බණ්ඩාරගම වික්‍රමශිලා මහ පිරිවෙන

බණ්ඩාරගම වික්‍රමශිලා මහ පිරිවෙන

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම නගරාශි‍්‍රතව පෞරාණික බෝධියක් ඇසුරු කොටගෙන කුඩා විහාරස්ථානයක් තනන ලද්දේ මීට වසර හැටකට පමණ උඩදීය. මෙම ප්‍රදේශයේ සම්භාවනීය පෙළපතක් වන ආටිගල පරම්පරාවට අයත් ඉඩමක පිහිටි බෝධිය ආශි‍්‍රතව කටුමැටි ගසා කුඩා ආරාමයක් තැනීමට මූලික වී ඇත්තේ ගරු බෝපිටියේ පඤ්ඤාලංකාර නම් තෙර නමකි. උමතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම තුළින් සුපතල කීර්තියක් එදා ලබා ඇත.

1988 වර්ෂයේ දී පූජ්‍ය රොටුඹ පේමරතන හිමියන්ට මෙම ආරාමයේ භාරකාරත්වය ලැබී ඇත. උන්වහන්සේගේ ප්‍රථම කාර්ය වූයේ ඓතිහාසික බෝ සමිඳුන් වෙනුවෙන් අටවිසි බුදුකුටි සහිත දර්ශනීය බෝධි ප්‍රාකාරයක් ඉදිකිරීමයි.

හතලිහකටත් අඩු කුඩා සොදුරු ගමක සැදැහැති ජනතාව සමඟ එක්ව බලවත් පරිශ්‍රමයකින් එකින් එක ගොඩනැගිලි ඉදිකිරීමට පෙළඹිණ. කටුමැටි ගසා තනා තිබුන කුඩා සංඝාවාසය ඉතාම අබලන්ව පැවති අතර කුඩා ශාලාව ද වහල දිරායාම නිසා මුක්කු ගසා රඳවාගෙන තිබිණ. දංගෙයක් හෝ දාන ශාලාවක් නොපැවතිණ. රබර් වත්තක් මැදින් වැටී තිබුන පාර ගල් මුල් මතුවී පයින්වත් ගමන් කිරීමට අසීරු තත්ත්වයකින් යුක්ත විය.

පූජ්‍ය රොටුඹ පේමරතන හිමියන් ආධිපත්‍යයට පත්වීමෙන් පසු පෙර දවස පැවති අන්ධකාරය දුරුවිය. ආලෝකය ළඟාවිනි. පස් නමකටවත් වැඩ සිටීමට ;නාහැකි කුඩා ආරාමය වෙනුවට විසිනමකට පමණ වැඩසිටිය හැකි අයුරින් සංඝාවාසයක් තනනු ලැබිණ. දෙමහල් ලෙසින් විහාර මන්දිරයක් තැනවීය.

මල් ආසන, ඝන්ඨාර කුළුණ, දේවාල, දෙමහල් දංගෙය, දාන ශාලාව, දෙමහල් නේවාසිකාගාරය, පුස්තකාලය, මෙන්ම වැසිකිළි කැසිකිළි ආදිය ඉදිකරවී ය. අක්කර දෙකකට පමණ සීමා වී තිබූ පන්සල් භූමියට ඉඩම් කැබලි හතරක් මිළදී ගැනීමෙන් අක්කර තුනකටත් වැඩි පසුබිමක් දැන් පවතියි. උන්වහන්සේ භාවිතා කළ වාහනය අලෙවි කිරීමෙන් ගත් මුදල් ඇසුරින් ඉඩමක් මිළදී ගෙන ධර්ම ශාලාව ද බොහෝ දුරට තනවනු ලැබිණ.

වැසි කාලයේ දී මහා මඩ වගුරක් බවට පත්වීමෙන් “පාර වසා ඇත” යන දැනුම් දීම් යෙදූ උඳුගොඩ පාරට විශාල ගල් - කොන්ක්‍රීට් තහඩු ආදිය දමා පාර තැනීමට උන්වහන්සේ පෙළඹුණහ. පාරට තාර දැමීම සඳහා මූලිකව ක්‍රියා කරන ලද්දේ ද මුන්වහන්සේ විසිනි. එමෙන්ම පාරට විදුලි පහන් සවිකරවා ගැනීම සඳහා අදාල නිලධාරීන්ගේ අනුග්‍රහය ලබාගත්හ.

දර්ශනපති පූජ්‍ය රොටුඹ පේමරතන හිමියන් නිසා වික්‍රමශිලා ධර්මායතනය පමණක් නොව බණ්ඩාරගම නගරය ද නව මුහුණුවරක් ගත් බව නොරහසකි. වෙසක් පොහොයට පවා කොඩියක්වත් දක්නට නොලැබුන නගරයේ වෙසක් සතිය තුළ වික්‍රමශිලා පිරිවෙණේ සිට නගරය දක්වා ද පානදුර පාර, හොරණ පාර, කැස්බෑව පාර හා පිළියන්දල පාර ද සරසන ලද්දේ දායක දායිකාවන් ද සහභාගි කර ගනිමිනි. එවක් පටන් සෑම වර්ෂයකම නගරය වෙසක් සතිය තුළ ඉතා දර්ශනීය ලෙසින් අලංකාර කිරීම සිදුවිය.

පෙර දවස කැලේ පන්සල ලෙසින් හැඳින්වූ කුඩා ආරාමය අදවන විට හතළිස් නමකටත් අධික භික්‍ෂු පිරිසක් නේවාසිකව වැඩ සිටින ස්ථානයක් බවට පත්ව ඇත. වික්‍රමශිලා පිරිවෙණ නමින් පිරිවෙණක් ඇරඹීම නිසා උදාවූ පසුබිම බෙහෙවින්ම විශිෂ්ට ය.

කළුතර දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී, පරිවෙණාධිපති සංගමයේ ලේඛකාධිකාරී පූජ්‍ය රොටුඹ පේමරතන හිමියන් යටතේ සිප් සතර හදාරන ගිහි පැවිදි සිසු පිරිස 350 පමණ වෙති. විභාග අසමත් වන සිසුන්ට විභාග සමත්වීමට අනුබල දෙන විද්‍යස්ථානයක් ලෙසින් ද අද වන විට කීර්තියක් ලබා ඇත. දුර්දාන්ත සිසුන් මැනවින් හික්ම වන විද්‍යස්ථානයක් ලෙසින් වික්‍රමශිලා මහ පිරිවෙණ ගෞරවයට ලක්ව ඇත.

ශ්‍රී පඤ්ඤාලංකාර ධර්ම විද්‍යාලය, සංඝමිත්තා කුළඟන සමිතිය, සමඟි අවමංගල්‍යධාර සමිතිය, ප්‍රජා සංවර්ධන පදනම ආදී පොදු සංවිධාන රැසක් මගින් විශිෂ්ට සේවයක් සළසනු ලබයි. අද වන විට මෙම ආයතනය රජය පිළිගත් පුන්‍යායතනයක් බවට පත්ව තිබීම සුවිශේෂී සිදුවීමකි. වික්‍රමශිලා මහ පිරිවෙණ ශ්‍රී ලංකාවේම බෞද්ධ අධ්‍යාපනයට අනුබල දෙන විද්‍යස්ථානයක් වශයෙන් ද හැඳින්විය හැක. බෞද්ධ ශිෂ්ටාචාරය, දහම් පාසලේ විභාග ආදිය සඳහා ග්‍රන්ථ 30 පමණ මෙම ආරාමයෙන් දොරට වැඩි බව සඳහන් කරනුයේ ඉමහත් අභිමානයෙනි.

වික්‍රමශිලා මහ පිරිවෙණ ශාස්ත්‍රීය කටයුතු වලට පමණක් සීමාවූ ආයතනයක් නොවේ. සමාජ සේවා මධ්‍යස්ථානයක් ද වෙයි. වාර්ෂිකව දුෂ්කර ගම්මානයකට හා ආරාම කීපයකට අවශ්‍ය විවිධ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම වැනි සේවාවන් සලසන ආරාමයක්ද වනු ඇත.

වාර්ෂිකව සිදුකෙරෙන විවිධ වැඩසටහන් අතර වික්‍රමශිලා මහා පෙරහර සහිත පුණ්‍යෙීත්සව මාලාව සුවිශේෂී කාර්යකි. පෙබරවාරි මස 04 වන දිනය ද ඇතුළත් වන ලෙසින් වසර 16 මහා පෙරහර පැවැත්වෙයි. 17 වන වතාවට ජනවාරි 29 වන දින සිට පෙබ. 06 දක්වා විශේෂ වැඩසටහන් රැසක් සිදු කෙරේ.

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් අභිනව විහාර මන්දිරය ජන: 29 පෙ. ව. 10.05 ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මෙම සුවිශේෂී අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ස්වාමීන්වහන්සේලා ප්‍රධාන සම්භාවනීය මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් ප්‍රධාන මහජන නියෝජිතයෝ ද සහභාගි වීමට නියමිතය.

ජන: 20 රාත්‍රී හත්වරුවේ පරිත්‍රාණ ධර්මදේශනාව ආරම්භ වන අතර පෙබ. 01 වන දින දේව දූත පෙරහර, දොරකඩ අස්න, අනුශාසනාව ආදී දේශනාවන් සිදු කෙරේ. 02 රාත්‍රී මල් පෙරහර ද 03 රාත්‍රී කවාඩ පෙරහර ද 4 රාත්‍රී වීථි සංචාර පෙරහර ද 6 වන දින රන්දෝලි මහා පෙරහර ද පැවැත්වෙයි. අලි ඇතුන් විශාල ප්‍රමාණයක් හා විශේෂ නැටුම් කණ්ඩායම් 65 පමණ මෙවර පෙරහරට සහභාගි වෙති. 6 වන දින ගරා ශාන්ති කර්මය පැවැත්වීමෙන් පිංකම් කටයුතු නිමා කෙරේ.

සටහන - ආචාර්ය කේ. ඒ. සී. පෙරේරා
තොරතුරු සම්බන්ධීකරණය ජයනාත් හීන්කෙන්ද
මාධ්‍ය සම්බන්ධීකරණය හා ඡායාරූප චන්ද්‍රා ශ්‍රී පෙරේරා (හොරණ මධ්‍යම විශේෂ)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා