මයිසූර් පුර සුරලොව මාලිගය

මයිසූර් පුර සුරලොව මාලිගය

චාමුන්ඩි කන්ද පිහිටා ඇත්තේ දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මයිසූර් දිස්ත්‍රික්කයේ ය. දේවකතා අනුව බොහෝ අතීතයේ දී මේ චාමුන්ඩි කන්ද ‘මහීෂන් අසුරයා’ ගේ නිජ භූ®මිය විය. මහීෂන් අසුරයා මෙම කන්ද මුදුනේ සිට ඒ අවට ඇති ප්‍රදේශයන් තම අණසකට යටත්කර ගත්තේ ය. (මහීෂන් අසුරයා මහීෂා සුරමත්තිනි නමින් ද හඳුන්වති) මෙසේ මහීෂන් අසුරයා සතුකරගත් ප්‍රදේශය ‘මහීෂන් පුර’ වී පසුකාලීනව එය ‘මයිසූර්’ යනුවෙන් අද දක්වා ම භාවිත වේ.

මහීෂන් අසුරයා ගේ තාඩන පීඩන මෙහි ජීවත් වූ වැසියන්ට මහත් කරදරකාරී විය. මෙය දැනගත් මහාදෙවි නොහොත් ශිව ඔහුගේ බිරිඳ පාර්වතී අමතා මේ මහීෂන් අසුරයා විනාශ කොට ජනතාවට සහනය ලබා දෙන ලෙස නියම කළේ ය. (ශිවගේ බිරිඳ පාර්වතී – උමා දේවිය නමින් ද හැඳින් වේ. ) පාර්වතීට කේන්ති ගිය විට ඇය දුර්ගා දේවිය (කාලි) ගේ රෞද්‍ර ස්වරූපයට පත් වේ. උමා මේ දුර්ගා නම් වූ රෞද්‍ර රූපය මවාගෙන චාමුන්ඩි කන්ද තරණය කොට මහිෂන් අසුරයා වෙත ගොස් ඔහු හා සටන් කොට අසුරයාව මරා දමා මයිසූර් ප්‍රදේශයේ වැසියන්ට ශාන්තිය ලබා දුන්නේ ය. මේ නිමිති කොට එහි වැසියෝ එදා සිට වාර්ශිකව නවරාත්‍රි පූජාව පවත්වා පාර්වතියට (දුර්ගා දේවියට) පුද සත්කාර පවත්වති.

ආලෝකමත්ව බැබළෙන මයිසූර් මාලිගය...

මේ චාමුන්ඩි කන්දේ දුර්ගා දේවී කෝවිලට (කාලි කෝවිල) මයිසූර් නගරයේ සිට දුර කිලෝමීටර් 13කි. කන්දේ උස අඩි 1,100 කි. මේ කෝවිල් භූමිය වෙත රථවාහන ගමන් කිරීම සඳහා අඩි 20ක් පමණ පළල් වංගු සහිත පාරක් කාපට් යොදා මනා ලෙස සකස් කොට ඇත. පයින් ගමන් ගන්නා බැතිමතුන් සඳහා පඩිපෙළක් සාදා ඇත.

වත්මන් කෝවිල 17 වැනි සියවසේ දී මයිසූර්හි සිටි මහාරාජා කෙනෙකු විසින් සාදවන ලද්දකි. පූජා භාණ්ඩ, රාඛිනූල්, විසිතුරු භාණ්ඩ, කාන්තා වළලු, ඇඳුම්, ආහාර, පිළිම, ආදිය විකිණීමටත් උණු උණු වඩේ කා තේ බීමටත් මේ භූ®මියේ විශාල වශයෙන් වෙළෙඳසල් පිහිටා ඇත. කඳු මුදුනේ ඇති ‘මහීෂන් අසූර්’ ගේ පිළිමය මෙහි යන එන කාගේත් අවධානයට ලක්වන්නකි.

මේ කෝවිල දැක බලා චාමුන්ඩි කන්දේ භාගයක් පමණ පහළට බැස එන ඔබට ‘නන්දි ගවයා’ වෙනුවෙන් සාදා ඇති දේවාලය ද නැරඹීමට හැකි ය. ‘නන්දි’ යනු ශිවගේ වාහනය වන ගවයාට දී ඇති නමයි. නන්දි ගවයා නදීශ්වරා, බසරීෂ්වරා, බසවා, බසවන්නා යන නම් රාශියකින් ද හඳුන්වති. මේ කෝවිල ගව රූපයකි. නිරාවරණව සාදා ඇති මේ ගව රූපයේ දිග අඩි 24 කි. උස අඩි 15කි. මේ නන්දි ගව රූපයට හින්දු භක්තිකයෝ පුද පූජා පවත්වති.

මයිසුර් මාලිගයට ඇතුළුවන එක් දොරටුවක්

මයිසූර් නගරය පිහිටා ඇති ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ අගනුවර බැංගලෝරයයි. බැංගලෝරයට ශ්‍රී ලංකාවේ සිට පැය 1 1/2ක ගුවන් කාලයකින් ළගා විය හැකි ය. බැංගලොරයේ සිට තවත් කි. මී. 140ක් පමණ ගෙවා මයිසූර් නගරයට පැමිණෙන ඔබට එහි නවාතැන් ගැනීමට තරු පන්තියේ හෝටල් ඕනෑ තරම් ඇත. ශ්‍රී ලංකාවේ ඇති සංචාරක සමාගමක් ම¼ඟින් හෝටල් කාමර කලින් වෙන්කරවා ගෙන යන්නේ නම් වඩාත් පහසුය.

චාමුන්ඩි කන්දේ දුර්ගා කෝවිල නරඹා මයිසූර් නගරයට පැමිණි ඔබ යා යුතු වැදගත් ම ස්ථානයක් ඇත. ඒ ඉන්දියාවේ අභිමානයක් වූ සංස්කෘතික මෙන් ම පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ‘මයිසූර් මාලිගයයි. අතීතයේ දී මුළු දකුණු ඉන්දියාව ම පාලනය කළ මහාරාජා පරපුරේ මහාරාජාවරුන් ගේ වාසභවන වූයේ මේ මයිසූර් මාලිගයයි.

මාලිගාව නැරඹීමට උදේ 10 සිට සවස 5 දක්වා ප්‍රවේශපත් නිකුත් කරයි. එය ඉන්දියානුවන්ට රු. 20 කි. විදේශිකයන්ට රුපියල් 200 කි. ප්‍රවේශපත් ලබා ගත් ඔබ පළමුවෙන් ම ඔබේ ජංගම දුරකථන කැමරා, වීඩියෝ කැමරා ගේට්ටුව අසල ඇති ස්ථානයට බාර දී රු. 5ක් ගෙවා කූපන් පතක් සහ තම භාණ්ඩ භාරගෙන තැන්පත් කළ සේප්පුවේ යතුර ලබා ගත යුතු ය. මාලිගය ඇතුළත ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, ජංගම දුරකථන පාවිච්චිය සපුරා තහනම් ය. මාලිගාව නරඹා ආපසු පැමිණි ඔබට මාලිගා භූමියේ ඇති තරම් ඡායාරූප ගත හැකිය.

චාමුන්ඩි කන්දේ දුර්ගා කෝවිල

මාලිගා භූ®මිය අක්කර සිය ගණනක් විශාල ය. ප්‍රාකාරයකින් වට වී ඇති එයට ඇතුළු වීමට විශාල තොරන ගේට්ටු පහක් ඇත. අතීතයේ දී මහාරාජාවරුන්ට, බිසෝවරුන්ට, රාජකීය අසුන්ට, ඇතුන්ට, රාජකීය අමුත්තන්ට, රට වැසියන්ට ඇතුළුවීමට මේවා වෙන වෙන ම වෙන් කොට තිබුණි. මේ මාලිගාව සම්පූර්ණයෙන් නැරඹීමට පැය 4ක් පමණ ගත වේ.

මේ ස්ථානයේ මුලින් තිබී ඇත්තේ ලීවලින් සාදන ලද මාලිගයකි. 1799 දී ක්‍රිෂ්ණ රාජා වඩිවෙල් ධ්ධ්ධ් රජු විසින් එය ගොඩනංවන ලදී. 1897 දී මේ ලී මාලිගය ගින්නෙන් සම්පූර්ණයෙන් ම විනාශ විය. ඉන් පසු 1897 දී එම මාලිගාව තිබූ ස්ථානයේ ම වර්තමානයේ අප දකින මාලිගය සැදීමට පටන් ගත්තේ ය.

1912 දී එය සාදා නිම කරන ලදී. හින්දු, මුස්ලිම් රාජ්පූර් හා ගොතික් නිර්මාණවල කදිම සංකලනයකි මේ මාලිගය. බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ‘හෙන්රි අර්වින්’ මෙම මයිසූර් මාලිගයේ සැලසුම්කරු ය.

මෙය සාදා නිම කිරීමට එකල ඉන්දියානු රුපියල් ලක්ෂ 42ක් වැය විය. ප්‍රංශයෙන්, ඉතාලියෙන්, එංගලන්තයෙන්, බුරුමයෙන් ගෙන එන ලද කිරිගරුඩ පිඟන් ගඩොල්, වීදුරු, බුමුතුරුණු , ලී ආදියෙන් මේ මාලිගාව සමන්විත ය.

නන්දි ගවයාගේ රුව

මාලිගයේ වාසය කළ අවසන් මහාරාජා වූයේ ‘මහා රාජා ක්‍රිෂ්ණ රාජා වඩිවෙල්’ ය. මෙම රජ පරම්පරාව ක්‍රි.ව. 1399 සිට ක්‍රි.ව. 1947 දක්වා ඉන්දියාවේ බලසම්පන්න ම මහාරාජා පරම්පරාව විය.

මයිසූර් මාලිගාව ඇතුළට පිවිසෙන ඔබ පළමුව නරඹන්නේ එහි ඇති විශාල ශාලාවකි. ශාලාවේ බිත්ති පුරා ම ඇත්තේ ඉන්දියාවේ ඉතිහාස කතා ය. මහා රාජාවරුන් ගේ ආලේඛ්‍ය චිත්‍ර, ඔවුන් ගමන්ගත් රාජකීය පෙරහර, රාජකීය ඇතුන්, අසුන්, බිසෝවරුන් ගේ රන් ආලේපිත දෝලාවල චිත්‍රය.

එම ශාලාවේ මැද අහස උසට ගෝලාකාරව සාදා ඇති ප්‍රදේශයේ ප්‍රංශ ක්‍රමයට පාට කරන ලද වීදුරුවලින් කරන ලද නිර්මාණ විශ්මිත ය. එහි මැද එල්ලා ඇති විශාල වීදුරු පහන් පොකුර ආකර්ශණීය ය.

මාලිගාවේ ඉහළ මාලයට පැමිණෙන ඔබට එහි ඇති රත්තරන් පාට ගෑ විශාල කුළුණු සහ කැටයම්වලින් අලංකෘත රාජකීය උත්සව ශාලාව නැරඹිය හැකි ය. මෙහි ඇති ජනෙල් ප්‍රංශයෙන් ගෙන්වන ලද පාට පාට කැටයම් වීදුරුවලින් සමන්විත ය. ඉන්පසු ඔබ පිවිසෙන්නේ තවත් විශාල ශාලාවකට ය. එය රාජකීය අමුත්තන් මහාරාජා හමුවන ශාලාවකි.

මින් පසු ඔබට එම මහලේ ඇති තවත් ශාලාවල් කීපයක් ම නැරඹීමට හැකි ය. මේවා මහාරාජා ගේ නිදන කාමර, බිසෝවරුන් ගේ කාමර, ළමයින්ගේ කාමර, උත්සව ශාලා ආදියෙන් යුක්ත ය. සමහර ශාලාවල, කාමරවල ඇති උලුවහු ආදිය තේක්ක ලී කැටයමින් යුක්ත ය.

තවත් ශාලාවල ඇති රිදියෙන් කල විශාල උළුවහු මෙන් ම විශාල රිදී දොරවල්වලින් ද යුක්ත ය. රිදී දොරවල් සියුම් කැටයමින් යුක්ත ය. මෙහි ඇති ගෘහභාණ්ඩ සාදා ඇත්තේ තේක්ක ලීයෙනි. එංගලන්තයෙන් ගෙන්වන ලද කණ්ණාඩි අදත් කිසිම පලුද්දක් පවා නොමැතිව පෙර තත්ත්වයෙන් ම පවතී.

මහීෂ අසුරයාගේ පිළිරුව

මාලිගයේ උඩ තට්ටුවේ ඇති ඉදිරි පසට විවෘතව ඇත්තේ රාජකීය නැටුම් ශාලාවයි. එහි කොටස් කීපයකින් යුක්තව ආසන පනවා ඇත. මෙහි බිසෝවරුන් සඳහා වෙනම ම ආසන පංතියක් වෙන්කර ඇත. ඒ අතර ම මහාරාජා හමුවීමට පැමිණෙන විදේශීය අමුත්තන් සඳහා ද රාජකීය උසස් නිලධාරීන් සඳහා ද මහාරාජා හමුවීමට පැමිණෙන මහජනතාව සඳහා ද ආසන පනවා ඇත.

තෙල් සායමින් අඳින ලද මාලිගාවේ බිත්තිවල රාම – රාවණා, මහා භාරත කතාවල සිද්ධි සඳහන් විශාල චිත්‍ර ද දේව කථා ආශි‍්‍රත චිත්‍ර ද රාමු කර එල්ලා ඇත. හින්දු දේවකථාවල දැක්වෙන සියලු ම දෙවිවරුන් ගේ රූප ඒ අතර ඇත. එමෙන් ම සමහර ශාලාවල චිත්‍ර ශිල්පීන් විසින් තෙල් සායමින් අඳින ලද රාජකීයයන් ගේ රූප, පවුලේ රූප රාමු කර එල්ලා ප්‍රදර්ශනයට තබා ඇත.

ප්‍රධාන මාලිගය නැරඹූ ඔබ ඉන් පසු ඉන් ඔබ්බට මීටර් 50ක් පමණ ගොස් මාලිගය පිටුපස ඇති තවත් කුඩා මාලිගයකට සම්ප්‍රාප්ත වනු ඇත. එහි ප්‍රදර්ශනයට තබා ඇත්තේ රාජකීයයන් පැළඳවූ ආභරණ, ඇඳුම්, පුටු, මේස, ඇඳන්, අල්මාරි ආදිය මෙන් ම රාජකීය දරුවන් නැල වූ තොටිලි, බිසෝවරුන් ගමන් ගිය දෝලා ආදියයි.

මෙය මහාරාජාගේ බිසෝවරුන් වෙනුවෙන් භාවිත කරන ලද මාලිගයකි. මෙහි ශාලා කීපයක ඇත්තේ මහාරාජා පෙරහැරේ ගෙනයන ලද මුර ආයුධ, ලාම්පු, තුවක්කු, කඩු, තෝමර ආදියයි.

මේ මාලිගයත් නැරඹූ ඔබට ඊළඟට නැරඹිය හැක්කේ රාජකීයයන් පුද පූජා පැවැත් වූ හින්දු කෝවිලයි.

පූජා වට්ටි සකසමින්...

පැය ගණනාවක් ම මහාරාජා මාලිගය ඇතුළත නැරඹූ ඔබට ඉන් පසු එම මාලිගා භූමිය නැරඹිය හැකි ය. එහි තැන තැන ඇති ජගුවරයින් ගේ ජීවමාන ප්‍රමාණයේ ලෝහයෙන් සාදන ලද ප්‍රතිමා මාලිගය ආරක්ෂා කිරීමට බලා ඉන්නවා සේ පෙනේ. එම භූමියේ මනා ලෙස සකස්කොට ඇති මල් පාත්ති මාලිගාවට ගෙන එන්නේ සුන්දරත්වයකි. ඒ අතර ම මාලිගා භූමිය වටා ඇති විශාල දොරටු පහ සහ එහි භාවිත කර ඇති කැටයම් සිත් ගන්නා සුළු ය.

ඔබ මයිසූර් මාලිගයේ සුන්දරත්වය ආලෝකයෙන් නැරඹීමට යන විට ඉරිදා දිනයක් තෝරා ගැනීම අතිශය වැදගත් ය. එදින මාලිගාවට නිවාඩු දිනයකි. එහෙත් එදින රාත්‍රිය යනු ඔබ නැරඹිය යුතු සුන්දර ම මොහොතයි. සවස 6.45 වන විට මාලිගා භූමියට ඔබට නොමිලේ ඇතුළු වීමට අවසර ඇත. හරියට ම රාත්‍රී 6.55 වන විට මුළු මාලිගා භූමියේ ම විදුලි ආලෝකය නිවා දමනු ලැබේ.

හරියට ම රාත්‍රී 7 වන විට ඔබ, උඩටගත් හුස්ම පහතට නොහෙලා බලා සිටිනු ඇත. මොහොතකින් මුළු මාලිගාව ම විදුලි බුබුළු ලක්ෂ ගණනකින් ඒකාලෝක වෙයි. එම මොහොතේ ම එහි සිටින සියලු නරඹන්නෝ ප්‍රීතිඝෝෂා පවත්වති. ඔල්වරසන් නඟති.

මුළු මහාරාජා මාලිගයත් එය වටකොට ඇති ප්‍රාකාරයත් එහි විශාල දොරටු පහත් විදුලි ආලෝකයෙන් ඒකාලෝක වූ විට මයිසූර් මාලිගය ම සුරපුරයක් බවට පරිවර්තනය වන්නාක් මෙනි.

ඔබ නෙතින් ආලෝකය උරා බොන අතරම දෙසවන් සනහන ඉන්දීය සම්භාව්‍ය සංගීතය ඔබව සිහින ලොවකට ගෙනයනු ඇත. ඒ අතර ම මාලිගය ඉදිරිපිට එහාට මෙහාට ඇවිද යන අසුන්ගේ රූප ඔබට අතීතයේ මාලිගාවේ දසුන් මවනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා