පාරමිතා ධර්ම

පාරමිතා ධර්ම

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළ විය.

මෛත්‍රී පාරමිතා

කරුණා ප්‍රඥා දෙකින් පරිපෝෂිත, හිතචිත්තතාව මෛත්‍රී පාරමිතා යි. බාහිර වස්තු පෙළන අය කෙරෙහි පවත්වන. අවෛරී බව මෛත්‍රී පාරමිතා නම්, තමා ගේ ඇස් ආදි ශරීරාවයව පෙලන නසන අයට ද තමාට සෙයින් ම සෙත් කැමැති වීම මෛත්‍රී උපපාරමිතා නමි. තම ජීවිතය නසන්නවුන් කෙරෙහි ද තමාට සේ ම හිත සුව කැමති වීම මෛත්‍රී පරමාර්ථ පාරමිතා නමි.

බුද්ධ භක්තිය

උපේක්‍ෂා පාරමිතා

පි‍්‍රය අපි‍්‍රය හැම දෙනා කෙරෙහිත් හැම දැය කෙරෙහිත් සිතින් සම වැ පැවැත්ම උපේක්‍ෂා නමි. බුදු බව සඳහා වඩන ඒ ගුණය තෘෂ්ණාදියෙන් නොකිලිටි වැ කරුණා ප්‍රඥා දෙකින් සුරක්‍ෂිත වැ පවන්නේ උපේක්‍ෂා පාරමිතා යි. මේ ද අනිත් පාරමිතා සේ ම ත්‍රිවිධ යි. එහි ද තමා ගේ බාහිර වස්තු කෙරෙහි, අඹු දරු ආදීන් කෙරෙහි උපකාරී වැ ද අනුපකාරී ව ද පවත්නා හැමට සම වැ මධ්‍යස්ථ වැ පැවැත්ම උපේක්‍ෂා පාරමිතා යි. තම සිරුරු අවයවවලට හිත වැ අහිත වැ පවත්නා හැමට මධ්‍යස්ථ වීම උපේක්‍ෂා උපපාරමිතා යි. තම ජීවිතයට ම විනාශකාරී වූ හෝ උපකාරී වූ හැම දෙනාට එක සේ සම වැ පැවැත් ම උපේක්‍ෂා පරමාර්ථ පාරමිතා නමි.

දස පැරුම්

අකත්ති ( අගස්ත්‍ය ) ජාතකය සිවි ජාතකය ව්‍යාඝී‍්‍ර ජාතකාදිය 1 දාන පාරමිතාව පිරීමට ද, සීලව ජාතකය, ඡද්දන්ත ජාතක, රූරු මීග ජාතකාදිය ශීල පාරමිතා පිරීමට ද, සය්හජාතක, චුල්ලබෝධි ජාතක, මඛාදේව ජාතක ආදිය නෙක්ඛම්ම පාරමිතාව පිරීමට ද, රාජෝවාද ජාතක, සරභංග ජාතක, උම්මග්ග ජාතක, මහා බෝධි ජාතාකාදිය ප්‍රඥා පාරමිතා පිරීමට ද, චණ්ණුපථ ජාතක, පංචායුධ ජාතක, මහාකපි ජාතකාදිය වීර්ය පාරමිතාව පිරීමට ද, ක්‍ෂාන්තිවාද ජාතක, චුල්ලධම්මපාල ජාතක, හා කපි ජාතකාදිය ක්‍ෂාන්ති පාරමිතාව පිරීමටද, කණහදිපායණ ජාතක, දසරථ ජාතක, ජයද්දිස ජාතකාදිය සත්‍ය පාරමිතාව පිරීමට ද, තේමිය ජාතක, නලපන ජාතක, මහාසුව ජාතකාදිය අධිෂ්ඨාන පාරමිතාවට ද, ඒකරාජ ජාතක, නිග්‍රොධමිග ජාතක, සාම ජාතකාදිය මෛත්‍රී පාරමිතාව පිරීමට ද, අනනුසෝචිය ජාතක, උරග ජාතක, ලෝමහං ජාතකාදිය උපේක්ෂා පාරමිතාව පිරීමට ද නිදශ¡න වශයෙන් උගත යුතු.

පැරුම් පුරන කාලය

රහත්බව ලබන්නට අඩු ම ගණනේ කල්ප ලක්‍ෂයක් ද, පසේ බුදු බව සඳහා අසංඛ්‍ය දෙකකුත් මහා කල්ප ලක්‍ෂයක් ද, පැරුම් පිරිය යුතු.

ලොව්තුරා බුදු බව ලබන්නට ප්‍රඥාධික බෝධිසත්ත්වයන් විසින් සතර අසංඛ්‍යයකුත් කල්ප ලක්‍ෂයක් පැරුම් පිරිය යුතු ශ්‍රද්ධාධික බෝසතුන් විසින් අට අසංඛ්‍යයකුත් කල්ප ලක්‍ෂයක් ද වීර්යාධිකයන් විසින් සොළොස් අසංඛ්‍යයකුත් කල්ප ලක්‍ෂයක් ද පැරුම් පිරිය යුතු.

ව්‍යාඝී‍්‍ර ජාතකය ජාතක පොතේ නැත. ශ්‍රී සද්ධර්‍මාවාද සංග්‍රහයෙන් බලා දත යුතු මේ කීයේ පළමු නියත විචරණ ලත් අවස්ථාව පටන් කොට පැරුම් පිරියැ යුතු කාල ප්‍රමාණය යි. අපි බෝසතාණෝ ප්‍රඥාධිකයෝය. ඒ බැවින් පළමු නියත විවරණ ලත් සුමේධ තාපස කාලයේ සිට බුදු වීම තෙක් සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ම පැරුම් පිරීමෙන් ප්‍රඥාදී සියලු ගුණ අවසනට මුහුකුරුවා බුදු වියැ හැකි වූහ.

පැරුම් පිරීමේ අනුහස්

නියත විවරණ ලත් බෝසත්හු, සසරැ සරන කල්හි, අවීචියෙහි නො උපදිත්. ලෝකාන්තරික නිරයෙහි නො උපදින්, ප්‍රේත වැ නො උපදින්. පරෝපකාර පිණිස සිය කැමැත්තෙන් දී තිරිසන් වැ උපදිත හැකි වතත් ඇතකුට වඩා ලොකු හෝ වටුවකුට වඩා කුඩා සකේ වැ නො උපදී. මිනිස් වැ උපදනා කලැ ස්ත්‍රී වැ, පණ්ඩක වැ, නපුංසක වැ, උභතෝඛ්‍යංජනක වැ, නො උපදිත්, උත්පත්තියෙන් ම අන්ධවැ, ගොළු වැ, බිහිරි ව, පණ්ඩක වැ නො උපදිත්.

ආනන්තරිය පව් නො කරත්, නියත මිසදිටු නො ගනිත්. අසංඥතලයෙහි හෝ ශුද්ධාවාසයෙහි නො උපදිත්, අන්තිම අත්බව්හි තුසිත දෙව් ලොවින් සැව මව කුසැ පිළිසිඳ ගනුවෝ සිහි නුවණින් යුතු වැ ම පිළිසිඳ ගනිත්. සිහිනුවණින් යෙදී ම මව් කුසැ වසන් බිහි වනුවෝ ද සිහි නුවණින් යෙදී මැ බිහි වෙත්. මේ ආදී අනුසස් රැසෙක් වෙති. ඒ හැම පාරමී ධර්ම පිරීමෙන් ඇති වන දෑ ය.

පාරමිතා ඵල. පැරුම් පිරීමේ ඵලය නම් බුදුබව ලැබීම යි.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ගේ
“බුද්ධ භක්තිය” පොතෙන් උපුටා ගැනිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා