විජයග්‍රහණයේ අභිමානයට රොද බැඳෙමු

විජයග්‍රහණයේ අභිමානයට රොද බැඳෙමු

මේ ගෙවී යන්නේ ශ්‍රී ලාංකේය ජනතාව බෙදුනු රටක අමිහිරි මතකයන්ගෙන් ඈත්ව අළුත් දේශයක අළුත් බලාපොරොත්තු සමඟින් හිනැහෙන අභිමානවත් ජාතියක විජයග්‍රාහී දෙවන වසරයි. දශක තුනක් තිස්සේ නිමක් නැති ලේ කඳුළු ගංගාවක කිමිදෙමින් මරණය සමඟ ජීවත් වූ අපි අද මරණයෙන් නැඟී සිට යළිත් ජීවය ලැබුවාක් සේ ය.

මුළු රටක් බෙදුම්වාදී ත්‍රස්තවාදයේ රුදු ගිනි දැල්ලෙන් දවා අළුකළ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලයි ප්‍රභාකරන් 2009 මැයි 18දා ජීවිතයෙන් සමුගනිද්දී මේ රටේ සුවහසක් ජනතාවගේ ජීවිත අයිතිය යළි හිමිවිය.

මානුෂීය මෙහෙයුමේ අවසන නන්දිකඩාල් කලපුව අසලින් නිල් ගුවනට නික්මුනු අවසන් වෙඩිල්ලෙන් පසුව එදා මෙදා තුර ගෙවුන දෙවසරක කාල පරාසය තුළ රටේ කිසිඳු තැනෙක එකඳු අවාසනාවන්ත සිදුවීමක් හෝ වාර්තා වූයේද නැත.

පරාජයෙන් වියරුව සිටින දෙස් - විදෙස් ඩයස්පෝරාව වරින් වර බොරු මානව හිමිකම් චෝදනා ගෙන ආවද ත්‍රස්තවාදය පරාජය කොට දෙවසරක් තුළ රට සාමකාමීව පවත්වාගෙන ආ එකී ස්ථාවරයම මෙරට ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර ඇති බව ඔප්පු කර හමාරය.

බෙදුම්වාදී ජාතික ගැටළුව දශක තුනක් වැනි දීර්ඝ කාලයක් ලාංකේය සමාජය අනතුරේ හෙළූ අතර අපි ආ ඒ මාවත දෙස නැවත හැරී බලතොත් ගෙවුණ වසර 30ක පමණ කාලය මව්බිමේ ස්වෛරීත්වයට බරපතළ ලෙස හානි සිදුව තිබිණි.

කලක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් බැහැරව එල්.ටී.ටී.ඊ.ය රට තුළ සිදුකළ ඝාතන, පැහැර ගැනීම්, විනාශයන් අති විශාලය. එහි දරුණු ප්‍රතිඵල වැඩි වශයෙන් අත්විඳින්නට සිදුවූයේ ද මෙරට අහිංසක ජනතාවටය.

රට තුළ උද්ගතව තිබූ යුදමය වාතාවරණය තුළ ඇතමෙකුට සිය දෙමාපියන් අහිමි විය. දෙමාපියන්ට දරුවන් අහිමි විය. නෑදෑ හිතමිතුරන්, අසල්වැසියන් අහිමි විය. සාමාන්‍ය ජනතාව මෙන්ම හමුදා සාමාජිකයින් ද දහස් ගණනින් යුද්ධයේ ගොදුරු බවට පත්විය. දේශපාලන නායකයන්, බුද්ධිමතුන්, රාජ්‍ය නිළධාරීන් , මාධ්‍යවේදීන් , කලාකරුවන් වැනි විවිධ ක්ෂේත්‍රයන්හි නිරතවූවන් රටට අහිමි විය. එල්.ටී.ටී.ඊ. ය ගමන් කළේ කුමන දිශාවකට ද යන්න දෙමළ ජනතාව හොඳින්ම දැන සිටි අතර ඒ නිසාම ආරක්ෂක හමුදා විසින් සිදුකළ මෙහෙයුම් වලදී දෙමළ ජනතාවගේ සහායද නොමඳව ලැබිණි.

වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කරන්නට කලින් කලට බලයට පත් වූ රජයන් උත්සාහ දැරීය. මෙම ගැටළුවට විසඳුම් ලබාදෙන අරමුණෙන් වරින් වර බලයට පත් දේශපාලන නායකත්වයන් ගත් ඇතැම් තීන්දු තීරණ පවා පසුකාලීනව ගැටළුව තවදුරටත් අවුල් වියවුල් තත්ත්වයට පත් කළේ ය.

2005 නොවැම්බර් බලයට පත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ද සෙසු රාජ්‍ය නායකයන් සේම සාමකාමීව සාකච්ඡාමය විසඳුමක් තුළින් ත්‍රස්තවාදය නිමාකර මව්බිමට සාමය රැගෙන එන්නට උත්සාහ දැරීය. එහි ප්‍රථම පියවර ලෙසින් මහින්ද රාජපක්ෂ රජය සාම සාකච්ඡා සඳහා එල්.ටී.ටී.ඊ. යට දොරගුළු විවෘත කර දුන්නේ ය. එහෙත් ඊළාම් සිහිනයකම වෙළී සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානය සුපුරුදු පරිදිම සාම සාකච්ඡා මාවතින් ඉවතට ගියේ ය.

මේ අතර සමයේ එනම් 2006 ජූලි 19 දා එල්.ටී.ටී.ඊ. සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වූ ජල අයිතිය උදුරා ගත්තේ ය. එල්.ටී.ටී.ඊ. ය සිදු කරන ම්ලේච්ඡ ක්‍රියාවල නිමාවක් නොවූ හෙයින් දැඩි තීරණයකට ආ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායකයා ලෙස එල්.ටී.ටී.ඊ. යට දැනෙන භාෂාවෙන් පිළිතුරු දෙන්නට තීරණය කළේ ය. මාවිල්ආරුවේ සිට එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් සාමාන්‍ය ජනතාව මුදාගැනීම සඳහා වූ මානුෂීය මෙහෙයුම් දියත් කෙරෙන්නේ ඒ අනුවය. නිවැරැදි දේශපාලන හා යුදමය නායකත්වයක් දෙමින් සිදු කළ ඒ මානුෂීය මෙහෙයුම් නොනැවතී ඉදිරියටම ගමන් කළේ ය.

මේ වනවිට චෙච්නියා ගරිල්ලන්, මාවෝවාදී කැරළිකරුවන්, අල්කයිඩා ත්‍රස්තවාදීන් මෙන්ම ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයෙහි පුරුකක් වූ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. යද ලොව දරුණු ගණයේ ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවේ පෙරමුණේ සිටියේ ය. එල්.ටී.ටී.ඊ. ය එලෙස ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන හා ඒකාබද්ධව ලොව පුරා විසිර තිබූ ඩයස්පෝරාවක් සමඟ ක්‍රියාත්මක වූ බැවින් එය පරාජය කිරීම බෙහෙවින්ම අසීරු කරුණක් විය. අභියෝගය ජයගත්තේ මහින්ද රාජපක්ෂ රජයයි.

නමුදු කවදත් අභියෝගයන්ට අභියෝග කළ මහින්ද රාජපක්ෂ නම් වූ සේනාධිනායකයා ලබාදුන් නිවැරැදි නායකත්වය තුළ ත්‍රස්තවාදය මාවිල් ආරුවෙන් පටන්ගෙන නන්දිකඩාල් කලපුවෙන් අවසන් කරන්නට රණවිරුවන් සමත්විය. අසීරු අභියෝග හමුවේ නොසැළී ඉන්ද්‍රඛීලයක් සේ ක්‍රියාකළ සේනාධිනායකත්වය හා අපේ වීරෝදාර රණවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය මතින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කොට උතුර සහ නැඟෙනහිර පළාත් ද්විත්වයද රජයේ පාලනයට නතු කර ගන්නට සමත් විය. අද අපි අභිමානයෙන් යුතුව සමරන්නේ ඒ වීරෝදාර රණවිරුවන් ලද ඒ අභීත ජයග්‍රහණයයි.

යුද්ධය නිමාවී දෙවසරක් ගෙවී යමින් තිබේ. ලාංකික ජනතාව අද බියෙන් සැකෙන් තොරව නිදහස් සාමකාමී වටපිටාවක් තුළ ස්වකීය ජීවන වෘත්තීන්හි නියැලෙමින් සතුටින් දිවි ගෙවති. බෝම්බ මර බිය අද නැත. උතුරේත් දකුණේත් ජනතාව වීදි බැස නිදහසේ ගමන් බිමන් යති. දෛනික ජීවිතයට සාමකාමීව මුහුණ දෙමින් සිටියි.

වේළුපිල්ලේ ප්‍රභාකරන් ඊළාම් සිතියම ලකුණු කරමින් ඇටවූ මරඋගුල් බිම් බෝම්බ ඉවත් කිරීමේ දැවැන්ත වගකීම ද ගෙවුණු දෙවසර තුළ රජයත් ආරක්ෂක අංශත් ඉටු කරමින් සිටියි. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙල ඉතා කඩිනමින් සිදු කරමින් සිටි රජය ජනතාව සිය උපන් ගම්බිම්හි නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙලද සක්‍රීය කොට ඇත.

ඒ අනුව උතුරේ සහ නැගෙනහිර අවතැන් වූ ජනතාව බහුතරයක් ද අද වන විට නැවත ඔවුන්ගේ ගම්බිම් හි පදිංචි කර ඇත්තේ එම වැඩපිළිවෙළේ සාර්ථකත්වයත් කඩිනම් බවත් නිසාය. බිම් බෝම්බ ඉවත් කෙරුණු ආරක්ෂිත බිමක අද ඔවුහු සතුටින් නැවතත් ඔවුන්ගේ සුපුරුදු ජීවිකාවට හැඩ ගැසෙමින් සිටිති.

මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ දකුණට පමණක් සීමා නොවූ සංවර්ධන වැඩපිළිවෙල අද වන විට සමස්ත උතුරට සහ නැගෙනහිරට විහිදී ඇත. රජයේ දැවැන්ත සංවර්ධන වැඩසටහන් දෙකක් වන ‘වඩක්කින් වසන්තම් ‘ (උතුරු වසන්තය) , ‘කිලක්කින් උදයම්’ (නැගෙනහිර නවෝදය) වැනි දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙල හරහා උතුරේ සහ නැගෙනහිර මහාමාර්ග පද්ධතිය , වාරිමාර්ග පද්ධති, විදුලි පහසුකම් ඇතුළු යටිතල පහසුකම් රැසක් යළි පිබිදෙමින් තිබේ.

එසේම ගැටුම් පැවති ප්‍රදේශවල දුවා දරුවෝ තමන්ට අහිමි වූ සොඳුරු ළමාවිය යළිත් අත්විඳිමින් සිටින අතර ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ලබාදීමට රජය ඉදිරිපත්ව සිටියි. කැඩී බිඳී ගිය පාසැල් ගොඩනැගිලි හා අනිකුත් පහසුකම් සේම ගුරු පහසුකම් ද ලබාදෙමින් එම ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන මට්ටම නැංවීමේ හා සාක්ෂරතාවය ඉහළ නැංවීමේ දැවැන්ත වගකීමට රජය පෙරමුණ ගෙන ඇත. එසේම මියැදෙමින් තිබූ සංස්කෘතික හා ආගමික කටයුතුවල ද නව පිබිදීමක් ඇති වී තිබේ. කාලාන්තරයක් තිස්සේ වල් වැදෙමින් තිබූ වෙහෙර විහාර, පන්සල් කෝවිල් යළිත් බැතිමතුන්ගෙන් පිරී යමින් තිබේ.

යුද්ධය හේතුවෙන් වසර ගණනාවක් අතහැර දමා තිබූ ගොවිබිම් හි යළිත් වගා කටයුතු සිදු කෙරෙමින් රට සශ්‍රීකත්වය කරා ගෙන යන සටනට උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව ද එක්වෙමින් සිටියි.

රජය විසින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය බීජ, පොහොර මෙන්ම ණය පහසුකම් ආදී දෑ සපයා ඇති අතර ඔවුහු උතුරේ සහ නැගෙනහිර ගොවිබිම් , සරුසාර වගාවන්ගෙන් සවිමත් කරමින් සිටියි. ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ, ආම්පන්න ලබාදීමට රාජ්‍ය නොවන සංවිධාන, ස්වෙච්ඡා සංවිධාන පවා එක්ව සිටියි. උතුරට සහ නැගෙනහිරට ආවේණික වූ එළවළු, පළතුරු ආදී වගාවන්ගේ ඵල දැන් කෙමෙන් වෙළෙඳ පොළ කරා එන්නේ එම ප්‍රදේශවල ජනතාවගේ දහදියේ ප්‍රතිඵල ප්‍රදර්ශනය කරමිනි.

තවත් පෙසකින් එදා වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනයේ වෙළී අවි අත දරා සටන් බිමට ආ දහස් ගණනින් තරුණ තරුණියෝ යළිත් පුනරුත්ථාපනය වී මෙරට සංවර්ධන කාර්යයේ කොටස්කරුවන් වෙමින් සිටිති. මැහුම් ශිල්පය, පෙදරේරු කර්මාන්තය, මේසන් කාර්මික ශිල්පය වැනි කර්මාන්ත වලට ඔවුන් පුනරුත්ථාපනය කර ඇති අතර අද ඔවුහු දහදිය මහන්සියෙන් අනුන්ගේ ජීවිතවලට හානියක් සිදු නොකර සිය ජීවිත සටන ගෙනයන්නට හැකි ශක්තිමත් පිරිසක් බවට පත්ව සිටිති.

ඔවුනට එදා මෙන් නිෂ්ඵල අරමුණක් නොව ජීවිතය ජය ගන්නට සැබෑ අරමුණක් ඇත. පුහුණුවක් ඇත. ඒ නිසාම දශක තුනක් තිස්සේ නිෂ්ඵල ව්‍යායාමයක් වෙනුවෙන් යෙදවූ මේ රටේ තරුණ ශක්තිය අද රටේ සංවර්ධනය වෙනුවෙන් යෙදවී තිබීම මෙරට අනාගතය පිළිබඳ සුබදායී මං සළකුණක් වැන්න. එසේම ගැටුම් පැවති ප්‍රදේශවල කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය, වෙළඳාම වැනි ජීවන වෘත්තීන් යළිත් පිබිදෙමින් ඇත. එදා මෙන් නොව ධීවරයින්ට සිය කර්මාන්තය කර ගෙන යන්නට අවශ්‍ය පූර්ණ නිදහස, අවශ්‍ය ආම්පන්න, බෝට්ටු ආදිය රජය විසින් හැකි පමණ ලබා දී තිබේ.

එසේම කෘෂි කර්මාන්තය, වෙළඳාම වැනි කර්මාන්ත නංවාලීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම , යාපනය ආදී ප්‍රදේශයන්හි පදිංචි තරුණ තරුණියෝ ද අද පොලිස් සේවය, ආරක්ෂක අංශවලට බඳවා ගනිමින් තිබේ.

උතුරේත් , දකුණේත් ජීවිතවල පරතරයක් නොවන ආකාරයට සියල්ල හැඩ ගැසෙමින් තිබේ. අඩුපාඩු දුෂ්කරතා මධ්‍යයේ වුවද අද උතුරේ සහ නැගෙනහිර ජනතාව එකම කොඩියක් යටට රොද බැඳී සිටින්නේ සාමයේ මිහිරියාව යුද්ධයේ කටුක අත්දැකීමට වඩා ඔවුන් අත්දැකීමෙන්ම අත්විඳ ඇති බැවිනි.

‘ත්‍රස්තවාදයක් යුද්ධයෙන් පරාජය කළ නොහැකි ය’ යන ලෝක මතවාදය බිඳ දමන්නට ශ්‍රී ලංකාව සමත් විය. එහි ගෞරවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාට, රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමන්ට, ආරක්ෂක අංශ ප්‍රධානීන්ට මෙන්ම සමස්ත රණවිරුවන්ටද හිමිවිය යුතුය.

මාවිල්ආරු සොරොව්ව වසාදැමීමේ අවස්ථාවෙන් ඇරැඹී පැමිණි මානුෂීය මෙහෙයුම් මාවතේ ආරක්ෂක හමුදා කළ අපිරිමිත කැපකිරීම් මතින් සාමයේ විජයග්‍රහණය ලබන්නට අද අපිට හැකිව තිබේ. තිස්වසරක් තිස්සේ වැගුරුණුු ඒ ලේ කඳුළු මතින් නැඟී සිට උතුරත් , දකුණත් එකට අත්වැල් බැඳ දශක තුනක් පසුගාමී වූ උතුරේ සහ නැගෙනහිර සංවර්ධන වැඩපිළිවෙළ විජයග්‍රාහී මාවතක් කරා රැගෙන ගොස් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කරලීමේ සද්කාර්යයට උරදීම අද දවසේ ලාංකේය අපේ යුතුකමයි. ලොවක් හෙල්ලූ දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කළ දේශයක ජයග්‍රහණය සැබෑම විජයග්‍රහණයක් වන්නේ එවිටය. මේ එළඹ ඇත්තේ බිඳ වැටුන උතුර සහ නැඟෙනහිර නඟා සිටුවන කාලයයි. යුග පරිවර්තනීය සමයයි.

සටහන

ලක්ෂ්මන් හුළුගල්ලේ

අධ්‍යක්ෂ ජෙනරාල්

ජාතික ආරක්ෂාව පිළිබඳ

මාධ්‍ය මධ්‍යස්ථානය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා