සොඳුරු වනස්පතිය සොයා කැටගිල්ලට

සොඳුරු වනස්පතිය සොයා කැටගිල්ලට

වනාන්තරය පිළිබඳ අත්දැකීම් ඇත්තෝ ඒ පිළිබඳව විස්තර කරන්නේ අතිශයෝක්තියෙන් යැයි අප අසා ඇත්තෙමු. ඒ අනෙකක් නිසා නොව තමා දුටු දේට සාධාරණය ඉටු කරවා ගැනීමටත් සෙසු අයට එහි යථා තත්ත්වය වඩාත් හොඳින් තහවුරු කර ගැනීමටත් යන කරුණු අපේක්‍ෂාවෙනි. එහි ප්‍රතිඵල ලෙස ඇතැම්හු යථා තත්ත්වය පිළිබඳ චිත්ත රූප මවා ගන්නා අතර ඇතැම්හු ඒවා හාස්‍යයට ලක් කරති. කෙසේ වුව ද පරිසරය, සොභා දහමට ඇලුම් කරන්නෝ ඉන් ලබන්නේ මහත් වූ ආශ්වාදයකි.

ශ්‍රී ලංකාවේ රක්‍ෂිත වනාන්තර අතරේ කැටගිල්ල සදාහරිත වනය පිළිබඳ තොරතුරු සොයා යන්නට අප දිරිමත් කළේ ද පරිසරවේදියකු අප සිත් තුළ ඇති කළ චිත්ත රූප සමුදායකි. එබැවින් සොඳුරු වනස්පතිය සොයා යන්නට අප තීරණය කළෙමු.

කොළඹ නුවර පාරේ වරකාපොළ නගරයට පැමිණි අප නගර මධ්‍යයෙන් දකුණු දෙසට ඇති ගලපිටමඩ ගම්මානය දෙසට හැරී කිලෝමීටර පහළොවක් පමණ ගමන් කළෙමු. ග්‍රාමීය ප්‍රදේශයක් හරහා වැටී ඇති මේ මාර්ගය ගසින් මලින් පිරී ගිය මනරම් පෙදෙසකි. අය ගමන් ගන්නා සොඳුරු වනස්පතිය කෙතරම් සිත් නිවාලනු ඇද්දැයි වටහා ගැනීමට මේ මාර්ගය අපට කදිම මං සළකුණක් විය. හරිත පැහැයෙන් වෙලා ගත් සොඳුරු ඉසව්ව පසුකොට කැටගිල්ල රක්‍ෂිතය කරා අපි පැමිණියෙමු.

හෙක්ටයාර් 128.7 ක් පුරා විහිද ඇති කැටගිල්ල රක්‍ෂිතය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ සල්ගල යන නමිනි. වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැල්කැල්ල, කැටගිල්ල රක්‍ෂිතය හෙවත් සල්ගල පහත රට සදාහරිත වනාන්තර අතර සුවිශේෂී ස්ථානයකි. රක්‍ෂිතයට ඇතුළු වන දොරටුවෙන් අප ගමන ඇරඹුවෙමු. පෙරදා රාත්‍රියේ ඇද හැළුනු වර්ෂාවත් සමඟ උද්දාමයට පත් ව සිටි කූඩැල්ලන් පිරිස අප පිළිගන්නට මෙන් හිස් ඔසවා අප දෙස බලන අයුරු අප දුටුවෙමු.

කැටගිල්ල වන අරණ – බැලුම්ගල සිට දිස්වන අයුරු

නැවුම් බවින් අලුත් උදෑසනක හිරි තුරු මුදුන් සිප ගන්නා අයුරු දුටු අපට සියල්ල අමතක වී ගියා සේ ය. එසැණින් කූඩැල්ලකු, දෙන්නකු අප ඇඟට ගොඩ වුණ ද එය එතරම් දෙයක් නොවී ය. පරිසරවේදියා අප සිත් තුළ ඇති කළ සිතිවිලි සමුදාය වනය තුළ දී අපට පසක් වී ගියේ සොඳුරු පරිසරයට නිමේෂයෙන් නිමේෂයෙන් පිය මං කරන විට ය.

කැටගිල්ල වනයේ පිහිටි ලෙන් සහිත ගල කලෙක ශිලා ගුහාව ලෙසත් පසුකාලීනව සල්ගල යන්න ව්‍යවහාර වන්නට ඇති බවටත් විශ්වාසයක් පවතී.

ගල් ගුහා 18 කින් යුත් සල්ගල වළගම්බා රජුගේ ආරක්‍ෂිත ස්ථානයක් විය. පිප්පිලි ගිජ්ජකූඨ, ගන්ධ කුටි ආදි නම්වලින් මේ ගුහා නම් කර ඇති අතර ඇතැම් ගුහා අද සැඟව ගොසිනි. අතීතයේ භික්‍ෂු ආශ්‍රමයක් ලෙස පැවැති සල්ගල ධර්මගුප්ත නම් රහතන් වහන්සේ වැඩ සිටි ස්ථානය බව ද පැවැසේ.

දුෂ්කර මග ගෙවමින් සල්ගල වන අරනේ සක්මන් කළ අප අඳුරු පරිසරයෙන් ආ බිහිසුණු නාදයකින් තිගැස්සුනෙමු. එය ඇඟ කිළිපොළා දමන මියුරු නාදයකි. අසල තිබූ නැඳුන් ගසේ සිටි කුරුල්ලෙකු ඉගිල යනු අප දුටුවෙමු. සත්ත්ව ලෝකයට අයත් කොටස තුළ අනවසර අපගේ පැමිණීමට විරෝධය එම හඬ තුළ ගැබ් වී තිබිණි.

ශිලා ගුහාවක්

සියලු බාධක මැදින් සල්ගල කඳු මුදුනට ගොඩ වුනෙමු. අපත් සමඟ බැලුම්ගල ලෙස හඳුන්වන සල්ගල කඳු මුදුනට පැමිණි කූඩැල්ලන් පිරිස ද සොබාදහමේ අපූර්වත්වය දැක ගැනීමට තරම් පිංකර ඇතැයි අපට සිතුණි. මේ සුන්දර වන අරනේ තුරු හිස් මත මල් පිපි නෙක වර්ණයෙන බබළමින් තිබිණි. ඉඳ හිට හමන සුළං රැල්ලේ තාලයට තුරු හිස් දඟ කරන අයුරු මනරම් ය.

වනයේ ඇති ගොඩපර, දියතාලිය, හල් නැඳුන්, මිල්ල වැනි රළු තුරු හිස් ද තාලයට රඟන්නේ කුඩා පැටවුන් නැටුම් නටනා සේ ය. දසතින් ඇසෙන කුරුලු ගී නාදය අප දෙසවන් මන මත් කළේ ය. බැලුම් ගල මුදුනින් මහ සයුරත් සමනළ කන්දත් මනාවට පෙනේ. එහෙත් මීදුම් සළු පැළැඳ සිටි තුරු හිස් මතින් එම දසුන් නැරඹීමට තරම් අප වාසනාවන්ත නොවුනි.

දුර්ලභ ඖෂධ වර්ග, වර්ග තිහකට පමණ වූ දුර්ලභ සමනලුන් හා කුරුල්ලන් ද උරගයන් ද මේ වනය තුළ සිටිති. සල්ගල සිට ලෙනගල දක්වා උමං මාර්ගයක් තිබූ බවත් වළගම්බා රජු එහි ආරක්‍ෂිතව සිටි බවත් පැවසේ.

සල්ගල වනයේ දී අපට හමුවූ ගහ කොළ සතා සීපාවා පමණක් නොව බවුන් වඩන යතිවරුන් ගෙන් ද සමුගත් අප සෞන්දර්යයේ මතක සටහන පමණක් සිත් තුළ රුවා ගෙන පෙළින් පෙළ ගල් පඩි ගනිමින් පහළට බසින්නට වීමු. ඒ තවත් අඳුරු වළාවක් අහස් ගැබ අත් පත් කර ගත් නිසාවෙනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා