රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත 158

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත 158

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න.

නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

නිවන්සුව විඳිමි මම දැන් සැනසිල්ලේ

‘ඔය ළමයි යන්න ඉස්සරහට - ගිහිල්ල වැඳල පිළිගන්න. අපට බැහැ සිද්ධාර්ථට වඳීන්න. බුදු වුනත් එයා අපට වඩා වයසින් බාලයි.”

මහලු ශාක්‍යයෙක් කීය.

ළමයි පාර අද්දරට ගියහ. දෙපස පෙළ ගැසුණහ.

වැඩිහිටියෝ ඈතට වී බලා සිටියහ.

බුදු රජාණන් වහන්සේ භිකෂූන් දහස් ගණනක් පිරිවරාගෙන කිඹුල්වතට වඩිති. ළමා තොල්වලින් සාදු සාදු හඬ නැඟිණ. ශාක්‍ය රජ පවුලට අයත් සියලු දෙනා එක් තැනකට වී ඈත වඩින බුදු රජාණන්වහන්සේ සහ මහ සඟරුවන දෙස බලා සිටියහ.

ශාක්‍යයන් ගේ සිතෙහි උපන් මානය බුදු හිමියනට පෙනිණ. උන්වහන්සේ ඔවුන්ට යමා මහ පෙළහර දැක්වූහ. බුදු සිරුරෙන් දියත්, ගිනිත් නැඟෙයි. නැඟෙන, වැටෙන අත මාරුවෙයි. විශ්මයෙන් යුතුව ඒ දෙස බලා සිටි ශාක්‍යයන්ට ඉන් අනතුරුව සතර අපායේ දුක්විඳින සත්ත්වයන් දක්නට ලැබේ. ඉන් පසු ඔවුන්ට පෙනුනේ ගුවනේ මැවූ සක්මනක බුදුහිමි වැඩම කරන අයුරු ය. බුදු හිමියෝ ගුවනේ සිට දහම් දෙසූහ.

වැඩිහිටි ශාක්‍යයෝ මානය ඉවතලා බිම වැටී වැලි පොළවේ නළල තබා බුදු රජාණන්වහන්සේට නමස්කාර කළහ.

මේ අසිරිමත් සිදුවීම් බලා සිටි ශාක්‍ය කුමරුවෝ පිරිසක් “අපටත් ඔබවහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වීමට අවශ්‍යයි” කියමින් පැවිදි වූහ. ඒ පිරිස අතර ශාක්‍ය රජ කුමරකු වූ උසභ ද විය.

පැවිදි බිමට පත් උසභට මහණදම් පිරීමේ වුවමනාවක් නොතිබිණ. තරුණ භික්ෂුන් අතරට වී ගිහි කල ගෙවූ ජීවිතයේ තොරතුරු කතා බහ කිරීමෙන් උසභ හිමියෝ මහත් සතුටක් ලැබූහ. දානය වැළඳීමටත් නෑමටත් කතා බහේ යෙදීමටත් කාලය ගෙවූ උන්වහන්සේ අනෙක් කාලය මුළුමනින්ම ගත කළේ නින්දට ය.

“ඔබ සිවුරු දමා ගත්තේ නිදන්නට දැ” යි හිමි නමක් ඇසීය.

පිළිතුරු නොදුන් උසභ හිමි පෙරළා මෙසේ ඇසීය.

“ඔබ සිවුරු දමා ගත්තේ?”

“මා සසර දුකෙන් මිදීම සඳහා සිවුරු දමා ගත්තේ. මා මහණ දම් පුරනවා. ධර්මය හදාරනවා. ඊළඟ වස් කාලයේ මා කමටහන් ලබාගෙන වනාන්තරයට ගොස් විදසුන් වඩනවා. ඔබ?”

“මා ඒ කිසිවක් කරන්නේ නැහැ. සසර දුකෙන් මිදීමේ අරමුණක් පැවිදිවන විට මට තිබුණේ නැහැ.”

“ඔබ පැවිදිවුණේ බුදු හාමුදුරුවන්ගේ යමා මහ පෙළහර දැකලා. මා එය දන්නවා. හොඳයි ඊට පසු ඔබ බුදු රජාණන්වහන්සේ ගේ බණ ඇසුවා. වාර කීපයක් ම ඔබ බණ ඇසුවා. ඒ නිසා ඔබට සසර ජය ගැනීමේ වුවමනාවක් ඇතිවුණේ නැද්ද?”

උසභ හිමියෝ නිශ්ශබ්ද වූහ.

පුරුදු නින්දත්, කයිවාරුවත් අඩු නොකළ උන්වහන්සේ එදා ද සැතපෙන්නට කුටියට වැඩියහ. විවිධ සිතිවිලි ගලා ආයේ ය. ගිහි ජීවිතයේ නැටුම්, වැයුම්, කාන්තාවන් සමග හැසිරීම් ඔහුගේ සිතේ මැවින. සිත මහත් නොසන්සුන්තාවයක පැවතෙද්දී දෑස පියවිණ.

උතුරු සළුවක් මෙන් අඹ දළු පැහැති, සිවුරක් කරෙහි දමා ගෙන, ඇතකු පිට නැගී උසභ හිමියෝ නුවර මහ වීදිය දිගේ ගමන් කළහ. මග දෙපස මිනිස්සු කෑ ගසමින් ඇතා අසලට ආහ. ඔවුන් දුටු උසභ හිමියන්ට මහත් ලැජ්ජාවක් ඇතිවිය. උන්වහන්සේ වහාම ඇතුපිටින් බිමට බැස්සහ.

උසභ හිමියන්ගේ ඇස් ඇරිණ.

මා දුටුවේ විකාර සිහිනයක්. මා නිදාගත්තේ මුලා වූ සිහියෙන්. මිනිසුන් මැද මා ලජ්ජාවට පත්වුණා. එසේ සිත අවුල් - නොසන්සුන්, මා මෙබඳු පැවිදි ජීවිතයක් ගත කරන්නේ ඇයි? බුදු රජාණන් වහන්සේ දෙසූ දහම් සිහිවිය. වහාම විදසුනෙහි සිහිය පිහිටුවා ගත්හ. නොබෝ වේලාවකින් රහත් බව ලැබූහ.

හරි මග දැකීමට උන්වහන්සේට උදව් වූයේ ඒ සිහිනයයි. එය ප්‍රකාශයට පත් කරමින් උසභ රහතන් වහන්සේ සිය උදානය මෙසේ පළ කළහ.

“පොරවාගෙන අඹ දළු පැහැ ඇති සිවුරක්
ඇතු පිට නැඟ යනවිට නුවර වීදියේ
මිනිස් කැලට මැදි වූයෙමි ලජ්ජාවෙන්
පිරුණා සිත වහා ඇතුපිටින් බැස්සෙමි.
මා දුටුවේ සිහිනයකි, අහංකාරය
තිබුණා පිරී සිත තුළ රජ කුලේ නිසා
හීලෑ කළෙමි සිත ආසවයන් නැසුවා
නිවන් සුව විඳිමි මම දැන් සැනසිල්ලේ - “

දෙනගම සිරිවර්ධන

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා