හිම කුණාටුවකින් වොෂිංටනයේ ගුවන් ගමන්-දෛනික කටයුතු ඇනහිටී

හිම කුණාටුවකින් වොෂිංටනයේ ගුවන් ගමන්-දෛනික කටයුතු ඇනහිටී

එක්සත් ජනපදයේ වොෂින්ටන් සිට බොස්ටන් දක්වා වන තරම් ඈතට විහිදෙන විශාල ප්‍රදේශයකට පෙරේදා දරුණු ශීත කාලගුණ තත්ත්වය යටතේ ගිගිරුම් සහිත හිම කුණාටුවක් පිළිබඳ අනතුරු ඇඟවුණු අතර නිව්යෝර්ක් හි ගුවන් තොටුපොළ දෙකක් වසා දැමීමෙන් ගුවන් සේවාවන් ද භූතල ගමනා ගමනයද අඩාල විණි. බදාදා උදේ පටන්ම අධිශීත වැසි හා අයිස් වැටෙමින් පැවති අතර සවස්වන විට ශීත කුණාටු තත්ත්වයක් නිර්මාණය විය. දිනක බැහැර සංචාරයක් නිමකර ආපසු එන ජනාධිපති බැරැක් ඔබාමාටද ඉන් ගැලවීමක් තිබී නැත.

විදුලි කෙටීම් හා ගිගිරුම් සහිත හිම කුණාටුව කලාපයම වෙලාගත් අතර නිව්යෝර්ක් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපොළ හා නිව්ජර්සියේ නෙවාර්ක් ගුවන් තොටුපොළ ද පැය 12 ක් පමණ වසා තිබිණි. සෙ. මී. 30 ක හිම තට්ටුවකින් බිම් ප්‍රදේශ වැසී තිබිණ. පෙරේදා සවස වනවිට මේ ගුවන් තොටුපොළ විවෘත වුණද අවලංගුව තිබුණු ගුවන් ගමන් නිසා ඇතිවූ තදබදයෙන් බොහෝ ගමන් ප්‍රමාද වී තිබිණි.

ෆිලඩෙල්පියා හා නිව්යෝර්ක් ලා ගාඩියා ගුවන් තොටුපොළ වලද තත්ත්වය මෙසේම විය. නැඟෙනහිර එක්සත් ජනපදයට සති ගණනකදී බලපෑ පස්වැනි ප්‍රබල හිමපතනය මෙය වන අතර එය සෙසු තත්ත්වයන්ට වඩා වෙනස් වූයේ විදුලිකෙටීම් ගිගුරුම හිමපතනය සමඟ මුසුවීම නිසාය. මෙය 1925 න් පසු නිව්යෝර්ක්හි හිම පිරුණු ජනවාරිය ලෙස වාර්තාගත වී ඇති අතර හිමතට්ටුව සෙ. මී. 90 ක් තරම් උසට තිබී ඇත.

පෙරේදා පාසල් සියල්ල වසා දමන ලද අතර සියලු නාගරික සේවා අත්හිටුවමින් නේවාසිකයන්ට නිවාසගතව සිටින ලෙස අවවාද කෙරී තිබිණි. හිමකුණාටු තත්ත්වය නිසා හෙලිකොප්ටරයෙන් ආපසු ඒම අපහසු වූ බැරැක් ඔබාමා රිය පෙළකින් ගමනේ යෙදුණද මාර්ග අවහිරතා නිසා ඔහුගේ ගමන ද බෙහෙවින් ප්‍රමාද වී ඇත. සාමාන්‍ය පුද්ගලයන් පැය 10 – 13 රිය තුළ හිරවී එකම තැන සිටි බව වාර්තා වේ.
 

එක්සත් ජනපද හිම කුණාටුවට ගොදුරු වූ පෙදෙසක අසල්වැසියන් ගස් කඩා වැටී
හිමෙන් පිරුණු මගක එක්වී සිටින අයුරු. ඒ.එෆ්.පී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා