ඉරාකයේ අවමංගල්‍ය උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්: 48ක් මරුට

ඉරාකයේ අවමංගල්‍ය උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්: 48ක් මරුට

බැග්ඩෑඩ්හි ෂයිටි දිස්ත්‍රික්කයේ පැවැති අවමංගල්‍ය උත්සවයකදී පෙරේදා (බ්‍රහස්පතින්දා) ප්‍රබල කාර් බෝම්බයක් පිපිරීගොස් තිබේ. මෙම ප්‍රහාරයෙන් 48 දෙනෙක් මරුමුවට පත්වූහ. මෙය මාස දෙකකින් අනතුරුව ඉරාකයට එල්ල වූ දරුණුතම බෝම්බ ප්‍රහාරය ලෙස සැලකේ. මේ හැරුණු කොට තවත් ප්‍රදේශවලද එදින බෝම්බ පුපුරුවා හැර තිබේ. ඒ අනුව මිය ගිය සම්පූර්ණ සංඛ්‍යාව 53 ක් බව වාර්තා වේ. ආරක්ෂක විධිවිධාන තර කිරීම සඳහා එම ස්ථානයට පැමිණි ආරක්ෂක භටයන්ට කෝපාවිෂ්ඨ වූ පිරිස් ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබේ.

පසුගිය දස දින තුළ ඉරාකයේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වී තිබේ. ඉකුත් මාර්තුවේ පැවැති මැතිවරණයෙන් අනතුරුව 9 මසක් පුරා පැවැති මතගැටුම් නිමා කරමින් අගමැති නුරි අල් - මලිකි සභාග රජයක් පිහිටුවා ගතවී ඇත්තේ මාසයක් තරම් කෙටි කාලයකි. මරාගෙන මැරෙන බෝම්බ කරු විසින් අවමංගල්‍ය උත්සවය පැවැති ස්ථානයේ කුටියක් තුළට සිය මෝටර් රථය පදවාගෙන ගොස් බෝම්බය පුපුරුවා හැර ඇති බව පොලිසිය පවසයි. එතැන තිබූ තවත් මෝටර් රථ කිහිපයක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර අවට නිවාස වල ජනේල වීදුරුවලටද හානි සිදුවී තිබේ.

ප්‍රදේශය බාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙස අගමැතිවරයා නියෝග කර තිබේ. පසුගිය සතියේදී කර්බලාහි පුපුරාගිය බෝම්බයකින් පුද්ගලයන් 57 දෙනෙක් මරුමුවට පත්වූහ. ජනවාරි 20 දින කර්බලා අවට ප්‍රදේශවල පුපුරා ගිය බෝම්බ කිහිපයකින් මිය ගිය සංඛ්‍යාව 45 ක් විය. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 50 කි. ඉරාකයේ ෂයිටි බහුතරය සහ සුළුතර සුන්නි ජාතිකයන් අතර ගැටුම් යළිත් උත්සන්න වී තිබේ. 60 කට අධික පිරිසකට මරුකැඳවමින් උතුරු බැග්ඩෑඩ්හිදී බෝම්බ පුපුරුවා හැරීම සම්බන්ධයෙන් අල් කයිඩාව වගකීම් බාරගෙන ඇත.
 

 ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පෙරේදා රිය බෝම්බයක් පුපුරාගිය තැන.

ඒ.එෆ්.පී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා