බෞද්ධ අර්ථ ක්‍රමය මිනිස් සිතේ නිවීමේ බිහිදොරයි!

බෞද්ධ අර්ථ ක්‍රමය මිනිස් සිතේ නිවීමේ බිහිදොරයි!

2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරනු වස් පිළිවෙතින් පෙළ ගැසුණු දේශයක බෞද්ධ ප්‍රජාවට සමගාමීව ලෝක බෞද්ධ ජනතාවද බෞද්ධ දර්ශනය කෙරෙහි මනා සංව්දීතාවයකින් යුතුව අවධියෙන් සිටින කාලයක ඔබැ සිත් සදහම් ආලෝකයෙන් ආලෝකමත් කොට ප්‍රඥාව තෙක් විහිදුවාලන සදහම් කතිකාවතකට සුදුසුම කාලය මේ යයි හැඟීමි.

බුද්ධ භාෂිත ශ්‍රී සද්ධර්මය කිසිමවිට බෞද්ධයිනට පමණක් සීමා වූ දර්ශනයක් නොවන අතර එය ලෝකවාසී සමස්ත මිනිස් ප්‍රජාවගේම උන්නතියට, සැනසීමට හා නිවීමට සෘජුවම බලපාන සංකල්ප ප්‍රතිපත්ති පරාසයකින් සම්ප්‍රයුක්තව පවතී.

අභ්‍යාවකාශ තරණය, ග්‍රහලෝක තරණය හා වෙන වෙනත් සංවේදී භෞතික ලක්ෂණයන් සොයමින් නිරන්තර බුද්ධි අරගලයක නියුක්තව සිටින අපරදිග බටහිර ජාතීන් කිසිදිනෙක නොසංසිදෙන ආසාවන්ගෙන් අතෘප්තිමවත්ව එනිසාම මානසික සුව ලැබීමට ක්‍රමෝපායන් සඳහා බුදුදහමෙහි අභ්‍යන්තරික හර පද්ධතීන් වෙත සමීප වෙන බවක් පැහැදිලිවම පෙනේනනට ඇත.

ඒ අතරතුර භෞතික ශක්තීන් අභිභවා ගිය මානසික නිවීමකට අත පෙවූ පෙරදිග ජාතීන් ඒ තුළින් නිවීම තුළ භෞතික ශක්ති විශේෂයන් පවා මනාව පසෙක් කොට ගැනීමේ භාග්‍යය ලබා ගැනීමට සමත් වූහ.

එහි අග්‍රඵලය වූවේ භාරතයේ උපන් සිද්ධාර්ථ කුමරු ස්වීය චිත්ත දියුණුව තුළින් සම්මා සම්බුද්ධත්වයට පැමිණ මුළු විශ්වයම අතැඹුලක් සේ අවබෝධ කරගෙන ලෝක සත්ත්වයිනට ලෝකයෙන් එතෙරව ශාන්තිය පසෙක් කර ගැනීමේ මාර්ගය විවර කර මහා චින්තන විප්ලපයක් කිරීමට සමත්වීමය. එබැවින් වර්තමානය තුළ ලෝකය හමුවේ ඇති සමාජයීය ප්‍රශ්න, සාමයික ප්‍රශ්න, මෙන්ම ආර්ථික ප්‍රශ්න පිළිබඳව බෞද්ධ දර්ශනාත්මක දෘෂ්ඨි කෝණයකින් විමර්ශනානුකූලව බැලීමට මෙම ලිපියෙන් යම් තරමක හෝ උත්සාහයක් දරමි.

ගෞතම බුදුපියාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කරනු ලැබූ ශ්‍රී සද්ධර්මය උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු පැවැත් වූ ප්‍රථම ධර්ම සංඝයනාවේදී සූත්‍ර, විනය අභිධර්ම යනුවෙන් ත්‍රිපිටකය සංග්‍රහ කරන ලදී. අසූහාර දහසක් වූ ධර්මස්කන්ධයෝ එසේ ත්‍රිපිටකයට සංග්‍රහ කිරීමේදී ඉන් හතළිස් දෙදහසක් ධර්මස්කන්ධයෝ අභිධර්ම පිටකයටද, ශේෂය සම කොටස් දෙකකට බෙදා සූත්‍ර හා විනය යන දෙපිටකයට විසිඑක් දහස පමණ බැගින් ධර්මස්කන්ධයෝ ඇතුළත් කරන ලදී. ඒ ධර්මතා තුළින් මිනිසාගේ ලෝකෝත්තර සැනසීමත් භෞතික වූ ලෞකික ජීවන රටාව පිළිබඳවත් මනා ලෙස විමර්ශනය කොට ඇත.

සජීවී මිනිසාගේ භෞතික අර්ථක්‍රම පිළිබඳව සෘජු ධර්ම කාරණාවන් ඒ තුළ සංග්‍රහ නොවුණද, ඒ හා සම්බන්ධව විවිධ සාධනීය කරුණු රාශියක්ම සූත්‍ර පිටකයට අයත් සූත්‍රවල අන්තර්ගතව ඇත. අංගුත්තර නිකායේ අනණ සූත්‍රය, ඉණ සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, ඉටීඨ ධම්මසූත්‍රය, අප්පසාදප්පසාද සූත්‍රය, පටිසාරණීය කම්ම සූත්‍රය හා සිඟාලෝවාද සූත්‍රය යන සූත්‍ර දේශනා විභේදනය කර බැලීමේදී බෞද්ධ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් ලබාගත හැකිය.

අනණ සූත්‍රයේ සඳහන් වන පරිදි සමබර ආර්ථිකයක් තුළින් සතුටින් ජීවත්වීමට අවශ්‍ය සුඛ වර්ගයෝ හතරක් පිළිබඳව සඳහන් කර ඇත. අත්ථි සුඛය, භෝග සුඛය, අනණ සුඛය හා අනවජ්ජ සුඛය යනු ඒ සිවු ධර්මතාවෝය. අත්ථි සුඛය නම් උත්සාහයෙන්, ශක්තියෙන් හා නිරවද්‍යතාවයෙන් යුක්තව ඉපයූ ධනය ඇතැයි සිතා සතුටුවීමය.

භෝග සුඛය නම් එසේ විර්යයෙන් යුක්තව උපයා සපයා ගත් දෙය පුණ්‍ය කර්මයන් සඳහා ප්‍රදානය කිරීමෙන් ලැබෙන සුවයයි. අනණ සුඛ යනු අල්ප, මධ්‍ය හා අනල්ප කිසිම ආකාරයකින් කිසිවෙකු හට හෝ කිසිම ණයක් නැත්තේය යන සංකල්පනාව හේතුවෙන් උපදින සතුටයි. අනවජ්ජ වූ කාය, වවී හා මනෝ කර්මයන්ගෙන් ස්වායත්තවීමී නිසා ඇතිවන සතුට අනවජ්ජ සුඛය නම් වේ.

මිනිස් ප්‍රජාවට සමබර ජීවිතයක් සඳහා මංපෙත් විවර වී තිබේ නම් ඒ සඳහා අවශ්‍ය භෞතික සම්පත් තිබිය යුතුමය. එය කාමභෝගීී මිනිසාට සතුට හා සැනසීම ගෙන දෙන්නකි. එසේම පෘථග්ජන පුද්ගලයන්ට දිළිඳු බව හා ණය ගැනීමට සිදුවීමද දුකක් බව ඉණ සූත්‍රයේ දක්වා ඇත. එසේම ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දක්වා ඇති ආකාරයට උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණමිත්තතා හා සමජ්විකථා යන කරුණු පිළිබඳව බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ විවරණාත්මක සංකල්ප සංවේදීව අධ්‍යයනය කොට, බෞද්ධ අර්ථ ක්‍රමයේ ගැබ්ව ඇති කාරණා තම තමන්ගේ ජීවිතවලට බද්ධ කර ගැනීමෙන් ලෞකික දිවියේ සමතුලිතතාවයත් එමගින් භෞතික ජීවිතය අර්ථවත් කරගෙන ලෞකික ජීවිතයද ධනාත්මක කරගත හැකි ආකාරයත් මනාකොට පසෙක් කරගත හැකිය.

කෙනෙකුගේ ජීවන චක්‍රය හා තදින්ම බැඳි පවත්නා වෘත්තීය කටයුතු, පාලනමය කටයුතු මෙන්ම සමාජීය හා රාජ්‍ය වගකීම් යනාදිය ඉටුකිරීමේදී ඒ සියල්ල උත්සාහයෙන් යුතුව අනලස්ව ඉෂ්ඨ සිද්ධ කිරීම උට්ඨාන සම්පදා නම් වේ. ගිනි බිය, සොර බිය හා පාරිසරික බිය වැනි අනපේක්ෂිත භෞතික ව්‍යසනයන්ගෙන් ආරක්ෂාවීම ආරක්ඛ සම්පදා නම් වේ. කල්‍යාණමිත්තතාව යනු ශීල ත්‍යාග, ප්‍රඥා හා සද්ධා යන ගුණාංගයන්ගෙන් පිරිපුන් පිරිසක් ඇසුරු කිරීමෙන් ඇතිවෙන තෘප්තිමත් බවය. පවත්වා ගෙන යනු ලබන සමබර ජීවන අය-වැයක් සමඟින් නොසැලෙන හා නොසැලුණු දිවි පෙවතකට භාග්‍යය උරුම කර ගැනීම සමජීවිකථාවය ලෙස අර්ථ ගැන්විය හැක.

අංගුත්තර නිකායේ පත්ත කම්ම සූත්‍රයේ බුදුපියාණන් වහන්සේ දේශනා කොට ඇති දුර්ලභ කාරණා සතරක් පිළිබඳව අපි දැන් අවධානය යොමු කරමු. ධාර්මිකව ධනය රැස් කිරීම, ඥාතීන් හා පිරිවර අමතක නොකිරීම, දීර්ඝායුෂ භුක්ති විඳීම හා මරණින් පසු සුගතියේ ඉපදීම එම කරුණු වේ. මෙහි පළමු කරුණින් ගම්‍ය වනුයේ අධාර්මිකව ධනය රැස් කරන්නෝ විනාශ වෙන බවය.

දෙවන කරුණින් සපත කරනුයේ ඥාතීන්ට සංග්‍රහ කිරීම, ආගන්තුකයින්ට සංග්‍රහ කිරීම, රාජ්‍ය ගෙවීම් සිදු කිරීම හා දෙවියන්ට පින් දීම අප විසින් සිදුකළ යුතුª බවය. තෙවන කරුණින් පවසනුයේ ධනය නිසාවෙන් හෝ මත්පැන් සුරා සූදු නිසාවෙන් හෝ ආයුෂ කෙටි නො කරගෙන ධාර්මික ජීවිතයක් තුළින් ආයු වින්දනයට මංපෙත් විවර කරගත යුතු බවය.

සිව්වන කරුණින් කියැවෙනුවේ යහපත් ජීවිත රටාවක් තුළින් මරණින් මතු සුගතගාමී වීමට පරිසරය සකස් කරගත යුතු බවය.

ඉහත කියැවුණු කරුණු තුළින් ඔබ ඔබේ ජීවිත ආලෝක කර ගන්නේ නම් එය ලෝ්කයම ආලෝක වීමට හේතුවන බව ඔබටම පසෙක් වෙනු බව ඒකාන්තමය. උපයා සපයා ගත් ධනය මනා කළමනාකරණයකින් යුතුව පාලනය කිරීමෙන් සමබර ආර්ථික රටාවක් ඇති කර ගනිමින් සැනසිලිදායක ජීවිතයක් ගතකරන අයුරු සිඟාලෝවාද සූත්‍රයෙන් අපූරුවට විග්‍රහ කොට ඇත. ලැබූ ධනයෙන් එක් කොටසක් පරිභෝජනය සඳහා ද දෙකොටසක් කර්මාන්ත වෙළ හෙළදාම් මෙන්ම කෘෂි කටයුතු සඳහා ශේෂ වූ කොටස ලෙඩ දුක් ආදී අත්‍යවශ්‍ය අවස්ථාවලදී ගැනීම සඳහා නිදන් කොට තැබීමටද වර්තමානයේ නම් බැංකු ගත කිරීම් ආදී කටයුතු වලද යෙදවීම පිණිස කොටස් හතරකට බෙදා වෙන් කරගත යුතු බව පෙන්වා දී ඇත. වර්තමානයේ බටහිර ඇත්තන් මහා ඉහළින් පිළිගනු ලබන එස් 5 සංකල්ප වැනි න්‍යායයින් එදා බුදුහිමි මීට වසර 2500 කටත් ප්‍රථම දේශනා කර ඇති අයුරු මා පෙර කී සූත්‍ර දේශනා විග්‍රහ කොට බැලීමෙන් වටහා ගත හැකිය.

අද ලෝකයේ බොහෝ රටවල දැවෙන ප්‍රශ්නයක්ව පවතින උග්‍ර ආර්ථික ගැටලු සේම දිළිඳුකම පිටුදැකීම සඳහා බෞද්ධ සාහිත්‍යයේ එන මෙම සාධනීය ආර්ථික විවරණයන් අප ප්‍රයෝජනයට ගන්නේ නම් එයම ඒවා පරාජය කළ හැකි මූලාශ්‍රයයන් වන්නේමය. අතෘප්තිකර ආසාවන්ගෙන් පෙළෙන මනුෂ්‍යයින් කොතෙක් තිබුණත් සන්තුෂ්ටියට පත්වන්නේ නැත. එසේ නම් ලද පමණින් සතුටු වී සිඟාලෝවාද සූත්‍රයෙන් ප්‍රකාශිත ධනාත්මක අර්ථ ක්‍රමයට අනුව ජීවිත සකස් කර ගන්නේ නම් එලොව මෙලොව දොළොවම සැනසීමට එයින් හැකිවනු ඇත. ගැටලු ඇත්තේ පරිසරයේ නොව ඔබේ සිත් තුළය. එබැවින් ඔබ ඔබේ සිත නිසි පරිදි පාලනය කර ගන්නේ නම් එතැන අසහනය හෝ අසතුට ඇතිවීමට හේතුවක් නොමැත.

සැමවිටම “නැත” යන සෘණ සංකල්පයේ නොසිට “ඇත” යන හැඟීමෙන් ධාර්මිකව කටයුතු කරන්නේ නම් ඔබ දුකට පත්වීමට ඇති අවස්ථා බොහෝ දුරට මඟහැරී යනු ඇත. අප අපේ කටයුතු අන්‍යයන්ට කරදරයක් හෝ බාධාවක් නොවන පරිදි කිරීමට උත්සාහවන්ත විය යුතුය. සමනලයකු මලට කිසිම හානියක් නොකර රොන් රස විඳින්නාක් සේ අපි සජීවී හෝ අජීවී වස්තුවකින් තෘප්තිමත් විය යුත්තේ ඒ කිසිවකට හෝ හානියක් හිරිහැරයක් නොවන ආකාරයෙනි. එහි ප්‍රතිඵලය වනුයේ දෙපාර්ශ්වයම සැනසීමට පත්වීමය. මේ ධර්මතාවය යමෙක් පසෙක් කර ගනු ලැබුවේ නම් ඒ ඇත්තන් නිවසන පරිසරය ආර්ථික හෝ සමාජීය වශයෙන් අගතියට පත් නොවේ පිළිවෙතින් පෙළ ගැසෙන 2600 වැනි මේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති යුගයේදී අපි ඒ බැව් මනාව පසෙක් කර ගනිමු.

ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි
ලංකා බැංකු මූලස්ථානය, කොළඹ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා