රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත - 149

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත - 149

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න.

නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

නිරාමිස පී‍්‍රතියෙන් ඉපිළෙමි

භාරද්වාජ බමුණා සිය පුතුගේ හිස පිරිමැද්දේය.

“මගේ පුතා මා හොඳින් දන්නා හඳුනන ආචාර්යවරයෙක් කොසඹෑ නුවර සිටිනවා. පුතා එතුමා ළඟට යන්න. පියකු වගේ පුතාට ඔහු ආදරයෙන් සලකාවි. එතුමා මහා උගතෙක්. පුතාත් ඒ වගේ උගතෙක් වෙලා ආපසු එන්න. මේ රජගහනුවර හොඳම උගත්ම පඬිවරයා බවට පුතා පත් වන්නට ඕනෑ....”

පියා කණ්හාදින්න නමැති සිය පුතු කොසඹෑ නුවරට යවමින් කීය.

පියා ගේ සහ මවගේ පා වැඳ කණ්හාදින්න කුමරු මගට බැස්සේය. ගැල් සාත්තුවක් පසු පස ඔහු ගමන් කරන්නට විය.

අතරමගදී තුරු සෙවණක වැඩහුන් භික්ෂූන් වහන්සේ නමක් දුටුවේය. තරුණ පිරිසක් උන් වහන්සේ ළඟ බිම හිඳගෙන සිටියහ. භික්ෂුව බණ කියයි. තරුණයෝ බණ අසති. කණ්හාදින්න ද ඒ තරුණයන්ට එක් විය.

මේ ගලායන්නේ කිසි කළෙක නොඇසූ නිදහස් අදහස්. අලුත් අපූරු අදහස්. ජීවිතය සහ ලෝකය ගැන මෙබඳු අදහස් මින් පෙර මා අසා නැත.

ජීවිතයේ අර්ථය කුමක්දැයි මට වැටහෙන්නේ දැන්.

මා කොසඹෑ නුවර ගොස් කුමක් ඉගෙන ගන්නද ?

මහා බ්‍රහ්මයාට අසාධාරණ මැවිල්ලට පක්ෂ කාරණාවලින් ස්තෝත්‍රවලින් මගේ ඔළුව පුරවාවි. මා එහි යා යුතු නැහැ. මා ආවේ නියම තැනට. ඔහුට සිතිණ.

ඒ ධර්ම දේශනය පැවැත්වූයේ සැරියුත් මහ රහතන් වහන්සේය. දේශනය අවසන කණ්හාදින්න මෙසේ ඇසීය.

“ස්වාමීනී ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද ?”

උන්වහන්සේ පිළිතුරු දුන්හ.

“මගේ ආචාර්යයන් වහන්සේ බුදු රජාණන් වහන්සේ” ඒ නම ඇසීමත් සමගම කණ්හාදින්න සාධු සාධුයි කීවේය. එදාම පැවිදි බිමට පත්වූයේය. විදසුන් වඩා රහත් බව ලැබුවේය.

කණ්හාදින්නගේ පියා භාරද්වාජ බමුණා වේළුවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසුවේය. ශ්‍රද්ධාවෙන් ඉපිළි ගිය ඔහු ද පැවිදි විය. විදසුන් වඩා රහත් බවට පත් වූයේය.

දිනක් කණ්හාදින්න රහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේ දැකීමට වේළුවනාරාමයට වැඩියහ. බුදු රජාණන් වහන්සේ අසල සිය පියා සිටිනු දැක උන් වහන්සේ සතුටට පත් වුහ. පියා ද රහත් බව ලැබූ බව උන්වහන්සේට අසන්නට ලැබිණ.

පියා ලවා සිංහනාද පැවැත්වීමට සිතූ කණ්හාදින්න රහතන් වහන්සේ මෙසේ ඇසූහ.

“ඔබ බුදු සසුනේ පැවිදි වීමෙන් කළේ යහපත් දෙයක්. පැවිද්දේ කටයුතු අවසාන කළාද ?” භාරද්වාජ රහතන් වහන්සේ රහත් බව අඟවමින් මෙසේ පිළිතුරු දුන්හ.

“ප්‍රඥාව හා වීර්ය ගුණයෙන්
මහා සේනා සහිත මරු බිඳ
අබිරු නද දෙති රහත් උතුමෝ
ගිරිගුහාවල සිංහයන් සේ

මුනිඳු ඇසුරේ රැඳී සිටි මම
දහම හා සඟරුවන පිදුවෙමි
ආස්‍රව නැසූ පුතණුවන් දැක
නිරාමිස ප්‍රීතියෙන් ඉපිළෙමි”

ඉන්පසු දිනෙක කණ්හාදින්න රහතන් වහන්සේ ද සිය උදානය මෙසේ පළ කළහ.

“සැරියුත් හිමිවැනි උතුමන්
ඇසුරට පින ලැබුණා
දහමට කන් දෙන්නට මට
නිරතුරු ඉඩ ලැබුණා
ඒ දහමෙන් දැමුණු සිතට
නිවන් සුවය ලැබුණා

භව රාගය නැසූ සිතෙහි
ඒ පිණිස යළි ඉඩ නෑ
මග පල ලද දිනයේ සිට
කෙළෙසුන් සිත තුළ නෑ
හෙටත් එහෙමයි !
දැනුත් එහෙමයි !

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා