සැහැල්ලු පැවතුම් ඇති ව ජීවත්වීම දියුණුවේ මාවතයි

සැහැල්ලු පැවතුම් ඇති ව ජීවත්වීම දියුණුවේ මාවතයි

වර්තමානයෙහි අප ජීවත්වන්නේ අන් කවරදාටත් වඩා බුදු දහමේ මාර්ගෝපදේශනය අපගේ ජීවිතවලට සමීප කරගත යුතු කාලවකවානුවක ය. නවීන විද්‍යාවේ දියුණුවත්, වෙළඳපොළ ආර්ථිකයත් හරහා මනුෂ්‍ය අවශ්‍යතා අසීමිත අන්දමින් වැඩිවී, මිනිසා තුළ තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, වෛරය, වැනි ක්ලේෂයන් ඉහ වහා යමින් පවතින යුගයක, අතෘප්තිකර ආශාවන් නිසා සහ ඉච්ඡා භංගත්වය හේතුවෙන් මිනිසා මානසික වශයෙන් බරපතල පීඩනයකට ලක් ව සිටින යුගයක බුදු දහම වැනි ධර්මයක ප්‍රායෝගික අවශ්‍යතාව වඩ වඩාත් දැනෙන් ට වී තිබේ.

භෞතික වශයෙන් ඉතාම ඉහළ දියුණුවක් ලබාඇති රටවල පවා ජනතාව ජීවත්වන්නේ දැඩි පීඩනයකට ගොදුරු වෙමින් බව නූතන සමාජ විද්‍යාඥයන්ගේ සහ මානව හිතවාදීන්ගේ නිරීක්ෂණයන් තුළින් තහවුරු වී තිබෙන පසුබිමක් යටතේ එකී පීඩනයෙන් මිදීමට මං සෙවීමට දැඩි උනන්දුවක් ඇති වී තිබෙන්නේ ද මේ නිසාය.

වර්තමාන ලෝකය, සමස්තයක් වශයෙන් සමාජ, ආර්ථික, දේශපාලනික ගැටලු අතර අතරමං ව සිටී. බොහෝ දෙනා නිතර කතා කරන අන්දමට ඇදහිය නොහැකි තරම් විශ්මිත අන්දමින් ලෝකය දියුණු වී තිබිය දී ජීවත්වීම ඉතා ම පහසු බවට පත් කරවීමට අවශ්‍ය සියල්ල සපිරී තිබියදී මුළු විශ්වයක්ම එක ම ගම්මානයක් බවට ශීඝ්‍රයෙන් පත්වෙමින් තිබිය දී මනුෂ්‍යයා අතර පීඩනය ඉහළ යන්නේ ඇයි?

ලෝකය දියුණු වන වේගයට සාපේක්ෂ වේගයකින් මිනිසා අතර අසහනයද වර්ධනය වන්නේ ඇයි? මේ වූ කලි සමාජ විද්‍යාඥයන්ගේත්, අර්ථ ශාස්ත්‍රඥයන්ගේත්, ආගමික නායකයන් සහ දේශපාලන නායකයන්ගේත් අවධානයටත්, සාකච්ඡාවටත් නිරන්තරයෙන් භාජනය වී ඇති ප්‍රශ්නයකි. බොහෝ බටහිර විද්වතුන්ගේත් පොදුවේ සහනය අපේක්ෂා කරන බොහෝ විදේශිකයන්ගේත් අවධානය බුදු දහම කෙරෙහි වඩ වඩාත් යොමුවීමට හේතුවී ඇත්තේ ද මේ ප්‍රශ්නයයි.

සමාජ අසාධාරණය පංති භේදය, සම්පත් බෙදීයාමේ විෂමතාව දරිද්‍රතාව වැනි මානව සමාජය පෙළන බොහෝ ප්‍රශ්නවලට හේතුව ලෙස මීට දශක දෙක තුනකට පෙර සිට විද්වතුන් දුටුවේ ආර්ථික දර්ශනයේ සාවද්‍ය භාවයයි. ඇඩම් ස්මිත් විසින් ධනවාදය හෙවත් වෙළඳ පොළ ආර්ථිකයත්, කාල්මාක්ස් විසින් මධ්‍ය සැලසුම්ගත ආර්ථිකය හෙවත් සමාජ වාදයක් හඳුන්වා දෙන ලද්දේ ඊට පිළියම් ලෙසිනි. එකී ආර්ථික න්‍යායන් පිළිගත් පෙරපර දෙදිගම රටවල් ඒ අනුව තම ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කරන්නට විය.

එහි ප්‍රතිඵළය වූයේ ලෝක සාමයට තර්ජනය කෙරෙන ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක් අලුතින් සමාජ ගත වීම පමණි. සාමකාමී සහජීවන රටාවකට හුරු වී සිටි පෙරදිග රටවල් පවා එකී නව ආර්ථික න්‍යායයන් ක්‍රියාවට නගන්නට යාම නිසා සිදුවූයේ ඔවුන් එතෙක් භුක්ති විඳිමින් සිටි තෘප්තිකර ජීවන රටාවද අතෘප්තිකර එකක් බවට පත් වීමයි. වසර දහස් ගණනක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ පෙරදිග වැසියන් ගතකළේ තෘප්තිමත් ජීවන රටාවකි. ඊට පසුබිම් වූයේ බුද්ධ ධර්මයෙන් ලත් ශික්ෂණය යි.

ශ්‍රී ලංකාව, චීනය, ජපානය, බුරුමය, තායිලන්තය, ඉන්දියාව, නේපාලය වැනි රටවල ජනයා බුදු දහමින් හික්මැවුණු ජීවිත ගත කරමින් සැහැල්ලු දිවි පැවැත්මකට හුරු වූවෝ වෙති. ආර්ථික සංවර්ධනය පිළිබඳ නව අර්ථ කථන අනුව නම් ඔවුහු දරිද්‍රතාවයෙහි ගැලී සිටියහ.

ඒ භෞතික වශයෙන් නොදියුණු මට්ටමක ජීවත් වූ නිසා ය. එහෙත් ආධ්‍යාත්මික අතින් ඔවුහු ඉතා පොහොසත් වූහ. වෙනත් රටවල් පසෙක තබා අපේ රට දෙස අවධානය යොමුකළ හොත් අපේ ඉතිහාසයෙන් දක්නට ලැබෙන යථාර්ථය එයයි. දැනට විද්‍යාමාන වන අතීත නෂ්ටාවශේෂයන් තුළින් කියාපාන යථාර්ථය ද එය යි. එහෙත් වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන් වන අපට ද උරුම වී ඇත්තේ. ඉච්ඡා භංගත්වයත්, පශ්චාත්තාපය හා අසහනයත් පමණි.

ඉතා සරල උදාහරණයකින් අපේ රටේ තත්ත්වය විග්‍රහ කරන්නේ නම්, බෞද්ධ සංස්කෘතිය පදනම් කොට ගත් සමාජ රටාවක් පැවැති අවදියේ දී අපි ලොව කිසිදු රාජ්‍යයකට ණය ගැතියෝ නොවීමු. ආහාරයෙන් ස්වයංපෝෂිත ව අතිරික්තය අපනයනය ද කළෙමු. ලොව කිසිදු රටක දී හමු නොවන සංග්‍රහශීලී, මිත්‍රශීලී ජනතාවක් වෙසෙන රටක් ලෙස විදේශිකයන්ගේ ප්‍රශංසාවට ද ලක් වීමු. අපේ රටේ සිරකරුවකු ලෙස වසර විස්සක් දුක් විඳි රොබට් නොක්ස් පවා සඳහන් කළේ “සිංහලයා විනීත ය. ආගන්තුක සත්කාරයෙහි තත්පරය, ස්වදේශිකයන්ට මෙන් ම විදේශිකයන්ටත් කරුණාවෙන් සලකන්නේය” යනුවෙනි. අපේ අද මිම්මෙන් නම් එදා ජනතාව දිළින්දෝය.

අද අප සිතන අන්දමට බොහෝ දියුණු ලක්ෂණ අප සතුව තිබේ. යාන වාහන, මං මාවත්, නගර ගම්මාන, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම් උපයෝග පරිභෝග වස්තු ආදී මෙකී නොකී බොහෝ දේ අපට තිබේ. ධනය ඇතිනම් ලබාගත නොහැකි භෞතික සම්පතක් නොමැති තරම් ඉසුරින් ආඪ්‍ය වී තිබේ. එහෙත් අද අපි මුළු ලොවට ම ණය ගැතියෝ වී සිටිමු. සමීක්ෂණ වාර්තා අනුව ගත් ණය සඳහා පොළී ගෙවීමට තව තවත් ණය ගැනීම නිසා ණය උගුලක හිර වී සිටිමු. එදා අපට තිබූ ආධ්‍යාත්මික සුවය අද අපට අහිමිය. මහා වරප්‍රසාද ලබා ඉසුරුමත් ජීවිත ගත කරන අය පවා දිවි ගෙවන්නේ මානසික අසහනයෙන් මිරිකෙමින් බව රහසක් නොවේ.

වර්තමාන ලෝකයේ ආර්ථික දියුණුවෙන් හා ඒක පුද්ගල ආදායම් තත්ත්වයෙන් ඉහළ ම රාජ්‍යය නෝර්වේ රට ය. ලෙයිෆ් සැන්ඩ්ගෝල්ට් නැමැති නෝර්වීජියානු විචාරකයා තම රට ගැන පවසන්නේ මෙසේ ය. “වර්ධනය වූ ජීවන තත්ත්වයක් තිබුණු පසුගිය තිස් වසරක කාලය තුළ නෝර්වේ රටෙහි සිය පණ හානි කර ගැනීම් දෙගුණ වූයේ ය. මත් පැන් පානය දෙගුණ වූයේ ය.

මත් ද්‍රව්‍ය භාවිතය ශීඝ්‍රයෙන් වර්ධනය විය. දරුණු අපරාධ දෙගුණයකට ද වැඩි වූ අතර මිනී මැරුම් තෙගුණ වූයේ ය. අපගේ සමාජයෙහි ආත්මයට හානි වී ඇති බව පෙනේ. අද අප ජීවත්වන්නේ ප්‍රසන්නතාවයෙන් හීන වූ සතුට අඩු වූ සමාජයකය.” මේ අන්දමින් දීර්ඝ ලෙස තම රටෙහි ආධ්‍යාත්මික පරිහානිය විග්‍රහ කරන ලෙයිෆ් අවසානයේ දී එළැඹෙන නිගමනය මෙසේ ය. “වර්ධනය වූ ජීවන තත්ත්වයන් හා සන්තුෂ්ටිය තෘප්තිය අතර සම්බන්ධයක් නැති බව මිනිස්සු වැඩි වැඩියෙන් තේරුම් ගනිමින් සිටිති.

19 වැනි හා 20 වැනි සියවස් අතර කාල පරිච්ඡේදය තුළ ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත ව ගිය “භාණ්ඩ හා සේවා වැඩි වැඩියෙන් සපයා ගැනීමෙන් හෙවත් පරිභෝජනය ඉහළ මට්ටමකට නංවා ගැනීමෙන් තෘප්තියක්, සන්තුෂ්ටියක් ළඟා කර ගතහැකිය” යන සංකල්පය හුදු මිත්‍යාවක් බව අද වන විට ප්‍රත්‍යක්ෂ සත්‍යයක් වී ඇති බව අමුතුවෙන් කිවයුතු නොවන තරමට තහවුරු වී තිබේ.

භෞතික අවශ්‍යතා සපුරාගත් පමණින් මනුෂ්‍යයාට තෘප්තිය හෝ සන්තුෂ්ටිය නොලැබෙන බව 21 වන ශත වර්ෂයේ ජීවත්වන අප මෙන් ම ක්‍රි’පූර්ව හයවන ශත වර්ෂයේ ජීවත් වූ මිනිසා ද වටහාගෙන සිටි බව බෞද්ධ ත්‍රිපිටකයෙහි එන අග්ගඤ්ඤ, රට්ඨපාල, රජ්ජ වැනි සූත්‍රවලින් හෙළිවෙයි. රජ්ජ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන අන්දමට ස්වර්ණමය පර්වතයක් පවත්නා ප්‍රමාණය මෙන් දෙගුණයක් වුවත් මිනිසාට සෑහීමකට පත්විය හැකි තරමට ප්‍රමාණවත් නොවේ. රට්ඨපාල සූත්‍රයේ විස්තර වන පරිදි “සෑම මනුෂ්‍යයකු ම මිය යන්නේ අඩු බවක්, මදි බවක් හෝ අසම්පූර්ණ බවක් හඟිමිනි”

මනුෂ්‍යයා තුළ හටගන්නා අතෘප්තිකර භාවයක්, ඊට හේතුවක්, එය නැතිකර ගත හැකි මාර්ගයන් නිවැරදිව අවබෝධකරගෙන පැහැදිලිව ලෝකයාට ඉදිරිපත් කළ මහා ප්‍රාඥයා බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික චින්තාවට සහ විශ්වයේත් සත්වයාගේත් පැවැත්මට හේතුවන පටිච්ච සමුප්පාද ධර්මයට අභියෝග කළ හැකි හෝ සමකළ හැකි හෝ දර්ශන වාදයක්, න්‍යායයක් ලොව මෙතෙක් පහළ වී නැත. බුදු දහමට සාපේක්ෂව සලකා බලන විට, වර්තමානයෙහි සන්තුෂ්ටිය පතා උගත් නූගත් සෑම දෙනකු ම කරන්නේ යථාර්ථය දැකීමක් නොව අඳුරේ අත පත ගෑමකි.

බුද්ධ දේශනාවට අනුව, ජීවිතයට තෘප්තිය ළඟා කර ගත හැක්කේ කෙසේ ද?

මේ පිළිබඳ කරුණු අධ්‍යයනයේ දී අප විසින් තරයේ සිහි තබා ගත යුතු කරුණක් වෙයි. එනම්, බුදු දහම සංසාර විමුක්තියට මාර්ගය පෙන්වා දෙන ප්‍රායෝගික දර්ශන වාදයක් බවයි. ඒ නිසාම ගෘහස්ථ ජීවිතයේ නිස්සාරත්වය, ජීවිතය දුක් හිත බව දුකින් මිදීම සඳහා වහ වහා අප්‍රමාදී ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව හා සැබෑ සුවය ලෙස නිරාමිස සුවය ලෙස ඉගැන්වෙන නිර්වාණාවබෝධය උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතු බව අවධාරණය කිරීමට බෞද්ධ දර්ශනයේ ප්‍රමුඛත්වයක් දී තිබේ. ලෞකික ජීවිතයේ සුඛිත මුදිත භාවයට වඩා ලෝකෝත්තර විමුක්ති සංඛ්‍යාත සුවය ඉස්මතු කර පෙන්වා තිබේ. ඉන් අදහස් වන්නේ, ලෞකික ජීවිතයේ සාර්ථකත්වය කෙරෙහි බුදු දහම අවධානය යොමු නොකළ බව හෝ ගෘහස්ථ ව ජීවත් වන්නවුන් පංචකාම සම්පත්තිය අනුභව කරමින් ධනයෙන් ආඪ්‍ය ව ඉසුරුමත් ජීවිත ගත කිරීම ප්‍රතික්ෂේප කළ බව හෝ නොවේ.

සසර දුකින් මිදීමේ මාර්ගය මෙන් ම ලෞකික ජීවිතය සාර්ථක කර ගනිමින් තෘප්තිමත් ජීවිත ගත කළ හැකි මාර්ගය ද ඉතාම පැහැදිලිව බුදු දහමෙහි අන්තර්ගත වෙයි. ලෝකෝත්තර සුවය මෙන් ම ලෞකික සුවය ද බුදු දහම විසින් පිළිගෙන, අනුමත කර තිබේ. ඒ බව තහවුරු කිරීමට නිදසුන් ලෙස ත්‍රිපිටකයෙහි එන සූත්‍ර දේශනා සිය ගණනක් වුවත් ඉදිරිපත් කරන්නට පිළිවන. විශේෂයෙන් ම බෞද්ධ මහජනතාව අතර බෙහෙවින් ප්‍රචලිත ව පවත්නා ව්‍යග්ගපජ්ජ, පරාභව, මංගල, වසල, සිඟාලෝවාද, කරණීය මෙත්ත වැනි සූත්‍ර කිහිපය පමණක් වුව ද ඒ සඳහා ප්‍රමාණවත් බව කිව යුතුය.

“සන්තුස්සකෝච සුභරෝච

අප්ප කිච්චෝච සල්ලහුක වුත්ති”

මේ කුඩා ධර්ම පාඨය, බෞද්ධ මහා ජනතාව නිතර අසා පළපුරුදු කරණීය මෙත්ත සූත්‍රයෙහි අන්තර්ගත වූවකි. මේ පාඨය කොතෙක් අසා ඇතත් බොහෝ දෙනා එහි අර්ථය නොදන්නවා විය හැකිය. අර්ථය දැනගත්තත් එය ජීවිතයට සම්බන්ධ කරගෙන නැති බව නම් හොඳින් ම පැහැදිලිය. අප එසේ කියන්නේ මෙම පාඨයෙහි අර්ථය අවබෝධ කර ගෙන එය ජීවිතයට සම්බන්ධ කර ගත්තේ නම් කිසි කලෙකත් අතෘප්තිමත් ජීවිතයක් ගත කරන්නට බුදු දහම පිළිගන්නා, පිළිපදින, බෞද්ධයකුට සිදු නොවන බැවිනි.

අපට ඉතා ම පැහැදිලිව පෙනෙන පරිදි වර්තමාන සමාජයෙහි ජීවත්වන සැම අයකුම පාහේ ගෙවන්නේ අතෘප්කර ජීවිතයි. රට්ඨපාල සූත්‍රයෙහි දැක්වෙන්නාක් මෙන් බොහෝ දෙනා ජීවත් වන්නේ පමණක් නොව මිය පරලොව යන්නේ ද අඩු බවක් මදිබවක් අසම්පූර්ණ බවක් හඟිමිනි. ඉහත සඳහන් කළ ධර්ම පාඨයෙහි තෘප්තිමත් ජීවිත ගත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශනය මෙන් ම ජීවිතය අතෘප්තිකර වීමට හේතුව ද ගැබ් ව තිබේ.

ජීවිතයට බද්ධ කරගත යුතු කරුණු 4 ක් මේ ධර්ම පාඨයෙහි දැක්වේ.

I සන්තුස්සකෝ - ලද දෙයින් සතුටුවීම.

II සුභරෝ – පහසුවෙන් පෝෂණය කළ හැකි වීම

III අප්පකිච්චෝ – අල්ප වූ කාර්යයන් ඇති බව (වැඩි වැඩ බදා නොගැනීම)

IV සල්ලහුක වුත්ති - සැහැල්ලු ඇවතුම් පැවතුම් ඇති බව.

ලද දෙයින් සතුටු වීම, බුදු දහමෙහි නිතර අගය කෙරෙන චර්යාමය ලක්‍ෂණයකි. ඊට හුරු වූ තැනැත්තා තුළ අධික තෘෂ්ණාවක් පහළ නොවේ. ලද දෙයින් සතුටුවිය නොහැක්කේ තණ්හාධික වූ තැනැත්තාටයි. තණ්හාව යනු සසර දුක් දැඩි කිරීමට පමණක් නොව මානසික අසහනය වර්ධනය වීමට ද හේතුවන ක්ලේශ ධර්මයකි. කෙලෙස් නමින් හඳුන්වන්නේ සිත කිලිටු කරන චිත්ති සංයමය හා චිත්ත විවේකය නැති කරන සිතිවිලිය.

වර්තමාන සමාජයෙහි ලද දෙයින් සතුටු වන පුද්ගලයන් ඇත්තේ ම නැතැයි කිව යුතු තරමට ම දුර්ලභය. ඉතාම සුළු දෙයක් ලබන්නා පමණක් නොව දරාගත නොහැකි තරම් මහා පරිමාණයෙන් ලබන්නා ද එකසේ සෑහීමකට පත් නොවන බව අපට පෙනේ. ඊට හේතුව තෘෂ්ණාවයි. තාෂ්ණාව යනු දුකට මූලය යි.

සමාජයේ බොහෝ ගැටුම් හටගන්නේ සොරකම්, අපරාධ, දූෂණ වැඩි වන්නේ ලද දෙයින් සතුටු වීමට ඇති නොහැකියාව නිසා ය. කාගේත් ආශාව, අපේක්‍ෂාව, වෑයම තව... තව... තව... යනුවෙන් වැඩි වැඩියෙන් ලබා ගැනීමටයි. ගොඩගසා ගැනීමටයි. ලබා ගැනීමට නොහැකි වන විට ඉච්ඡා භංගත්වයට පත්ව සමාජයට වෛර කරන්නට පටන් ගනී. ලබා ගැනීමට හැකි වූ විට අධික තෘෂ්ණාවෙන් එය රැක ගැනීමට, තමාට ම පමණක් අයත් කර ගැනීමට වැර වෑයම් කරමින් මානසික අසහනයට පත්වෙයි. ඒ අනුව ලැබීම මෙන්ම නොලැබීම ද දුකට හේතුවන බව පැහැදිලි වන්නේය. ඒ දුකට මුල් වූයේ ලද දෙයින් සතුටුවීමට ඇති නොහැකියාවයි.

වර්තමාන සමාජ ක්‍රමය තුළ ජීවත්වන නැති – බැරි අය මෙන් ම ඇති හැකි අය ද අතෘප්තිකර ජීවිත ගත කරන්නේ මේ පසුබිම තුළ යි. එය පුද්ගල පරිහානියට පමණක් නොව සමාජ පරිහානියටද හේතු වී ඇති අන්දම විමසුම් සහිත ව සමාජය දෙස බැලීමෙන් මනා ව පැහැදිලි වෙයි. ඒ සඳහා අමුතුවෙන් නිදසුන් ගෙන හැර දැක්වීමට ද අවශ්‍ය නොවේ.

‘සුභරෝ” යන්නෙන් අදහස් කෙරෙන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි පුද්ගලයකු වීමේ අවශ්‍යතාව සහ වැදගත් කමයි. ආහාර, ඇඳුම් -පැළඳුම් නිවාස ආදී පුද්ගල අවශ්‍යතාවන් සරල වූ තරමට ජීවිතය සැහැල්ලු වෙයි. අවශ්‍යතා සංකීර්ණ වූවිට අසීමිත වූ විට - ජීවිතය අතෘප්තිකර වෙයි.

වර්තමාන සමාජයේ අතෘප්තිකර භාවයට ඉවහල් වී ඇති එක් හේතුවක් වන්නේ ද එයයි. ජීවත්වීම බරක් වන්නේ පහසුවෙන් සෑහීමට පත්වීමට නොහැකි වීමෙනි. උදාහරණයක් වශයෙන් ආහාර යනු පුද්ගල අවශ්‍යතාවකි. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යන්නෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ද ඒ බවය. එහෙත් මිනිසා ආහාරයෙන් අතෘප්තිකරය. ආහාර ගත යුත්තේ යාව දේව ඉමස්ස කායස්ස ඨිතියා, යාපනාය” ආදී වශයෙන් බුදු රදුන් පැහැදිලි කළ පරිදි ශරීරයේ පැවැත්මට, යැපීමට මිස බඩජාරීන් මෙන් කෑදර කමට නොවේ.” නේව දවාය, නාමදාය, නමණ්ඩනාය, න විභූසනාය” ආදී වශයෙන් පෙන්වා දී ඇතතේ එයයි.

ශරීරයේ පැවැත්ම සඳහා සමබර සරල ආහාරයක් ප්‍රමාණවත් ය. එය නීරෝගී බවටද හේතු වේ. ජනමාධ්‍යවලින් පැවසෙන අන්දමට සමහර ඉහළම පෙළේ අවන්හල්වල එක කෑම වේලක මිළ රුපියල් 21,000 කි. දිවි පවත්වා ගැනීම සඳහා කටුක ආහාර වේලක් භුක්ති විඳින්නා මෙන් ම අර රුපියල් 21000 ක කෑම වේලක් භුක්ති විඳින්නා ද එකසේ අතෘප්තිකර ය.

ජීවත්වීම සඳහා අවශ්‍ය සෑම සියලු දෙයක් ම “මදි” බව සිතන්නා පහසුවෙන් පෝෂණය කළ නොහැක්කේ ය.

“අප්ප කිච්චෝ” යන්නෙන් පැවසෙන්නේ සීමිත කටයුතු ඇති ව ජීවත්වීමේ අවශ්‍යකත්ව ය යි. වර්තමාන මනුෂ්‍යයා වස්තු තණ්හාවෙන් තමන්ට හැකි දේත් නොහැකි දේත් කරන්නට වැර වෑයම් කරයි. ජනප්‍රවාදයට අනුව එය “දොඩම් ගොඩ බදා ගැනීමක්” වැන්න අවසානයේදී ඉතිරිවන්නේ පසුතැවිල්ල හා මානසික අසහනය යි . තමන් “කාර්ය බහුල”, අවිවේකී” බව සමහරු පවසති. එය අතෘප්තියට හේතුවන බව ඔවුනට වැටහෙන්නේ බොහෝ කලක්ඉක්මයාමෙන් පසුව, මානසික අසහනයට පත්වීමෙනි.

“සල්ලහුකවුත්ති” යන්නෙන් පැවැසෙන්නේ සැහැල්ලු පැවතුම් ඇති ව ජීවත්වීමයි. බහු භාණ්ඩික වීමෙන් සැහැල්ලු පැවැත්ම අහිමි වී යි. තම අවශ්‍යතාවනට ප්‍රමාණවත් අන්දමින් භෞතික වස්තු රැස්කිරීම කායික සුවයටත් මානසික සුවයටත් ඉවහල් වේ. වර්තමාන ලෝකයේ වෙළඳ පොළ ආර්ථික ක්‍රමය නිසා නිෂ්පාදකයෝ කුමන අන්දමින් හෝ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට වෙර දරති. සමහරු ණයට දෙති. සමහරු පසුව ගෙවීමේ ක්‍රමයට දෙති. සමහරු කල්බදු ක්‍රමයට දෙති. සමහරු නොමිලේත් දෙති.

නිෂ්පාදකයාගේ පැත්තෙන් එහි වරදක් නැත. එහෙත් අප නිවැරැදිව තේරුම් ගත යුත්තේ අපට අවශ්‍ය මොනවාද යන කාරණයයි. අවාසනාවකට මෙන් තෘෂ්ණාවෙන් භරිත වූ මිනිසාට ඒ අවබෝධය නොමැති බව පෙනේ. සාමාන්‍ය පවුලක් ජීවත්වන නිවෙස් පවා “භාණ්ඩ ප්‍රදර්ශනාගාර” බවට පත්ව ඇත්තේ ඒ අනුවයි. බහුතරයක් නිවෙස්වල දක්නට ලැබෙන උපභෝග - පරිභෝග වස්තු නිවැසියන්ගේ අවශ්‍යතා අනුව ගොඩගසාගත් ඒවා නොවේ. එක්කෝ තම ධනවත් කමපෙන්වීමට ය. එක්කෝ තරගකාරී ආකල්ප නිසා ය.

බහු භාණ්ඩික වීම චිත්ත විවේකයට මෙන් ම මානසික සහනයටත් බාධකයකි. අසීමිත අන්දමින් භෞතික සම්පත් ගොඩගසා ගන්නා තැනැත්තාට ඒවා ආරක්ෂා කර ගැනීමට ද අසීමිත වෙහෙසක් දැරිය යුතු වෙයි. සොර සතුරන්ගෙන්, ස්වභාවික ආපදාවන්ගෙන් ඒවා රැක ගැනීමට යත්න දැරීමේ දී තෘෂ්ණාව තව තවත් වර්ධනය වෙයි. දොර යතුරු ප්‍රාකාර, ආරක්ෂක උපකරණ ආරක්ෂක සේවා ආදී විවිධ උපක්‍රම යෙදීමෙන් වුවද ඔහුට සුවසේ නින්දක් පවා ලැබිය හැකි නොවේ. මේ නිසා ම ඔවුහු නිද්‍රා කාරක ඖෂධවලට පවා ඇබ්බැහි වෙති. එහෙත් අවසානය අතෘප්තියයි.

විමර්ශනාත්මකව සලකා බලන විට වර්තමාන සමාජයේ දිවි ගෙවන මිනිසා අතෘප්තියට හා අසහනයට පත්ව සිටින්නේ ඉහත විස්තර කළ කරුණු වලින් වියුක්ත වීම නිසා බව පැහැදිලි වේ. මේ බව වටහා ගැනීමට ඉතා සරල උදාහරණයක් දැක්වීම මැනැවැයි සිතමි.

අප ආදිවාසීන් නමින් හඳුන්වන්නේ, අපම කල්පනා කරන අන්දමට නොදියුණු මිනිසුන්ය “දියුණු යැයි සැලකෙන සමාජයෙහි දක්නට ලැබෙන උප භෝග – පරිභෝග සම්පත් කිසිවක් ඔවුනට නැත. එහෙත් ඔවුහු ලද දෙයින් සතුටුවෙති. සරල ලෙස පෝෂණය වෙති. සීමාසහිත කාය¸ සහ කර්තව්‍යයන් ඇත්තෝ වෙති. බහු භාණ්ඩික ද නොවෙති. එහෙත් ඔවුහු තෘප්තිමත් ලෙස දිවි ගෙවති. සොරකම,, වංචාව, ඊර්ෂ්‍යාව, දූෂණය, ආදී වාසී සමාජයේ ඇත්තේ ම නැති තරම් ය. ඔවුන්ගෙ ජීවිත තෘප්තිමත් ය. සමහර විට ඔවුනට අතෘප්තියක් ඇතිවන්නේ නම්, ඒ දියුණු යැයි කියා ගන්නා අප විසින් ඔවුනට කරන ලද අසාධාරණයක් නිසා ඇතිවූවක් මිස, ඔවුන්ගෙ චර්යා රටාව නිසා ඇති වූවක් නොවේ.

අතෘප්තියෙන්, අසහනයෙන් මිදී තෘප්තිමත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට ඉවහල් වන එකම ධර්ම මාර්ගය සම්මා ආජීවය යි. එය ලෞකික ජීවිතයේ දියුණුවට මෙන් ම ලෝකෝත්තර සුවය ළඟා කර ගැනීමට ද එකසේ උපකාරී වන්නේය.

කතරගම, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක,
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, උපාධ්‍යාය ආචාර්ය,
අලුත්වැව සෝරත නාහිමි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා