2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව වර්ෂ 2600 ක් සපිරෙන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ඉතා ඉහළින් අනුස්මරණය කිරීමට සිරිලක් රජය මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර ඒ සඳහා දිවයින පුරා පාසල්, විහාරස්ථාන, ශාසනාරක්ෂක බලමණ්ඩල හා ධර්මායතන සියල්ලක්ම මනාව දැනුවත් කර ඇත. ඒ අනුව ඒ එක් එක් ආයතන විසින් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සිදු කළ යුතු වත් පිළිවෙත් හා කාර්ය භාරය ඉතා පැහැදිලි ය.

සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලොව පහළව ලෝකයාට දායාද කළ ශ්‍රී සම්බුදු සසුනේ ශාසනික සෙවන ලබමින් මුළු ලොවම දිනා නිවී සැනසී ගිය උතුමන් ගණනින් අතිවිශාලය. අදටත් නිර්මලව පවතින එම සම්බුදු සසුනින් මතුවටත් එබඳුම වූ අෂ්ටාර්ය පුග්ගල මහා සංඝරත්නය ලොව පහළවනු ඒකාන්තය. එම මගඵල ලාභී උතුමන් රාග ගිනි, ද්වේශගිනි, මෝහගිනි නිවාදමා නිවනින් සැනසෙති. ලෝ වැසියන්ගේ ඇවිලෙන මහගිනි නිවීමට මහා ශාන්තියක්, ආශිර්වාදයක් ලෝකයට පතුරවති. ලොවට සෙත උදාවන්නේ එකී ශාන්තියෙනි.

එබැවින් ඒ මහා සම්බුදු අසිරියට වර්ෂ 2600 ක් සපිරෙන අවස්ථාවේදී එම ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මහත් හරසරින් සැමරීම සිරිලක් වාසී සියලු බොදුනුවන් විසින් අනිවාර්යයෙන් සිදු කළ යුතු බුද්ධෝපහාරයකි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි උපරිම ගෞරව උපහාරයක් වේද එය මෙම අවස්ථාවේදී සිදු කිරීමට ලංකා වාසී සියලු බෞද්ධ ජනතාව විසින් අවස්ථාවක් කරගත යුතුය. බුදුපියාණන් වහන්සේට කරන උසස්ම ගෞරව උපහාරය නම් බුදුරදුන් දේශිත ශ්‍රී සද්ධර්මය නුවණින් අවබෝධ කරගෙන ඒ ධර්මය තුළින් බුදුන් දැක හඳුනාගෙන මාර්ගඵලාවබෝධයෙන් උතුම් නිවන් සලසා ගැනීමයි. ඒ සඳහා නිවන් මග වැඩීමයි. පිළිවෙත් පිරීමයි.

ඒ අනුව බුදු සසුන ලොව දස දෙස පතුරවමින්, ශ්‍රී සද්ධර්මාලෝකයෙන් තුන් ලොවක් එලිය කළ සම්බුදු පියාණන් වහන්සේට 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේදී දැක්විය යුතු උපරිම ගෞරව පූජෝපහාරය වන්නේ බාහිර වත් පිළිවෙතින් පමණක් නොව ශාසනික පිළිවෙත හෙවත් බෞද්ධ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීමට “පිළිවෙතින් පෙළගැසීමයි”

ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම බුදුරදුන් අනුමත කළ ශ්‍රේෂ්ඨ බුද්ධෝපහාරයයි. මෙහි ප්‍රතිපත්ති පූජාව නම් නිර්වාණාවබෝධය සඳහා වන ශාසනික පිළිවෙත හෙවත් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ග ප්‍රතිපදාවයි. එබැවින් නිවන් පිණිස බුදුරදුන් දෙසූ නියම ආර්ය මාර්ගය සිරිලක් බොදුනුවන්ට දැන් සිටම ක්‍රමයෙන් එළිපෙහෙළි කරදීම වර්තමාන ශාසනික විද්‍යාර්ථීන්ගේ යුතුකම හා වගකීම වන්නේය. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් “පිළිවෙතින් පෙළගැසීමට” හැකියාව ලැබෙන්නේ එම ආර්ය පිළිවෙත හඳුනාගැනීමට අවස්ථාව සැලසීම තුළිනි.

ආර්ය ප්‍රතිපත්ති මාර්ගය පිළිබඳව මහා වත්තාරියක සූත්‍රයෙන් දීර්ඝලෙස කරුණු පැහැදිලි කරන බුදු පියාණන් වහන්සේ “ආර්ය අෂ්ඨාංගික මාර්ගය” යන නමින් ලෝකයේ භාවිතා වන ද්විවිධ මාර්ගයක් ඇති බව පෙන්වා තිබීම නිසා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේදී බුදුන් පිදීම සඳහා “පිළිවෙතින් පෙළගැසීමට” අප තෝරාගත යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගය මෙහිදී පළමුව හඳුනාගත යුතුය.

එම ද්විවිධ වූ ආර්ය මාර්ගය මෙසේය.

(1) ලෞකික වූ කෙලෙස් සහිත සසර ගමනේ සුගතියට හේතුවන අෂ්ඨාංගික මාර්ග පිළිවෙත

(2) ආර්ය වූ කෙලෙස් රහිත ලෝකෝත්තර වූ නිවනට හේතුවන අෂ්ඨාංගික මාර්ග පිළිවෙත

මෙහි ප්‍රථමයෙන් දැක්වූ ලෞකික වූ අෂ්ඨාංගික මාර්ග ප්‍රතිපදාව යනු අමුත්තක් නොව නිවන් මග ලෙස අදටත් සැවොම පිළිගෙන භාවිතා කරනු ලබන, එසේම අබුද්ධෝත්පාද කාලවලදී පවා දක්නට ලැබෙන අෂ්ඨාංගික මාර්ගයයි. මෙහිදී සම්මා දිට්ඨියෙන් පටන් ගෙන සම්මා සමාධිය දක්වා වු පියවරවල් අටක් දක්නට ලැබෙතත් එය ලෞකික ප්‍රතිපදාවක් වන නිසා කෙතරම් වැඩුවත් එමගින් නිවන් නොලැබේ. අද සැබෑ නිවන් මග ලෙස විද්‍යාමාන වී ඇත්තේ මෙම ලෞකික අෂ්ඨාංගික මාර්ගයයි. මෙසේ සැබෑ බොදු පිළිවෙත අද සැඟවගොස් ඇති නිසා නිවන් මග ලෙස අද අනුගමනය කරන්නේ කිසිදාක නිවන් නොලැබෙන මෙම ලෞකික මාර්ගයයි.

මෙහි සම්මා දිට්ඨිය නම් ලෞකික සම්මා දිට්ඨියයි. එනම් දස වස්ථුක සම්මා දිට්ඨිය හෙවත් කම්මස්සකතා සම්මා දිට්ඨියත්, ධ්‍යාන සම්මා දිට්ඨියත්ය. මෙම ලෞකික මාර්ගයේ අවසාන පියවර වන්නේ ලෞකික සම්මා සමාධියයි. එමගින් ලෞකික වූ ප්‍රථම ධ්‍යානය, දුතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය හා චතුර්ථ ධ්‍යානය ලැබේ. කෙලෙස් සහිත බැවින් සසර ගමන අවසන් නොවෙතත් එමගින් සුගතිය පමනක් ලබාගත හැකිය. ලෞකික වැඩ පිළිවෙලක් බැවින් ඉන් නිවන් නොලැබේ.

මෙම ලෞකික අෂ්ඨාංගික මාර්ගය පූර්ණය කිරීමේ ප්‍රතිඵලය වශයෙන් ලෞකික වූ සම්මා ඥාණ හා සම්මා විමුක්ති ලැබේ. කිසිම ආකාරයකින් මෙය නිවනට හෝ නිවන්මගට හෝ පමුණුවන්නක් නොවන නිසා අනාථ සසර ගමනින් මිදීමක් නොවන බැවින් බුදුන් පිදීමට පෙළගැසිය යුතු උතුම් පිළිවෙත මෙය නොවේ. එහෙත් බුදුන් පුදන නියම පිළිවෙත ලෙස මෙකී මාර්ග ප්‍රතිපදාව අද විද්‍යාමාන වී ඇත්තේ සැබෑ නිවන් මග දන්නා ආර්ය පුද්ගලයන්ගේ දුර්ලභත්වය නිසාවෙනි. සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට පෙළගැසිය යුතු නියම මග පිළිවෙත මහා චත්තාරිසක සූත්‍රයෙන් මෙසේ නැවත විවෘත වේ.

අබුද්ධෝත්පාද කාල වලදී දක්නට නොලැබෙන, බුද්ධ ශාසනයේ පමණක් දක්නට ලැබෙන්නා වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයක් වේ. එබැවින් එය ආර්ය වූ කෙලෙස් රහිත නිවනට හේතුවන ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙහිද සම්මා දිට්ඨියෙන් පටන් ගෙන සම්මා සමාධිය දක්වා වූ පියවර අටක් දක්නට ලැබේ. එහෙත් එය ආර්ය වූ ලෝකෝත්තර ප්‍රතිපදාවක්වන නිසා එමගින් නිවන් ලැබේ. අද මෙම නිවන් දකින සැබෑ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යටපත් වී ඒ වෙනුවට පෙරකී ලෞකික අෂ්ඨාංගික මාර්ගය නිවන් මගසේ විද්‍යාමානව පවතී.

මෙම නිවන් දකින ලෝකෝත්තර වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එන සම්මා දිට්ඨිය නම් ආර්ය සම්මා දිට්ඨියයි. මේ යටතේ ඤාණ සම්මා දිට්ඨිය හෙවත් චතුසච්ච සම්මා දිට්ඨියද, මාර්ග සම්මා දිට්ඨියද, ඵල සම්මා දිට්ඨිය ද ගැනේ.

මෙසේ “ආර්ය අෂ්ඨාංගික මාර්ග ප්‍රතිපදාව“ යන එකම නමින්ම ලෝවාසීන් විසින් හඳුන්වන

(1) ලෞකික අෂ්ඨාංගික මාර්ගයකුත් (කෙලෙස් සහිත, සසර ගමනේ සුගතියට හේතුවේ)

(2) ආර්ය අෂ්ඨාංගික මාර්ගයකුත් (ආර්ය වූ, කෙලෙස් රහිත, නිවනට හේතුවේ)

වශයෙන් ද්විවිධ අෂ්ඨාංගික මාර්ගයක් ඇති බව පළමුව තේරුම් ගත යුතුය. මෙම දෙයාකාර පිළිවෙත් වල ඇති වෙනස “සම්මා දිට්ඨිය” නම් වූ පළමු මාර්ගාංගය මගින් මෙහිදී පැහැදිලි කරන අතර ඉතිරි මාර්ගාංගයන් හි පවත්නා එම වෙනසද එමගින් ඒ ආකාරයටම පැහැදිලි කර ගත යුතු වේ.

ලෞකික සම්මා දිට්ඨියේදී යමෙකු දස වස්තුක මිත්‍යා දෘෂ්ඨියෙන් වෙන්වී කර්ම විපාක පිළිබඳව විශ්වාසීව කටයුතු කරන්නේත් ධ්‍යාන සුවය අපේක්ෂාවෙන් කටයුතු කරන්නේත් ලෝකය පිළිබඳ යථාර්ථය දැකීමෙන් නොවන අතර තමාගේ වෙනත් අවශ්‍යතාවයන් නිසාය. අපා ගතවීමට ඇති බිය නිසා හෝ දුක් විඳීමට ඇති අකැමැත්ත නිසා හෝ සැප විඳීමට ඇති ආශාව නිසා හෝ තමාට වාසිදායකැයි හැඟෙන වෙනත් කරුණක් නිසා හෝ ලෝක සත්වයෝ එසේ සම්මා දිට්ඨික වෙති.

ඉතිරි කොටස ලබන සතියේ

පොල්ගහවෙල දෙණගමුව ශ්‍රී රේවත දහම් පාසලේ
ආචාර්ය ධර්මාචාර්ය ඩබ්. ඒ. ආර්. ඩී. වික්‍රමසිංහ
බුද්ධධර්ම ඩිප්ලෝමා
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා