තැපැල් ඡන්දය සාමකාමීයි

තැපැල් ඡන්දය සාමකාමීයි

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ පළමු දිනය වූ ඊයේ (8) තැපැල් ඡන්ද දායකයන්ගෙන් සියයට හැටකට ආසන්න ප්‍රමාණයක් ඡන්ද පාවිච්චි කර ඇතැයි පැෆරල් සංවිධානය කියයි.සමස්තයක් වශයෙන් ගත් කළ තැපැල් ඡන්ද සළකුණු කිරීම සාමකාමී තත්ත්වයක පැවැති බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දිනමිණට පැවැසීය.

පළාත් පාලන ආයතන 235ක් සඳහා ලබන 17 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීම වෙනුවෙන් තැපැල් ඡන්ද සළකුණු කිරීම රජයේ දෙපර්තමේන්තු, පොලිසි, ලංගම ඩිපෝ ආදි ස්ථානවල දී සිදු කැරේ. තැපැල් ඡන්ද සළකුණ කරන අවස්ථාවේ සිදුවීම් ඇතිවිය හැකි බවට පූර්ව අත්දැකීම් අනුව හඳුනාගෙන තිබූ ස්ථානවලට විශේෂ නිලධරයෙක් යෙදවීම මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගේ හොඳ තීරණයක් බව පැවැසූ හෙට්ටිආරච්චි මහතා එම හේතුව ද තැපැල් ඡන්දය සාමකාමී වීමට බෙහෙවින් ඉවහල් වූ බව ද කීවේ ය.

එසේ වුවත් ඇතැම් තැනක ඉතා සුළු සිදුවීම් කිහිපයක් වූ බව සිය නිරීක්ෂකයන් දන්වා ඇතැයි ද හෙතෙම පැවැසීය. තැපැල් ඡන්ද ඊයේ සළකුණු කිරීමට නොහැකි වූ රජයේ සේවකයන් සියලු දෙනාට අද (09) ඒ සඳහා ඉඩ තිබෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයීය ප්‍රකාශකයෙක් දිනමිණට කීය. මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ඊයේ (08) ඉතා සාමකාමීව පැවැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා