නාමයෝජනා වලට එරෙහිව සන්ධානය නඩු පවරයි

පළාත් පාලන ආයතන ගණනාවක ප්‍රතික්ෂේප වූ

නාමයෝජනා වලට එරෙහිව සන්ධානය නඩු පවරයි

ඇඹිලිපිටිය සහ තලවකැලේ ලිඳුල නගර සභාවල සහ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව එම සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (10) රිට් පෙත්සම් ගොනු කළේය. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක, අදාළ ප්‍රදේශයේ තේරීම් භාර නිලධාරීන්, නාම යෝජනා පත්‍ර භාර දුන් අනෙකුත් පක්‍ෂවල මහ ලේකම්වරුන් සහ අපේක්‍ෂකයින් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

ඇඹිලිපිටිය නගර සභාවට එසේම හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ එක් තරුණ අපේක්‍ෂකයකු නියමිත වයස් සීමාව තුළ නොමැති යැයි ද තලවකැලේ ලිඳුල නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ තරුණ අපේක්‍ෂකයකුගේ උපන් දිනය සනාථ කිරීමට උප්පැන්න සහතිකයක් හෝ දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති යැයි ද සඳහන් කරමින් තේරීම් භාර නිලධාරීන් විසින් නාම යෝජනා ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්වල සඳහන් වේ.

මැතිවරණ කොමසාරිස්වරයා 2010 ජනවාරි 11 දා සියලුම පක්‍ෂවල මහ ලේකම්වරුන්ට එවා තිබූ ලිපියේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින තරුණ අපේක්‍ෂකයන් 2009. 06. 01 දා වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතු යැයි සඳහන්ව තිබුණු බවද පෙත්සම පවසයි. ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කරන සර්ටියෝරාරි රිට් ආඥාවක්ද, එම නාමයෝජනා පත්‍ර පිළිගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට සහ තේරීම් භාර නිලධාරියාට නියම කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් ද, පෙත්සම් විභාග කර අවසන් වනතුරු මැතිවරණය පැවැත්වීම අත්හිටුවන අතුªරු තහනම් නියෝග පනවන ලෙස ද පෙත්සම්වලින් ඉල්ලා තිබේ.

මේ අතර හලාවත සහ නිකවැරටිය ප්‍රාදේශීය සභාවලට එ. ජ. නි. සන්ධානය ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර සඳහා එක්සත් ජාතික පක්‍ෂය ගෙන ආ විරෝධතා අදාළ තේරීම් භාර නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ද අභියාචනාධිකරණය හමුවේ ඊයේ නඩු පැවරීය.

හලාවත ප්‍රාදේශීය සභාවට සන්ධානය ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ එක් තරුණ අපේක්‍ෂකයකු වයස සපුරා නැති බවටත්, නිකවැරටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ එක් අපේක්‍ෂකයකු කුරුණෑගල නගර සභාවේ සභිකයකු වන බවත් සඳහන් කරමින් එ. ජා. ප. ය ඉදිරිපත් කළ විරෝධතා අදාළ තේරීම් භාර නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බව එම පෙත්සම්වල සඳහන් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා