යේමන ජනපති අලීට ඉල්ලා අස්වන්නැයි උද්ඝෝෂණ

යේමන ජනපති අලීට ඉල්ලා අස්වන්නැයි උද්ඝෝෂණ

ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ මෑතදී සිදුවූ සිද්ධි මාලාවෙන් පන්නරයක් ලැබූ යේමන ජාතිකයන් බ්‍රහස්පතින්දා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා තිබේ. 1978 සිට එරට බලයේ සිටින ජනාධිපති අලී අබ්දුල්ලා ෂලේට ඉල්ලා අස්වන ලෙස විරෝධතාකරුවන් බලකර තිබේ. මෑතක සිට අල් - කයිඩාව, සිය ත්‍රස්ත කටයුතු මෙහෙයවීමේ "පිළිකන්න" බවට යේමනය පත්කරගෙන තිබේ. අල් කයිඩාවේ මෙම ප්‍රයත්නය ව්‍යර්ථකිරීමට අමෙරිකාව දැඩි පරිශ්‍රමයක යෙදී සිටී.

යේමන් ජාතිකයන්ට නිදහසේ හැසිරීමේ සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දිය යුතුය යන මතය අමෙරිකාව පිළිගෙන තිබේ. යේමනයේ හටගෙන ඇත්තේ ටියුනීසියාවේ ආකාරයේ අරගලයක් නොවන බව එරට විදේශ කටයුතු ඇමැතිවරයා පවසයි. තම රටේ දියත් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමි අරගලයක් බව ඔහු වැඩිදුරටත් කියයි. බදාදා උද්ඝෝෂණය පැවැති අතරවාරයේදී බස් නැවතුම් පොළකදී එක්තරා පුද්ගලයෙක් තම සිරුරට ගිනිතබා ගෙන තිබේ.

එම පුද්ගලයා හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තම සිරුරට ගිනිතබාගත් හතරවැනි විරෝධතාකරු මොහු ලෙස සැලකේ. මේ අතර ජනාධිපති ෂලේට පක්ෂපාති පිරිස් විසින්ද විරෝධතා දියත්කර ඇති බව වාර්තා වේ. 2006 සැප්තැම්බර් මාසයේදී ෂලේ යළි ජනාධිපති ධූරයට පත්වූයේ සත් අවුරුදු කාලසීමාවකටයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා