අප මුහුණපාන ප්‍රශ්න ජය ගැනීමට නම්...

අප මුහුණපාන ප්‍රශ්න ජය ගැනීමට නම්...

මෙහි මුල් කොටස් පසුගිය කලාපවල පළ විය

සමහර විටක මවුපියන්ට දරුවන් නිසා විශාල ගැටළුවලට මුහුණ පාන්න සිදු වෙනවා. සමහර දරුවන් මවුපියන්ගේ ආදර කරුණාව ඔවුන්ගේ දුර්වල කමක් ලෙස සලකා ඉන් අයුතු ප්‍රයෝජන ලබා ගන්න උත්සාහ ගන්නවා. දරුවෝ සමහර විට කෝපය පෙන්වලා, තරහ වෙලා, දඩබ්බර විදිහට හැසිරිලා දෙමව්පියන්ව මෙල්ල කරගෙන තමන්ට ඕනෑ අන්දමට කටයුතු කරන්නට සුදානම් වෙනවා. බොහෝ විට දරුවන් මේ විදිහට හැසිරෙන්නේ ඔවුන්ගේ නොදැනීම, නොමේරු බුද්ධිය නිසයි. ඔවුන් වයසින් මෝරන විට, අත්දැකීම්වලින් පොහොසත් වන විට ඔවුන්ට ම පැහැදිලි වෙනවා ළමා අවධියේ දී ඔවුන්ගේ හැසිරීම් මහ විහිළුවක් බව. නමුත්, ඒ වනවිට කල් ගිහින් වැඩියි.

ඒ නිසා දරුවන්ගේ දඩබ්බරකම්වලට ඉඩ දී දෙමාපියන් කිසිවිටෙකත් යහපත් ගුණාංග පාවා දිය යුතු නෑ. දරුවන්ට කරුණාවෙන් හොඳ නරක, කියා දීලා, ආදරයෙන් ඔවුන් මෙල්ල කරගන්න මවුපියන් පුරුදු වීම අවශ්‍යයි. සමහර විටෙක දරුවන්ගේ ම යහපත සඳහා තදින් සිටීමට දෙමව්පියන්ට සිදු වෙනවා. එබඳු අවස්ථාවල දී හොඳට කල්පනා කර කරුණු අවබෝධ කොටගෙන සුදුසු පියවර ගත යුතු වෙනවා. දරුවන්ගේ යහපත උදෙසා ගත යුතු පියවර නොගෙන සිටිය යුතු නෑ. මවුපියන් සියලු දේ කරන්නේ දරුවන් වෙනුවෙන්. ඒ නිසා, දරුවන්ගේ බොළඳකම්, දඩබ්බරකම් නැති කරන සුදුසු පියවර ගැනීමට මවුපියන් පසුබට විය යුතු නෑ.

මවුපියන්ගේ අගේ දරුවන්ට නියම ලෙස වැටහෙන්නේ ඔවුනුත් දෙමව්පියන් වූ දවසටයි. මවුපියන්ට දරුවන් විසින් ගෙවිය යුතු ණය ගෙවා ඉවර කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. මවුපියන්ගේ බරට රන් මිණි මුතු මැණික් දුන්නත්, ඔවුන්ගේ උසට එම වස්තු ගොඩ ගැසුවත්, ලෝකයේ ඇති සියලු අගනා වස්තූන් ඔවුන් දෙපා මුල පිදුවත් ඒ ණය බරින් නිදහස් වීමට බෑ. දරුවන් විසින් මවුපියන්ව පිදිය යුතු උතුම්ම ක්‍රමය නම් දරුවන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටු කිරීමයි. මවුපියන්ට ආදරය, ස්නේහය දක්වමින්, ඔවුන්ගේ දුක - සැප සොයා බලමින් ඔවුන්ගේ පාළුව - කාන්සිය තුනී කිරීමට කටයුතු කරමින් දරුවන් හැම යුතුකම් සම්භාරය ම ඉටු කළ යුතුයි.

මහළු වියේ පසුවන මවුපියන්ට ආදරය, කරුණාව මෘදු - මොළොක් බව ඉතා අවශ්‍යයි. දරුවන් ඉවසිලිවන්තව මවුපියන් උදෙසා කළ යුතු වැඩ කටයුතු කළ යුතුයි. දූ – දරු දෙමව්පියන් අතර මත ගැටුම් ඇති නොවන්නට, මත ගැටුම් ඇති වුණොත් මවුපියන්ගේ සිත් නොපැරෙන අන්දමට කටයුතු කරන්නට දරුවන් වගබලා ගත යුතුයි. මහළු නිසා තමන් අවලංගු තත්ත්වයකට පත් ව ඇතැයි කිසිසේත් නොඇඟවෙන ආකාරයකට දරුවන් හැසිරීම ඉතා වැදගත්. මව් – පිය දෙදෙන බ්‍රහ්මයන් බඳුයයි බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ අය ඒ තරම් උතුම් අයයි. ඒ බව අපි මතක තබා ගත යුතුයි.

බොහෝ විට දෙමව්පියන්ට සලකන්න ලැබෙන්නෙ ටික කලයි. වයස්ගත වී සිටින ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කෙටි කලකින් මිය යනවා. ඒ නිසා, දෙමව්පියන් ජීවත් ව සිටින විට ඔවුන්ට දැක්විය හැකි උපරි ම සැලකිල්ල, ආදරය, සෙනෙහස ගෞරවය දැක්වීම ඉතා වැදගත්. යම් හෙයකින් දෙමව්පියන් කුසලට එතරම් නැඹුරු නොවුණු අය නම්, එසේත් නැත්නම් කුසලට නැඹුරු වීමට තරම් අවකාශයක් ඔවුන්ට තිබී නැත්නම් දරුවන්ට හැකි කල දෙමව්පියන්ව කුසලට යොමු කිරීම ම විශාල පුණ්‍යකර්මයක්. දරුවන් ඔවුන්ට ගෙවිය යුතු ණය පෙරළා ගෙවීමට මෙය හොඳ ක්‍රමයක්.

පවුල කුඩා ඒකකයක් වුණත් එය සංකීර්ණයි. පවුලේ විවිධ සාමජිකයින්ගේ සිතුම් – පැතුම්, ආකල්ප, අදහස් උදහස්, දැනුම් මට්ටම්, අපේක්ෂාවන් එකිනෙකාට වෙනස්. එනිසා මේ සංකීර්ණ එකතුව සමගි බැම්මෙන් බැඳ තැබීමට, ඉවසීම, අන්‍යෝන්‍ය අවබෝධය, ආදරය, ආත්ම පරිත්‍යාගය අවශ්‍ය වෙනවා. සොයුරි - සොයුරියන් අතර හොඳ හිත වර්ධනය වන්නේ එවිටයි. ඔවුන් අතර කිසිම ආකාරයක තරගකාරී ස්වභාවයක් පවතින්නට ඉඩ දිය යුතු නෑ. තමන් සියලු දෙන එක කුසින් උපන් අය බව නිතර ම සිතෙහි තබා ගත යුතු වෙනවා.

නමුත්, සොයුරු සොයුරියන් අතර පැන නගින තණ්හාව, ඊර්ෂ්‍යාව, සැකය ආදිය නිසා සමහර පවුල්වල දූ – දරුවෝ ජන්මාන්තර වෛරක්කාරයො වාගේ හැසිරෙන ආකාරයත්, එනිසා ම ඔවුන් විනාශ වෙන අන්දමත් අපට අසන්නට, දකින්නට ලැබෙනවා. එක කුසේ ඉපිද එක ම මවගේ කිරි බී වැඩුණු දරුවන් නයි මුගටියන් මෙන් ජීවත් වීම කෙතරම් ඛේදජනක ද? කිසිමදාක, කිසිම හේතුවක් නිසා එවන් තත්ත්වයක් ඇති නොවන්නට වග බලා ගත යුතුමයි.

පවුල්වල මෙන් සමාජයේ සතුට සාමය පවතින්න ඕනේ. මෙවන් යහපත් වාතාවරණයක් ඇති කිරීමට නම් පුද්ගලයා හා සමාජය මනාව සංකලනය වීම අවශ්‍යයි. පොදු සමාජ යහපත සඳහා පෞද්ගලික ලාභ – ප්‍රයෝජන, පෞද්ගලික ස්වාධීනත්වය එක්තරා ප්‍රමාණයකට කැප කිරීමට සුදානමින් සිටිය යුතුයි. පුද්ගල නිදහස භුක්ති වින්ද යුත්තේ සමාජයට බාධාවක් නොවන ලෙසයි. පුද්ගලයින් ඒකරාශි වුණු තැන සමාජයක් ගොඩනැගෙනවා. සෑම පුද්ගලයෙක් ම තමන් ජීවන් වන සමාජයේ සාමාජිකයෙක්. එක් එක් සාමාජිකයාගෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් රාශියක් තිබෙනවා. ඒ සියල්ල නිසි ලෙස ඉටු කිරීමේ වගකීමට සෑම සාමාජිකයෙක් ම උරදිය යුතුයි. මේ යුතුකම් ඉටු නොවුනොත් සමාජය දුර්වල වී බිඳ වැටෙනවා.

දෙමව්පිය දූ – දරු සම්බන්ධය වාගේ ම ගුරු - ගෝල සම්බන්ධයත් ඉතාම වැදගත්. ගුරු - ගෝල සම්බන්ධයත් බොහෝදුරට දෙමව්පිය – දූ – දරු සම්බන්ධයට සමානයි. ගුරුවරයන් හා ගෝලයන් අන්‍යෝන්‍ය වශයෙන් ඉටු කළ යුතු යුතුකම් රැසක් තිබෙනවා. ගුරුමුෂ්ටිය තබා නොගෙන ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම, ගුණ යහපත්කම් කියාදීම, ධර්මානුකූල ජීවිතයකට යොමු කිරීම, යහපත් දිවිපෙවෙතක් ප්‍රගුණ කිරීමට මග පාදා දීම, ඔවුන් නොදත් දේ කියා දීමත්, දත් දේ තව තවත් පැහැදිලිකොට අවබෝධ කරවීම, උසස් අයගේ ඇසුර ලැබීමට අවකාශය සැලසීම ආදිය ගුරුවරුන් ගෝලයින් සඳහා ඉටුකළ යුතු විශාල යුතුකම් ප්‍රමාණයෙන් කිහිපයක් පමණයි.

ගෝලයින් ද ගුරු භක්තියෙන් යුතුව හැසිරිය යුතුයි. ඉතා උනන්දුවෙන් ශිල්ප - ශාස්ත්‍ර හැදෑරිය යුතුයි. අවශ්‍යයෙන් ම ගෝලයා සුවච – කීකරු අයකු විය යුතුයි. නිරන්තරයෙන් ඉතා ආචාරශීලිව ගුරුවරයාට ගෞරව - සත්කාර කළ යුතුයි. ගුරුසිත නොරිදවා ඉතා හොඳින් අකුරු ඉගෙනීම යහපත් ගෝලයින්ගේ යුතුකමයි.

ගුරු - දෙගුරුන් අපට ශික්ෂණය හා මග පෙන්වීම ලබා දෙන අතර නැදෑ – හිතමිතුරු - අසල්වාසීන් අපේ එදිනෙදා ජීවිතයේ හැසිරීම් රටා හැඩ ගැස්සවීමට බොහෝ සේ බලපානවා. ඔවුන්ගෙන් ලැබෙන බලපෑම යහපත් නම් අපේ ජීවිතත් යහපත් අතට යොමු වෙනවා. යම් හෙයකින් ඒ පිරිසෙන් ලැබෙන බලපෑම අහිතකර වුණොත්, අපේ ජීවිත කනස්සල්ලෙන් දුක් - දොම්නසින් පිරී යන්නත් බැරි නෑ.

එනිසා, අපේ සමීප වටපිටාව වශයෙන් පවතින නැදෑ – හිත මිතුරු - අසල්වැසි පිරිස් කෙරෙන් එන බලපෑම ගැන විමසිලිමත් වීම වැදගත්. ඒ අයගේ ඇසුර තෝරා බේරාගෙන, කල්පනාකිරීව කළ යුතුයි. පාප මිත්‍රයින්ගෙන් නම් වෙන්විය යුතුමයි. කළ්‍යාණ මිත්‍ර ඇසුර සොයා යා යුතුමයි. ජීවත් වන වට පිටාව අමතක කළ යුතු නෑ.

ප්‍රතිරූපදේශයක වාසය කරන්න ලැබීම වාසනාවක් වශයෙන් සැලකෙන්නෙ එමගින් අපේ යහපතට ලැබෙන අනුබලය ඉතා වැදගත් නිසයි.

අප වටා ජීවත්වන මේ නැදෑ හිත මිතුරු අසල්වැසි පිරිස් සමග සහයෝගයෙන්, සුහදතාවෙන්, අන්‍යෝන්‍ය අවබෝධයෙන් ජීවත් වීම ඉතා අවශ්‍යයි. අසල්වැසියකුට කරදයක් පැමිණි විට ඒ ගැන නොදන්වා වාගේ සිටිය යුතු නෑ. සමාජයක එලෙස ජීවත් වන්න පුළුවන්කමක් නෑ. එසේ සිටියොත් සිදුවන්නේ සමාජයෙන් කොන්වීමයි. තමන් ගැන පමණක් තැකීම අඩුකළ යුතු වන්නේ මේ හේතුවෙන්. දානය, ප්‍රියවචනය, සමානාත්මතාව, අර්ථචර්යාව යන සතර සංග්‍රහ වස්තූන් ප්‍රගුණ – පුහුණු කළහොත්, සමාජ සම්බන්ධතා දියුණු කරගත හැකි වෙනවා.

සමාජ ජීවිතයට සමාජයේ පවතින ආර්ථික රටාව බොහෝ සේ බලපානවා. මේ ආර්ථික රටාව පවත්වාගෙන යන පිරිස මූලික වශයෙන් දෙකොටසකට වෙන්කර දක්වන්න පුළුවනි. ඒ කොටස් නම්, සේව්‍ය - සේවක පිරිසයි. ආර්ථිකය ශක්තිමත් වන්නේ, භාණ්ඩ නිෂ්පාදනය දියුණු වන්නේ මේ දෙපිරිස අතර පවතින සම්බන්ධතාවේ සාර්ථකත්වය අනුවයි.

මේ නිසා සේව්‍ය - සේවක දෙපක්ෂය අතර අන්‍යෝන්‍ය සුහදතාව, අවබෝධය, විශ්වාසය දියුණු කිරීම ඉතා වැදගත් වෙනවා.

ඉතිරි කොටස ලබන සතියේ

කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ
“මිනිසා කොයිබටද” පොතෙන් උපුටා ගැනිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා