පුංචි ඡන්දයට සන්ධානයෙන් උගත් තරුණ මුහුණු රැසක්

පුංචි ඡන්දයට සන්ධානයෙන් උගත් තරුණ මුහුණු රැසක්

- විදුලිබල නියෝජ්‍ය ඇමැති

මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ උගත් තරුණ පිරිසක් ඉදිරිපත් කර තිබෙන බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි. මේ රටේ සෑම ගමකම මාර්ගයක් කොන්ක්‍රීට් කර ඇති අතර කුමන හෝ සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීමට 'මහින්ද චින්තන' ප්‍රතිපත්තිය මගින් හැකිව තිබෙන බව ද හෙතෙම සඳහන් කළේ ය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ නිවිතිගල පසුගිය (07) දා පැවති ජනහමුවක් අමතමිනි. අද නිවිතිගල ප්‍රදේශයේ ජනතාවට නායකත්වය ලබාදෙන්න උගත් බුද්ධිමත් තරුණ නායකත්වයක් ඉදිරිපත් කර තිබෙන බවත්, ගමේ ප්‍රශ්න ගමේම අය සමග කතා බහ කර විසඳුම් ලබාදීමට මේ නායකයන්ට හැකි බවත් හෙතෙම කීවේ ය. මහින්ද රාජපක්ෂ මහතා සියලු ව්‍යාපෘතින් ගම මුල්කරමින් සිදු කළ බවත්, මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයේදී මහින්ද චින්තනය සවිමත් කරමින් ගමට කඩිනම් සංවර්ධන කිරීමට හැකි නායකයන් තේරීම ජනතාව සතු වගකීමක් බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවට දූෂකයන්, වැරැදිකරුවන් ඇතුළත් නොවන බව පවසන ජයසේකර මහතා සියල්ලන්ම ගමේ හොඳ නමක් තිබෙන ගමේ නායකයන් බවද පැවසීය. අද තරුණ උගත් නායකයන්ගේ අඩුවක් දේශපාලන කරලියේ පවතින මොහොතක පළාත් පාලන මැතිවරණය සඳහා උගත් තරුණ පිරිසක් යොමු කිරීම තුළින් සන්ධානයේ ඉදිරිගමන සුබවාදී බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා