දක්‍ෂ පිතිකරුවකු ලෙස පෙළහර පෑ රෝයි

දක්‍ෂ පිතිකරුවකු ලෙස පෙළහර පෑ රෝයි

රිචඩ් ඩයස් සහ ජොයිස් යන මවුපියන්ට දාව උපන් ගැහැණු දරුවන් තිදෙනා සහ පිරිමි දරුවන් දෙදෙනා අතරින් රෝයි ඩයස් බාලම දරුවා විය. වත්තල ඔවුන්ගේ මුල් පදිංචිය වූ නිසා රෝයි ඩයස් මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයටයි. නමුත් ඔහු එම පාසලේ අධ්‍යාපනය හැදෑරුවේ පළමු වසර පමණි. පසුව ඔහුගේ ශිල්ප ශාලිකාව වූයේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයයි. එම තක්සලාව ඔහුගේ ජීවිතයට නව පන්නරයක් ලබා දුනි.

අධ්‍යාපන කටයුතුවලට වඩා ක්‍රීඩාවට ඇළුම් කළ ඔහු ඒ දෙසට යොමු වූයේ රග්බි ක්‍රීඩාව හරහාය. පියා සහ ඔහුගේ ඥාති සහෝදරයෝ බොහෝ දෙනෙක් පාපන්දු ක්‍රීඩකයන් වූහ. ඒ නිසාම රෝයි ඩයස් තුළත් ක්‍රීඩාවට උපතින්ම ආ දක්‍ෂතා තිබුණ ද පියාගේ අඩි පාරේ යමින් පාපන්දු ක්‍රීඩාවට යොමුවීමට ඔහුට නොහැකි විය. ඔහු අධ්‍යාපනය ලැබූ ශාන්ත පීතර විදුහලේ පාපන්දු ක්‍රීඩාව නොතිබීම එයට ප්‍රධාන හේතුවයි. එවකට එම පාසලේ තිබුණේ ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවන් පමණි. එයින් ඔහු ප්‍රථමයෙන් තෝරා ගත්තේ රග්බි ක්‍රීඩාවයි.

වයස අවුරුදු 15, 16 කාලයේදී රග්බි ක්‍රීඩාවට යොමු වූ ඔහු දොළහෙන් පහළ, දහසයෙන් පහළ සහ දහනවයෙන් පහළ යන වයස් කාණ්ඩ කිහිපය යටතේම ක්‍රීඩා කළේය. උපරිම දක්‍ෂතා පෙන්නූ රෝයි ඩයස්ට පාසලේ රග්බි කණ්ඩායමේ නායකයා වීමේ අවස්ථාව ද උදාවුණි. නමුත් තමන්ගේ පුතා රග්බි ක්‍රීඩා කරන බව මවුපියන් දැන සිටියේ නැත.

සිය දක්‍ෂතාවය නිසාම රෝයි ඩයස්ට එය රහසක්ව පවත්වාගෙන යාමට නොහැකි විය. එවක රාජකීය විද්‍යාලයත් සමඟ පැවැති රග්බි තරගයකදී රාජකීය පිල පරදා ජයග්‍රහණය කිරීමට රෝයි ඩයස් ඬ;යීජනය කළ ශාන්ත පීතර විදුහල් කණ්ඩායමට හැකි විය. එම තරගය ඔහුගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමකි. එදින ඔවුන් ලැබූ ජයග්‍රහණය පුවත්පත්වල පළකෙරුණි.

ඩේලි නිව්ස් පුවත්පතේ තිබූ ලිපියේ සිරස්තලයට ඔහුගේ නම ද ඇතුළත් වී තිබුණි. මෙතෙක් රෝයි සඟවාගෙන සිටි රහස හෙළිවූයේ එදිනය. සවස් යාමයේ පියා පුවත්පත බලා එහි රෝයිගේ නම තිබෙනු දැක ශාන්ත පීතර විදුහලේ තවත් රෝයි ඩයස් කෙනෙක් සිටිනවාදැයි විමසුවේය. එවිට තවදුරටත් ඔහුට පියාගෙන් එය සැඟවිය නොහැකි නිසා අම්මාට නොකියන පොරොන්දුව මත ඔහු පියාට සැබෑ තතු ප්‍රකාශ කළේය. එහෙත් එම රහස ද හෙළිවන්නට වැඩි කාලයක් ගත නොවුණි.

දිනක් තරගයකට පෙර පුහුණුවීම්වල නිරතවෙමින් සිටියදී ඔහු හදිසි අනතුරකට මුහුණ පෑවේය. එදින මව ද ඔහු රග්බි ක්‍රීඩා කරන බව දැනගත්තාය. එම අනතුරින් මාස තුනක් පමණ ගතවනතුරු ඔහුට කිසිදු ක්‍රීඩාවකට යොමුවීමට නොහැකි විය. එම කෙටි විවේකයෙන් පසු බොහෝ දෙනාගේ ඉල්ලීම මත ඔහු රග්බි ක්‍රීඩාවට සමු දුන්නද ඔහුගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ඇරඹෙන්නේ එතැන් සිටයි.

තරුණ රෝයි

රග්බි ක්‍රීඩාවට සමු දුන්නද ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙමින් දක්‍ෂතා පෙන්නුම් කළේය. පාසල් අවධියේදීම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව හරහා ඉදිරියට ඒමට මූලික මඟපෙන්වීම ලබා දුන්නේ කාල් ඔබේසේකර මහතාය. ඒ වන විට ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන දක්‍ෂ ක්‍රිකට් තරුවක්ව සිටියේය. එබැවින් ඔහුගේ ගුරුහරුකම් නිබඳව රෝයි ඩයස්ට ලැබුණි.

රෝයි ඩයස්ගේ පියා සහ කාල් ඔබේසේකර මිතුරන් වු නිසා ඇතැම් දිනවල කාල් ඔබේසේකර ක්‍රීඩා කරන තරග නැරඹීමට යාමේ අවස්ථාව උදාවිය. මීට අමතරව කාල් ඔබේසේකර ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ පොත්පත් සඟරා ගෙනත් දෙමින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ පොත්පත් සඟරා ගෙනත් දෙමින් ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගැනීමට රෝයි ඩයස්ට විශාල ලෙස උදව් උපකාර කළේය. එය රෝයිට විශාල ශක්තිය වූ අතරම ඔහු කාල් ඔබේසේකරගෙන් ඉගෙන ගත් දේ බොහෝය.

පාසලේදී ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලබාගැනීමට පවා රෝයිට හැකි වූයේ මේ මඟපෙන්වීම නිසාය. ක්‍රීඩා කටයුතු අතර අධ්‍යාපන කටයුතු ද කරගෙන ආ රෝයි උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ විද්‍යා විෂය ධාරාවෙනි. එහෙත් එම ක්ෂේත්‍රය ඔහුට නොගැළපෙන බව වටහාගෙන පසුකාලීනව පාසලෙන් ඉවත් වී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවටම සම්පූර්ණ කාලයම යොමු කළේය.

පිටියේ පෑ දස්කම්

පාසලෙන් ඉවත් වී ඔහු කෝට්ස් ක්‍රීඩා කණ්ඩායමට සම්බන්ධ වුණි. ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවීම පිළිබඳ සිය පවුල තුළ විරුද්ධත්වයක් නොවීම ඔහුට විශාල පහසුවක් විය. පියා ඉඳහිට හෝ ක්‍රිකට් තරගයක් නැරඹුවද ඔහුගේ මව ඔහු ක්‍රීඩා කරන තරගයක් නරඹා නොතිබිණි. එබැවින් 1984 වසරේදී නවසීලන්තයත් සමඟ පැවැති ටෙස්ට් තරගයක් නැරඹීමට එස්. එස්. සී. ක්‍රීඩා පිටියට ඇය කැඳවාගෙන ආවේ රෝයිගේ බිරිය තරංගාය. එදින පැවති තරගයේදී රෝයි ශතකයක් ලබා ගත්තේය.

ක්‍රිකට් ක්‍රීඩා කරන අතරතුරදීම ඔහු මහරාජා සංවිධානයට සම්බන්ධ වී රාජකාරි කළේය. මහරාජා සංවිධානයේ අධ්‍යක්‍ෂ රාජා මහේන්ද්‍ර මහතා ඔහුගේ රාජකාරී කටයුතු මෙන්ම ක්‍රීඩා කටයුතුවලට ද විශාල සහයෝගයක් ලබා දුන්නේය. එකල රෝයි ඩයස් ලකුණු රැස්කරන දක්‍ෂ ක්‍රීඩකයෙකු වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර නොගන්නේ වැරදි ක්ලබ් එකක් නියෝජනය කරන නිසා බව රාජා මහේන්ද්‍ර මහතා රෝයිට පැවසුවේය. එයට ඇහුම්කන් දුන් රෝයි පසුව එස්. එස්. සී. ක්‍රීඩා කණ්ඩායමට සම්බන්ධ විය. රෝයි මහරාජා සංවිධානයේ වසර දහයක් පමණ සේවය කළේය.

දුලිප් මෙන්ඩිස්, චරිත් සේනානායක, රුමේෂ් රත්නායක, අතුල විජේගුණවර්ධන, රොෂාන් ජුරම්පති යන ක්‍රීඩකයෝ ද ඔහුත් සමඟ එම සංවිධානයේම සේවය කළහ. ඔවුන් රාජකාරී කටයුතු කළේ උදෑසන 8 සිට සවස 2 දක්වා පමණි. ඉතිරි කාලය ඔවුන්ගේ පුහුණුවීම් සඳහා ඉඩ ලබා දී තිබුණි. දිනක් රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටින විටදී රාජා මහේන්ද්‍ර මහතා ඔවුන්ව කාර්යාලයට කැඳවා කාර්යාලයේ තිබූ විශාල රූපවාහිනියෙන් කැසට් පටයක් දමා චිත්‍රපටයක් නැරඹීමට ඉඩකඩ සලසා දුන්නේය.

ඇගයුම් ලබා...

ඒ වන විට ලංකාවට ඇවිත් නොතිබුණු රොකී ෆෝ නැමැති චිත්‍රපටිය නැරඹීමට ඔවුනට එහිදී අවස්ථාව උදාවුවත් එකවර සිදුවූ එම සිදුවීම ඔවුනට අදහාගත නොහැකි විය. චිත්‍රපටිය නිමවීමෙන් පසු එම චිත්‍රපටියෙන් ඔවුන් ලබා ගත් දෑ මොනවාදැයි රාජා මහේන්ද්‍ර මහතා විමසුවේය. බොක්සිං ක්‍රීඩකයෙකු එක් අවස්ථාවක තරගයේදී පසුබා නැවත හිත හදාගෙන තරගය ජයග්‍රහණය කරන සිද්ධියක් එම චිත්‍රපටියේ අන්තර්ගත විය. එම සිද්ධිය ආදර්ශයට ගනිමින් හොඳින් පුහුණුවීම් කර ඉදිරියට යාමට ඔහු රෝයි ඩයස් ඇතුළු පිරිසට උපදෙස් දුන්නේය. එය රෝයි ඩයස්ගේ ජීවිතයට ලැබුණු විශාල පූර්වාදර්ශයක් විය. පුහුණුවීම් කර දක්‍ෂ ක්‍රීඩකයෙකු ලෙස පෙරට ඒමට එදා රෝයි අදිටන් කර ගත්තේය.

1982 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් වරම් ලැබුණි. එංගලන්තයේ පැවති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වීමේ භාග්‍ය රෝයි ඩයස්ට ද උදා විය. බන්දුල වර්ණපුර, අජිත් සිල්වා, කළුපෙරුම යන ක්‍රීඩකයන් ද රෝයි ඩයස් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් විය. 1982 වසරේදී ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගි වූ රෝයි ඩයස් 1983 වසරේදී කණ්ඩායමේ උපනායකයා ලෙස පත් කෙරුණි. ඔහු 1982 වසරේ සිට 1987 වසර දක්වා කණ්ඩායමේ උප නායකත්වය දරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් සිදුකළේය.

එකල දක්‍ෂ පිතිකරුවෙකු මෙන්ම දක්‍ෂ පන්දු රකින්නෙකු ලෙස පෙළහර පෑ රෝයි එදා බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ක්‍රීඩකයෙකු විය. ඔහු බොහෝ තරගවල ලකුණු අතර සිටි ක්‍රීඩකයෙක් වීම ඊට ප්‍රධාන ලෙස බලපෑවේය. එකල වසරකට පැවැත්වූයේ ක්‍රිකට් තරග කිහිපයක් පමණි. එදා අද මෙන් වසර පුරාම තරග නොපැවැත්විණි. පුහුණුකරුවන් කිහිප දෙනෙකු යටතේ පුරුදු පුහුණු වුවද අද තරම් දියුණු තාක්ෂණයක් සහ දක්‍ෂ පුහුණුකරුවන් එදා අවම විය.

එමනිසා විවිධ දුෂ්කරතා, බාධක මධ්‍යයේ වුවත් ක්‍රීඩාවට ඇති උනන්දුව හා දක්‍ෂතාවය නිසාම රෝයි ඩයස් වැනි ක්‍රීඩකයන් එදා පෙරට ආවේය. එකල ක්‍රිකට් තරගවලට සහභාගි වූයේ මුදල් අපේක්‍ෂාවෙන් නොව සිය කැමැත්තෙන්මය. සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස දෙස් විදෙස් හි දක්‍ෂතා පෙන්වූ රෝයි ඩයස් 1987 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේන පසු ජාතික කණ්ඩායමෙන් ඉවත් විය.

පවුලේ කට්ටිය

නමුත් 1989 වසරේදී නැවත කැඳවීමක් කර ඔහුට සාජාවල පැවති තරගාවලියකට සහභාගි වීමට අවස්ථාව උදා වූවද කොතැනක හෝ තිබූ අඩුපාඩුවක් හේතුවෙන් එම තරගාවලියේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුගෙන් ගිලිහිණි.

1984 වසරේ දී ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය රෝයි ඩයස්ට තවත් අමතක නොවන තරගයකි. එම තරගයෙන් ඉන්දියා කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, එම ජයග්‍රහණයෙන් පසු දින එවකට ජනාධිපති ලෙස සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කළේය. රෝයි ඩයස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් සමඟ රටවල් බොහෝ ගණනකට ගියේය. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව තිබෙන රටවල් අතුරින් දකුණු අපි‍්‍රකාවට පමණක් යාමේ අවස්ථාව ඔහුට මඟහැරුණි.

පසුගිය කාලය පුරා ඔහු විවිධ කණ්ඩායම් සමඟ තරගවලට සහභාගි වූ අතර ඔහුට වැඩිම අභියෝගයක් එල්ල වූයේ ඔස්ට්‍රේලියාවේ වේග පන්දු යවන්නන්ගෙනි. එහෙත් බොහෝ තරගවලදී ශතක මෙන්ම අර්ධ ශතක පවා ඔහු ලබා ගත්තේය. සාමාන්‍යයෙන් විදෙස් සංචාරයකදී විවිධ ස්ථාන නැරඹීමට යාමට අවස්ථාව උදා වුවත් රෝයි ඒවා මඟහැර සිටියේය. එක් වතාවක් සිම්බාබ්වේ රටට ගිය අවස්ථාවකදී එම රටවල සිටි ශ්‍රී ලාංකිකයන් වික්ටෝරියා දිය ඇල්ල නැරඹීමට ප්‍රවේශ පත් ලබා දුන් නිසා එය මඟහැර සිටින්නට ඔහුට නොහැකි විය. ඔහුට එදා වික්ටෝරියා දිය ඇල්ල නැරඹීමට යාමට සිදුවිය.

1987 වසරේදී ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වූ පසු රෝයි 1989 වසරේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු ආරම්භ කළේය. 1998 වසර සිට 1999 වසර දක්වා කාලය තුළ ඔහු ශ්‍රී ලංකාවේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එවැනි තනතුරක් පළමු වරට ලබා ගත් ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුය. ඔහු දැනටත් මෙරට ක්‍රිකට් පුහුණු පාසල් පවත්වාගෙන යමින් ක්‍රිකට් ච්2ඩාවට එන නවකයන් දක්‍ෂයන් බවට පත්කිරීමේ කාර්ය භාරයට උර දී සිටී.

නේපාලයේ 19 පහළ පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ද ඔහුට ලැබුණි. මාසයක පමණ කාලයක පුහුණුවීම් කටයුතු සඳහා සහභාගි වුවද ඔහු පසුකාලීනව වසර 10 ක පමණ කාලයක් නේපාලයේ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය. ඒ කාලය ඇතුළත නේපාල කණ්ඩායම ඉතාමත් ඉහළ තලයකට ගෙන ඒමට ඔහුට හැකි විය.

ඔහුගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස 2001 හා 2002 වසරවලදී 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිවලටද නේපාල කණ්ඩායම සහභාගි වී ජයග්‍රහණ අත්කර ගත්තේය. එම ජයග්‍රහණත් සමඟ නේපාලයේ 16 සහ 17 න් පහළ කණ්ඩායම් පුහුණු කිරීමේ වගකීම් ද ඔහුට පැවරිණි. දැනට නේපාල ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන බොහෝ ක්‍රීඩකයන් එදා ඔහු යටතේ පුහුණු වූ ක්‍රීඩකයන් වීම ද විශේෂත්වයකි.

වසර ගණනාවක් පුරා ඔහු ලැබූ දැනුම සහ අත්දැකීම් තුළින් විදෙස් රටවල් මෙවැනි ප්‍රයෝජන ලබාගෙන ඇතත් ශ්‍රී ලාංකිකයන් මේ දක්‍ෂතාවලින් පිරිපුන් මිනිසාගෙන් ලබාගන්නා ප්‍රයෝජන ප්‍රමාණවත් නොවේ යැයි ඇතැම් විට හැඟේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා