ;ම් වෙනස්කම් පැහැදිලිව දකින්නට තිබෙනවා. මේ හේතුවෙන් හැම දෙයක් ම මහත් විපර්යාසයකට පත්වෙලා.

දැන් සමාජවල තණ්හාව, භය, ක්‍රෝධය ආදී හැඟීම් බහුලයි. මේ නිසා සමාජයේ වැඩි දෙනෙක් ඉන්නේ අසහනයෙන්, කළකිරීමෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන් පෙළෙමින්, වැඩි දෙනෙකුට – විශේෂයෙන් අග හිඟකම් නැතිව සැප සම්පත් ඇතිව හැදුණු වැඩුණු තරුණ – තරුණියන්ට – ජීවිතය නිෂ්ඵල, අර්ථයක් නැති දෙයක් ලෙසයි දැනෙන්නේ.

ඒ නිසා ඒ අය පවතින තත්ත්වයට විරුද්ධයි. සියලු දේවලට විරෝධය පානවා; එබඳු විරෝධ ව්‍යාපාරවලට සහභාගි වෙනවා. පවතින ක්‍රමය යටතේ කෙරෙන සියලු වැඩ කටයුතුවලට ඔවුන්ගෙන් දැඩි අභියෝගයක් එල්ල වෙනවා. මේ නිසාම මේ අය බොහෝ දේ අවුල් කරනවා. අමුතු මාදිලියේ නැටුම් – ගැයුම් ඉදිරිපත් කරනවා. එයින් නවතින්නේ නෑ. සදාචාරය විනාශ කරනවා. නානා ප්‍රකාර විලාසිතා ක්‍රම ඉදිරිපත් කරනවා. පවුල සී සී කඩ විසුරුවා හරින අන්දමේ කටයුතු කරනවා.

වර්තමාන සමාජවල ජීවත්වන අය පෙළන තවත් හේතුවක් නම් පාළුවයි. කාන්සියයි. මේ තරම් වෙනස්කම් සිදුවන, මේ තරම් සැපසම්පත් ඇති, නිතර කළබලයෙන් යුතු කෝටි ගණන් ජනගහනය සිටින සමාජවල සිටින අයටත් පාළුවක් කාන්සි ගතියක් දැනෙනවාය කීම එක්තරා විදියක පුදුම කතාවක් කියා සිතෙන්න පුළුවනි. නමුත්, ඒ කතාවේ ඇත්තක් තියෙනවා.

පාළුව කියන්නේ මිනිසුන්ගෙන් ඈත්ව තනි වී සිටින විට දැනෙන හැඟීම ම නොවෙයි. කැලේ තනිව ඉඳිමින් භාවනා කරන කෙනකුට පාළුවක් දැනෙන්නේ නෑ. ඒ තැනැත්තාගේ සිත මුළුමනින්ම භාවනාවට කැප වෙලා. සිත දියුණු කිරීමයි අරමුණ. ඒ නිසා පාළුගතියක් දැනෙන්න විදිහක් නෑ. නමුත්, සැණකෙළි පොළක, මහා පිරිසක් මැද සිටින කෙනකුගේ සිතට තද පාළු ගතියක් දැනෙන්න පුළුවනි. සමහරුන් තනිව හුදකලාවේ ඉන්න කැමතියි. එතකොට ඒ අයට තමන් කැමති විදිහට ඉන්න පුළුවනි. ඒ අයට තනිකමක්, නොගැලපෙන බවක් දැනෙන්නේ සමාජවල ජීවත්වන විටයි. එහෙම සෙසු අය සමග ජීවත්වන විට නොයෙකුත් සීමා බන්ධනවලට චාරිත්‍ර - වාරිත්‍රවලට අකටයුතු කම්වලට යටත්වීමට සිදුවන නිසා ඒ අයට එක් ආකාරයක තනිවුණු ගතියක් දැනෙනවා.

ඒකාකාරී බවත් පාළුව වගේම සිතට වදයක්. මෙයත් නොයෙක් ආකාරයෙන් මිනිස් සිතට බලපානවා. කොපමණ මිළ - මුදල්, සැප - සම්පත්, ධනබලය - පිරිස්බලය තිබුණත් සමහරු ඒකාකාරී බවෙන් පෙළෙනවා. මේ උදවිය තමන්ගේ ජීවිත දකින්නේ නිෂ්ඵල ,, තේරුමක් නැති පැවැත්මක් හැටියටයි. මේ ඒකාකාරී බවෙන් මිදෙන්න මේ අය නොයෙකුත් උපක්‍රම යොදනවා. අමුතු ඇඳුම් අඳිනවා. පුදුම කොණ්ඩා මෝස්තර දානවා. ගෑණු පිරිමි වගේ අඳිනවා, පළඳිනවා. පිරිමි ගැහැණු වගේ සැරසෙනවා. මේ හැම දෙයක් ම කරන්නේ ඒකාකාරී බවෙන් මිදෙන්න. අනික් අයගේ අවධානය තමන් වෙත ඇද ගන්න. විවිධත්වයක් ඇති කරගන්න. තවත් අය මීට වඩා වෙනස් ක්‍රම යොදා ගන්නවා.

සූදු කෙළියට ඇබ්බැහි වෙනවා. සුළු සොරකම්වල යෙදෙනවා, නිතර අඬ – දබරවලට, සණ්ඩු සරුවල්වලට පැටලෙනවා. එහෙත්, ඇත්ත වශයෙන් ම මේ කිසිවකින් ඔවුන්ට පාළු - ඒකාකාරී ගතියෙන් මිදෙන්න බැහැ. තමන් ගැන ම සිතමින්, තමන්ගේ ආශාවන් ම සංසිඳුවා ගැනීමට උත්සාහ ගැනීමෙහි ම යෙදී සිටින තාක්කල් මේ අයට පාළු ඒකාකාරී ගතියෙන් මිදෙන්න බෑ. මේ අය කළ යුත්තේ තමන් ගැන සිතීම අඩු කරලා තම සහෝදර ජනතාව ගැන සිත යෙමු කිරීමයි. ඒ අයගේ යහපතට හේතුවන යමක් කිරීමට යොමු වීමයි.

එවිට ජීවිතය අර්ථවත් දෙයක් කියා තේරෙයි. අන් අයගේ පාළුව තුනී කිරීමට, අන් අයට ඒ සතුට ගෙන දීමට තමන් ද දායක වන බව වැටහෙයි. එහෙම වැටහෙනකොට පාළුව පැන යනවා සිකුරුයි. ජීවිතය පණ ගැහී ලස්සණ වෙන බවට සැකයක් නෑ. එතතොට ඒ එකාකාරී බව කොහෙන් ගියාද කියාවත් සිතා ගන්න බැරිවේවි. එහෙම නැතුව, නොයෙකුත් විකාර කරමින් පාළුවෙන්, ඒකාකාරී බවෙන් මිදීමට ගන්නා උත්සාහය, හරියට ම ගල් අහුර – අහුර දමමින් පත්ල නොපෙනෙන මහා වලක් පිරවීමට ගන්නා වෙහෙස වගේ මහ නිෂ්ඵල වැඩක්.

මේ කිසිවක් නොකර සමහරු පාළු - ඒකාකාරී බවෙන් මිදෙන්නය කියල මත්පැන් බීමට ඇබ්බැහි වෙනවා. මේ මොන තරම් මෝඩ කමක් ද? මත්පැන්වලින් කෙනෙකුගේ සිතේ තිබෙන දුක්කරදර, ගැටීම්, ප්‍රශ්න සෝදා පහකර හරින්න පුළුවන් නම් කොච්චර පහසුද ? මත්පැන්වලට ඇබ්බැහිවීම හරියටම ගින්නට පිදුරු දානවා වාගෙයි. එයින් සිදු වන්නේ ප්‍රශ්න තවතවත් උග්‍රවීම පමණයි.

වත්මන් යුගයේ පවතින පැටලැවිලිවලට බලපාන තවත් එක් ප්‍රධාන හේතුවක් තමයි මත් ද්‍රව්‍ය භාවිතය. මත්පැන්වලට ඇබ්බැහිවීමෙන් ඇති වී තිබෙන ප්‍රශ්න සුළුපටු නෑ. මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන ප්‍රශ්න ඒ වගේ සිය දහස් ප්‍රමාණයක් විශාලයි. ලෝකයේ හැම තැනක ම වාගේ මේ උවදුර පැතිරීලා තිබෙනවා. හෙරොයින් , කොකෙයින්, මරිජුවානා වැනි මත්ද්‍රව්‍ය භාවිතය ඉතා සුළභයි. පෞද්ගලික හා සමාජ ප්‍රශ්න රැසක් ඇතිවීමට මෙය එක් ප්‍රධාන හේතුවක්. මේ නිසා මිනිහා පිරිහෙන්නෙ සදාචාරික අතින් පමණක් නොවෙයි.

ශාරීරික සෞඛ්‍යනෙුත් මිනිහා අන්තයට ම පිරිහෙනවා. සුළු අපරාධවල පටන් විශාල අපරාධ දක්වා බොහෝමයක් අපරාධවලට බොහෝ විට මුල් වන්නේ මේ මත් ද්‍රව්‍ය භාවිතයයි. මංකොල්ලකෑම්, ලිංගික අපරාධ, වංචාකිරීම් ආදිය මෙන් ම ;බාහෝමයක් සුළු සොරකම් වැඩිවීමට ප්‍රධාන හේතුව මෙය බව බොහෝ දෙනා පෙන්වා දී තිබෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුණ සාමාජිකයකු ඉන්න පවුලක කිසිම සමාදානයක් නෑ.

නිතරම රණ්ඩු සරුවල්, කලකෝලාහල මව්පියන්ට සැලකිල්ලක් නෑ. සහෝදර සහෝදරියන් සමඟ ඇනකොටා ගන්නවා. බිරිඳව මරන්න හදනවා. එච්චර ද? මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අය තමන්ට ම කොපමණ වධ දී ගන්නවා ද ? ඇඟ පත පුරාම කපා ගන්නවා. හරියට නෑමක් – කෑමක් – බීමක් නෑ. හෝන්දු - මාන්දු ගතියෙන් මුළු දවස ම කිරා වැටෙනවා. ජීවත් වෙන්නෙ මිහිපිට අපායක.

හැම වයසක ම, නොයෙකුත් තරාතිරම්වල අය මේ මත් ද්‍රව්‍ය රකුසාට ගොදුරුවෙලා. පිරිමි පමණක් නොවෙයි, ගැහැණුත් ක්‍රමක්‍රමයෙන් තරුණ තරුණියන් බිලිගන්න ප්‍රමාණය වැඩි වේගෙන යනවා. මේ ඇබ්බැහි වීම පාසල් ළමුන් අතරටත් පැතිර ගිහින්. තරුණ පරපුර විනාශ වෙනවා කියන්නේ මුළු අනාගතය ම විනාශ වී , අඳුරෙන් අඳුරටම යෑමයි. මේ භයානක උවදුරු නිසා මොන තරම් මිනිස් ශ්‍රමයක් නැති වී ගොස් තිබෙනවාද ? ජාතික ධන නිෂ්පාදනය මේ නිසා කොයි තරම් අඩාල වෙලා තතිබෙනවා ද ? මෙය දියුණුවන රටවලට මරු පහරක් වගේ. ඒ රටවල් ක්‍රමක්‍රමයෙන් ප්‍රපාතයට යනවා. බලා ඉන්දැද්දී පිරිහෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම අත්හැරින්න හරිම අමාරුයි. ඒ ඒ රටවල ආණ්ඩු මගින්, වෙනත් සංවිධාන මගින් මේ අය පුනරුත්ථාපනය කරන්න උත්සාහ ගන්නවා. මේ නිසා ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අය රටවලට අනවශ්‍ය බරක් බවට පත්වෙලා. මේ පුනරුත්ථාපන කටයුතු සදහා වියදම් කරන්න සිදු වී තිබෙන්නේ රටේ සංවර්ධන කටයුතු, සුබසාධක කටයුතු සඳහා වියදම් කරන්නේ තිබෙන ධනයෙන් කොටසක්. ඒ නිසා සංවර්ධණ හා සුබසාධක කටයුතු අඩපණ වෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයනිසා ඇතිවන නොයෙකුත් ප්‍රශ්න, කරදර වලක්වා ලන්නට, පාලනය කරන්නට ඒ සඳහා නීති මගින් කටයුතු කරන්නට විශාල මුදලක් වැය වෙනවා. මේ සියලු දේ සඳහා ම වැය කරන්නෙ සිදු වෙන්නේ මහජන මුදල්. සංවර්ධනය, සුබසාධනය වැනි අංග කප්පාදු කරල ඒ සඳහා වෙන් කෙරෙන මුදල්වලින් කොටසක් මෙලෙස වැය කරන්නට සිදුවීම දියුණුවන රටවල්වලට කොහෙත් ම ඔරොත්තු දෙන්නේ නෑ.

එනිසා සෑම කෙනෙක් ම, විශේෂයෙන් වැඩිහිටි වගකිවයුතු පුරවැසියන් , සියලු දෙනා ම, රටවල් විනාශ කරන්න, තරුණ පරපුර ගිලගන්න එන මේ මත්ද්‍රව්‍ය රකුසා ගැන විමසිලිමත් වීම වැදගත්. මේ රකුසා පරාජය කරන්න අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. සංවිධාන වෙන්න ඕනේ.

ඉතිරි කොටස ලබන සතියේ

මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා