පින් ලබන ඥාතීන්

පින් ලබන ඥාතීන්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසීමිත කාලාන්තරයක් දස පාරමිතා ධර්මයෙන් පුරන ලද සේක්, ලෝක සත්ත්වයා සාංසාරික දුකින් එතෙර කරවීමට පමණක් නොව, සසර ගමනේ දී උපදින, උපදින ආත්ම භාවයක් පාසා ම, ඔහුට හෝ ඇයට සහනශීලී සැපවත් ජීවිතයක් ගත කරනු සඳහා අවස්ථාවන් සලසා දීම පිණිසත් ය. සැපවත් ජීවිතයක් ගතකරන පුද්ගලයාට සහනශීලී බවත් තිබෙන නිසා හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව ලැබෙන්නේ ය. එමගින් ඔහුගේ හෝ ඇයගේ බුද්ධිමත් බව ද, වඩ වඩාත් පැහැපත් කරගත හැකි ය.

ඒ තත්ත්වයට පත් වූ පුද්ගලයා පාපයට බර නො වන්නේ ය. කුසලයට - ගුණයට නැඹුරු වන්නේ ය. එහෙයින් ම ගුණය – ගුණය වශයෙන් ම කුසලය - කුසලය වශයෙන් ම, මසැසින් පමණක් නොව නුවණැසින් ද මනා ලෙස දකින්නේ ය. කළ යුතු දේ කුමක් ද? නො කළ යුතු දේ කුමක් ද? යන්න තේරුම් බේරුම් කොට ගෙන නොකළ යුතු දෙයින් වැළකී, කළ යුතු දෙය ම කරන්නේ ය. බුදුරදුන් වදාරන ලද මාර්ගයත් එය මැ යි.

බුද්ධෝහං බෝධයිස්සාමි – මුත්තෝහං මෝචයේ පරේ

තිණ්ණෝහං තාරයිස්සාමි - සංසාරෝඝා මහබ්භයා

“මම ධර්මය නිසිපරිදි අවබෝධ කොට ලෝකයාට ද ඒ ධර්මය නිසි පරිදි අවබෝධ කරවන්නෙමි. මම නැවත නැවත උපත ඇති කරවන ලෝභය, ද්වේශය, මෝහය මුල් කොට පහළ වන පාපකාරී සිතිවිලිවලින් නිදහස් ව, ලෝක සත්ත්වයා ද ඒ පාපකාරී සිතිවිලිවලින් මුදා ගන්නෙමි. නැවත - නැවත උපත ඇති කරවන ගති පැවතුම් වලින් වැළකී ලෝක සත්ත්වයා අතිභයානක වූ සංසාර නමැති සාගරයෙන් එතෙර කරවන්නෙමි.” යන ඉහත සඳහන් ගාථාවෙන් දැක්වෙන සම්‍යක් අධිෂ්ඨානයෙන් යුතුවම ගුණනුවණ වැඩූ සේක.

බුදු බවට පත්වීමෙන් පසුව ද ලෝකයාගේ පරලොව පමණක් නොව - එනම්, මතුභවයන් ගැන පමණක් නොව මෙලොව යහපතට ද හේතුවන අයුරින් ම ධර්ම දේශනා කළ සේක. තමන් වහන්සේගේ උත්තරීතර පැවැත්ම ද අන් අයට ආදර්ශවත් වන අයුරින් ම ගත කළ සේක. ඒ ධර්ම ගත කරුණු අනුව බලන විට භාග්‍යවතුන් වහන්සේ මියගිය තම ඥාතීන් වෙනුවෙන් ද කුසලයන් කොට පින් දියයුතු ආකාරය පැහැදිලිව ම වදාරා ඇත.

මිය ගිය ඥාතීන්ට පින් දීමෙන් කරුණු කිහිපයක් ඉටුවේ. එනම්, ජීවත් වන පරපුරට ආදර්ශයක් වීම සහ තමන්ට මහත්ඵල මහානිසංස දායී පිනක් අත්වීම ය. දෙවැන්න - අප අතරින් මිය ගොස් දුක් සහිත ලෝක වල වෙසෙන ඥාතීන්ට සැපතක් සලසා දීමත් ඔවුන්ගේ පිහිට පින්දුන් අයට ලැබීමත් ය. මේ කරුණු දෙක පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කිරීමට පෙර මියගිය ඥාතීන්ට පින් දීම පිළිබඳව තථාගතයන් වහන්සේගේ වැදගත් දේශනාවක් - අනගිතම ධර්මානුකූල ඉගැන්වීමක් ප්‍රකාශයට පත්කිරීමට හේතුභූත වූ කාරණය පිළිබඳව අප විසින් පළමුව දැනගත යුතුය.

සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායයෙහි ප්‍රේත වත්ථු වර්ණනාවට අයත් උරග වර්ගයෙහි එන පස් වැනි තිරොකුඩ්ඩ සූත්‍ර ප්‍රේත වස්තු වර්‍ණනාව පිළිබඳව නිවැරදිව දැනගත යුතු ය. එය මියගිය ඥාතීන්ට පින්දීම පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී මුඛ දේශනාවක් වන බැවිනි. මෙතැන් සිට ඒ කතා ප්‍රවෘත්තිය පැහැදිලිව දක්වන බව සැලකිය යුතුය.

සුත්‍ර පිටකයේ ඛුද්දක නිකායයෙහි ප්‍රේත වත්ථු වර්ණනාවට අයත් උරග වර්ගයෙහි එන පස් වැනි තිරොකුඩ්ඩ සූත්‍ර ප්‍රේත වස්තු වර්ණාව පිළිබඳව නිවැරදිව දැනගත යුතුය. එය මියගිය ඥාතීන්ට පින්දීම පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී මුඛ දේශනාවක් වන බැවිනි. මෙතැන් සිට ඒ කතා ප්‍රවෘත්තිය පැහැදිලිව දක්වන බව සැලකිය යුතුය.

කාසි පුරය

මෙයින් පෙර, අනුදෙවැනි කල්පයෙහි දඹදිව අගනුවර බවට පත්වූයේ කාසි පුරයයි. එම නගරය දිගින් ගව් දෙතිසක් වූයේ ය. පළලින් ද ගව් දෙතිසක් විය. මේ අනුව ගව්වකට සැතපුම් සතරක් බැවින් සැතපුම් එකසිය විසි අටකි. පළලින් ද මේ මහා නගරය සැතපුම් එකසිය විසි අටක් ම විය. කුඩා රටක් හා සමාන විශාලත්වයකින් යුත් සුවිශාල ජම්බු ද්වීපයට අයත් මේ නගරයෙහි, රටේ ධනවත්, බලවත්, නැණවත්, පින් ඇති, බොහෝ දෙනා ජීවත් වූවෝ ය. මේ කාසි නගරයෙහි මහා මාර්ග - අනු මාර්ග එයිනුත් තවතවත් අතුරු මාර්ග කුඩා මං මාවත් හැට හැත්තෑ දහස් ගණනකට වැඩි ය. නගරය වටා කැරකී මහා සමුද්‍රය කරා ගලා බසින සුවිශාල කාසි මහා ගංගාවෙන් හා ඇළ, දොළ මගින් නගරය තුළ විහිදී ගිය ජල මාර්ග නිසා මෙනුවර අලංකාරවත් විය.

මනා ලෙස වැඩුණු ගස් කොළන්වලින් සෙවණ සපයා දීම ද නො අඩුව සිදුවිය. එදා පාරම්පරික චාරිත්‍රයක්ව පැවති, සෑම නිවසකටම අයත් වූ ගෙවතුවල එළවළු, පලතුරු, මල්වර්ග සහ ඖෂධීය භෝග වගාවන් සශ්‍රික බවට පත් වූයේ ද – කාසි මහ ගංඟාවෙන් පැතිර ගිය මේ ඇළ දොළ මාර්ගවලිනි. එනිසා නගර වාසීහු ප්‍රසන්න සිත් ඇත්තෝ ම වූහ.

ඔවුහු ඈත ගම් නියම් ගම්වලින් එන භවභෝග දෙස ම බලාගෙන නො සිටියහ. තම තමන්ගේ ගෙවතුවලින් ලද සම්පත් නිසා නිරෝගිතාවයත් - ශරීර සෞඛ්‍යයත් දියුණු කරගත්හ. එයට වඩාත් හේතු වූයේ සෑම නිවසක ම වාසනාව ගෙනදෙන කිරි එළදෙනක් ද සිටීමයි’ ඉවසීම, කරුණාව ඔවුන් තුළ වැඩිදියුණු වීමට ද එය ප්‍රමුඛ හේතුවක් විය. මේ මහා කාසි නගරය හැරුණු විට දඹදිව ඒ ඒ පළාත් වල වැඩි ප්‍රමාණයක් පැවතියේ කෙත්වතු සහ ගම් නියම්ගම් ය. අලි, කොටි, වග වලස්, සිංහ ආදී සතුන්ගෙන් පිරීගිය වනාන්තරයෝ ද වූහ. ඒ නිසා එදා දඹදිව අතිවිශාල රටකි. එකී රට අද ඉන්දියාව, පාකිස්ථානය, භූතානය, නේපාලය, බංගලාදේශය, ටිබෙටය ආදී විවිධ රාජ්‍ය වලට වෙන් වී ඇත. එදා මෙකී මහා දඹදිව් රාජ්‍යයේ අගනුවර බවට පත්වූයේ ඉහත සඳහන් කළ කාසි රාජධානියයි.

දඹදිව් තලයෙහි මහා නගර - අනු නගරවල ප්‍රාදේශීය රජවරු රාජ්‍යය විචාළෝ ය. ඔවුහු සියල්ලෝ ම රටේ මහා රාජධානියෙහි එනම්, කාසිපුර ජයසේන මහාරාජයාගේ අණසක යටතේ නිදහසේ තම තමන්ගේ රාජ්‍යයන් පාලනය කළහ. වාර්ෂිකව ජයසේන මහරජතුමාට තුටු පඬුරු වශයෙන් ධනධාන්‍යය සහ සම්පත් යැවූහ. මේ නිසා මුළු දඹදිව් තලය ම සාමයෙන්, සමාදානයෙන් ගත වූ ආකාරය පැරණි පොත පතින් පැහැදිලි වෙයි. එහෙත්, තම තමන්ගේ අරමුණු ඉටු කරගැනීම පිණිස ඇතැම් ජනප්‍රධානීහු, වැසියන් නොමග යවා අර්බුද ඇති කළ අවස්ථාවන් ගැන ද සඳහන් ව ඇත. කාසි රජතුමා ද ගුණවත්, නැණවත්, ප්‍රතාපවත්, අභිමානවත් සත්‍යවාදී මහීපාලකයෙකි. රාජකීයත්වය එතුමා තුළ සියයට සීයක් ම පූර්ණ ලෙස පැවතුණි. එනිසා රටවැසියෝ ද ප්‍රත්‍යයන්ත රජවරු ද ජයසේන මහරජතුමාට දක්වන ලද්දේ ගෞරවණීය, පූජනීය තත්ත්වයකි. කලාතුරකින් ඇතිවන අරගලයක් වුණද තම ආඥාවේ බලයෙන් සන්සුන් කිරීමේ ශක්තිය එතුමා තුළ පැවතිණ.

දසරාජ ධර්මයෙන් රාජ්‍යය විචාළ - පිනෙන් පිරුණු ජයසේන මහරජතුමාගේ අගමෙහෙසිය බවට පත් සිරිමා දේවිය ද එවැනි ම රටේ පිළිගත් උත්කෘෂ්ට රජ පවුලකින් පැවත ආ පංචකල්‍යාණයෙන් සපිරුණු කුමාරිකාවක් ම වූවා ය. මේ මහා පිනැති ජයසේන මහා රාජයා නිසා එබඳු ම මහ පිනැති සිරිමා බිසවගේ කුසින් ඵුස්ස නම් මහ බෝසතාණන් වහන්සේ උපත ලදහ.

පිරූ පාරමිතා ධර්මයන් ඇති ඒ මහ බෝසතාණන් වහන්සේ, නිසි වියට පත්ව ගිහිගෙය හැරපියා සම්මා සම්බුදු බවට පත් වූ සේක. තම පුතණුවන් වහන්සේ බුදු බවට පත් වීම නිසා මහත්සේ සතුටට පත් ජයසේන පිය රජතුමා ඒ ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ සිවු පස පහසුව රජ ගෙදරින් ම කළ යුතු යැයි අධිෂ්ඨාන කොට ගෙන බුදුරදුන් වෙනුවෙන්සියලු උවටැන් රජු විසින් සලසන ලද්දේ ය.

දැඩි ප්‍රකාශයක් !

ජයසේන මහ රජතුමාට අනෙක් බිසවක කුසින් උපත ලද පුණ්‍යවන්ත කුමරුවෝ තිදෙනෙක් ද වූහ. ඔවුහු ද රජුගේ අමාත්‍ය මණ්ඩලයේ ම සේවය කරන රාජ්‍ය පාලනයට පිය රජුට සහාය වන ඇමතිවරු තුන්පලකි. ඒ පුතණුවරුන් තුන්පල සහ මැති - ඇමතිවරුන් අතරද, ප්‍රාදේශීය පාලකයන් සහ ප්‍රත්‍යන්ත රජවරුන් අතර ද රටේ ප්‍රභූ ජනතාව තුළ ද කල්ගත වෙත් ම, ජයසේන මහා රාජයා කෙරෙහි කලකිරීමක් ඇතිවිය. එයට හේතුව ? රජු පමණක් ම බුද්ධෝපස්ථානය සංඝෝපස්ථානය අනෙකකුට ඉඩ නොදී සිදුකිරීමයි.

මේ කරුණු පිළිබඳව රජ කුමාරවරුන් තුන්පල සහ ප්‍රභූ ජනයා නොයෙක් අවස්ථාවන්හි දී පිය මහ රජුට ඇවිටිලි කළෝ - තමන්ට ද පොදු මහ ජනතාවට ද ඵුස්ස ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දන් පහන් දීමට, ඇප උපස්ථාන කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. ඒ සෑම වාරයක දී ම ජයසේන රජතුමා තරයේ ම කියා සිටියේ දරුවෙනි, “බුදුරජාණන් වහන්සේ මාගේ ම පුත්‍රයෙකි. එනිසා බුදුරදුන් මගේ ය. ධර්ම රත්නය ද මගේ ම ය. ශ්‍රාවක සඟ පිරිස ද මාගේ ම ය. මේ අනුව දරුවෙනි, බුද්ධ රත්නයත්, ධර්ම රත්නයත්, සංඝ රත්නයත් මගේ මැ යි. මා ජීවත් වන තුරු - ත්‍රිවිධ රත්නය රැක බලා ගැනීමේ අයිතිය ඇත්තේ මටයි. එබැවින් බුදු රදුන්ටත්, ශ්‍රාවක මහා සංඝයා වහන්සේටත් මා විසින් ම ඇප උපස්ථාන කළ යුතුවා මිස, තවත් කෙනකුට එය පැවරීමට මගේ කැමැත්තක් නැත. එමනිසා මේ ඉල්ලීම නැවත මා වෙත ඉදිරිපත් නොකරව“ යි කියා සිටියහ.

රජුගේ ඉහත සඳහන් දැඩි ප්‍රකාශයෙන් කුමරුවෝ කලකිරීමට පත්වූහ. අනෙකුත් මැති, ඇමතිවරුන් සහ ඉහළ ම පෙළේ ප්‍රත්‍යන්ත රජවරුන් කිහිප දෙනකු හා රහසිගතව සාකච්ඡා පවත් වන්මෝ “ පිය මහ රජාණන් වහන්සේගේ මේ අදහසට අපට එකඟ විය නො හැකිය. අපිදු බුදු රදුන්ගෙන් බණ ඇසීමෙන් ම පමණක් සෑහීමකට පත් නොවී, උන්වහන්සේට ඇප උපස්ථාන ද කළ යුතු ය. අපටත් ඒ වරප්‍රසාදය තිබිය යුතු ය. ඒ සඳහා උපායක් යොදමු” යැයි කතිකා කොට ගෙන අගනුවරින් රටේ ඈත ප්‍රත්‍යන්ත දේශයන් දෙක තුනක වාර්ෂිකව රජතුමාට ගෙවිය යුතු අයබදු නතර කරලූහ.

රට වැසියෝ ද මහත් සතුටින් කුමරුවන් තිදෙනාගේ සහ ප්‍රත්‍යන්ත රජවරු කීප දෙනාගේ අදහසට බලවත් සේ සහයෝගය දුන්හ. එයට හේතුව ඔවුන්ගේ බලාපොරොත්තුව ද, බුදුරදුන්ට උවටැන් කිරීමේ ඉඩකඩ සලසා ගැනීමට පැවැති ආශාවයි. වසරක් හමාරක් ගත වෙත් ම රජතුමාට මෙය දැනුණේ, රාජ භාණ්ඩාගාරය කෙමෙන් හිස් වේගෙන යාම නිසා ය. සොයා බැලූ විට රජුට දැනගන්නට ලැබුණේ රජතුමා පිළිබඳව ජනතාව කලකිරී අයබදු නොගෙවන බවයි. මෙයින් කම්පිත බවට පත් ජයසේන මහ රජතුමා තම පුතණුවරුන් තුන්පොල කැඳවා සාකච්ඡාවක් කෙළේය.

“දරුවෙනි, තෙපි තිදෙනා ම මාගේ පුතණුවරු ය. අනෙක් පැත්තෙන් බලන විට මාගේ අමාත්‍ය පදවි දරන තිදෙනෙක් ද වෙති. ප්‍රත්‍යන්ත දේශ කීපයක ජනතාව මා කෙරෙහි කළකිරී අයබදු ගෙවීම් අත්හැර ඇත. ඒ ප්‍රදේශවලට අයත් රාජ භාණ්ඩාගාර අංශයන්හි මුදල් අංශ හිස් වේගෙන යයි. ඒ දේශවල ජනතාවගේ උන්නතිය පිණිස ඇළ, දොළ, වැව්, පොකුණු මං මාවත්, ගිලන් ශාලා, වැඩි දියුණු කිරීම පිණිස - දුෂ්කර ප්‍රදේශවලට ආධාර යැවීම පිණිස නියම කළවිට - රාජ භාණ්ඩාගාරයට මගේ නියමයන් ඉටු කිරීමට අපහසු බව එය භාර අමාත්‍යවරයා දැනුම් දී තිබේ. ඔබ තුන්පොල වහා ඒ ඒ දනව්වලට ගොස් ප්‍රත්‍යන්ත රජවරු කීපදෙනා සමඟ ද සාකච්ඡා කොට සාමය ඇති කළ යුතුයැයි” උපදෙස් දී කුමාරවරු තිදෙනා පිරිවර සහිතව ප්‍රත්‍යන්ත දේශයන් බලා යැවූහ. ඔව්හු ද තමන් විසින් ම යෙදූ උපායක් බැවින් මහරජුට කිසිවක් දැනගත නොහැකි වන අයුරින් ඒ ඒ ප්‍රදේශවලට ගොස් ජනතාව සාමකාමී බවට පත් කරවා මාස ගණනාවකට පසු කාසී නගරයට පැමිණ රජතුමාට වාර්තා කළෝය.

මහ රජතුමා කියනුයේ - “දරුවෙනි, තෙපි කරුණු පහදා දී ගහ බැන ගැනීමකින් තොරව - ලේ වැගිරීමකින් තොරව - සාමය ඇති කිරීම ගැන සතුටට පත්වුනෙමි. තෙපි තිදෙනා මගේ දරුවෝය. වගකිවයුතු අමාත්‍යවරු ය. මා කෙරෙහි සෙනෙහැති රාජ්‍ය පාක්ෂිකයෝ ය. ඒ දනව් වැසි මහ ජනතාව ද මා සලකන්නේ මාගේ ම දරුවන් හැටියටයි. අපේ රාජ ධර්මය එයයි. තම දරුවනට සේම රටවැසි ජනතාවට ද ස්නේහෙවන්තව පිළිපැදිය යුතු බව රාජ ධර්මයක් වේ. ඒ අනුව තෙපි තිදෙනා ජනතාවගේ සිත් සතන් දිනා ගනිමින්, රටේ මහරාජයා වශයෙන් මා කෙරෙහි ද ඔවුන්ගේ ඇති ගෞරවාන්විත පිළිගැනීමට හානියක් නොවන අයුරින් මේ බැරෑරුම් ප්‍රශ්නය විසඳා ඇත.

තව ටික දවසක් ගත වූවා නම් මේ අර්බුදය මාගේ පාලනය යටතේ පවත්නා අනෙකුත් ප්‍රත්‍යන්ත රාජ්‍යවලට ද පැතිරී යාමට ඉඩ තිබුණි. එය ද දැන් වැළකී ඇත. මේ ඉටුකළ උදාර රාජ පාක්ෂික සේවා අගය කරමින් මවිසින් ද තෙපි තිදෙනා ඇතුළු මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සහාය දුන් නිල දරුවනට ද විශේෂ සැලකිල්ලක් කළ යුතුව ම ඇත. එයත් අපගේ කෘතෝපකාරී රාජ්‍ය නීතියකි. ඔබ තුන් පොලට අවශ්‍ය ඕනෑ ම වරයක් - ඉල්ලීමක් ඉදිරිපත් කරව. එය ඉටු කිරීමට අපේ රාජ නීතිය අනුව මම බැඳී සිටිමි.”

මේ පිළිතුරෙන් කුමරුවන්ට ඉමහත් සතුටක් ඇති විය. තමන් යෙදූ උපායශීලී ක්‍රියා මාර්ගය පිය රජතුමාට දැනගැනීමට ඉඩ නො තබා, තමන් කළ හපන්කම ගැන ද ඔවුන් ආඩම්බරයට පත්වූහ. ඊට පසු දින මේ තිදෙනා ම පිය මහරජාණන් වහන්සේ දැක ආචාර, සමාචාර දක්වා “පියමහරජතුමනි, ඔබ වහන්සේ අප ධෛර්යවත් කරමින් – අපගේ සේවය අගය කරමින් කළ ප්‍රශංසාත්මක දේශනය ගැන ඉමහත් ලෙස සතුටු වෙමු. ඒ ප්‍රකාශනය ගැන අපි සහෝදරවරු තුන්පල ද ඔබ වහන්සේ දීමට පොරොන්දු වූ වරය පිළිබඳ සාකච්ඡා කළෙමු. පිය මහරජාණන් වහන්ස, අප ඉල්ලන වරය නම් අන් කිසිවක් නොවෙයි. අපේ සහෝදර ඵුස්ස බුදුරජාණන් වහන්සේට සත් අවුරුද්දක් ඇප උපස්ථාන කිරීමට අනුමැතිය ලබා ගැනීමයි.

“දරුවෙනි, ඔය ඉල්ලීම හැර වෙනත් කවර වරයක් හෝ ඉල්ලීම හොඳයි. බුද්ධෝපස්ථානය නම් මා ජීවත් වනතුරු මවිසින් ම කළ යුත්තකි.” “පිය මහරජතුමනි, එසේ නොකියනු මැනවි. එසේ නම් සය අවුරුද්දක් දුන මැනව. දරුවෙනි, එය ද නො කළ හැකි ය. මේ අනුව පස් අවුරුද්ද, සිවු අවුරුද්ද, තුන් අවුරුද්ද, දෑවුරුද්ද, එක් අවුරුද්ද, දක්වා ද අඩු කොට බැරිම තැන සත් මසක් ද, සය මසක් ද, පස් මසක් ද, සිවු මසක් දැයි කියා බලවත් සේ ඇවිටිලි කොට ඉතා අමාරුවෙන් හාර මාසයකට අනුමැතිය ලබා ගත්හ. “එසේ නම් දරුවෙනි, තොපගේ මේ බලවත් ඉල්ලීම ඉවතලිය නොහැකි නිසාත්, අන් කිසිවක් තෙපි බලාපොරොත්තු නොවන නිසාත් ඉදිරි වස් කාලය බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට උන් වහන්සේගේ අනුමැතිය පරිදි ඉෂ්ට කර ගනුව“ යි, අවසර දුන්නේය.

වස් සාරමසක්

කුමාරවරු තිදෙනා ද සිහසුනට පත් වූවාක් මෙන්, මහත් සේ සතුටුව ඵුස්ස බුදුරදුන් වෙත ගොස් මෙපුවත් සැළකොට ඉදිරි වස් කාලය තුළ ඇප උපස්ථාන කිරීම සඳහා අවසර ලබාගත්හ. මහත්සේ ප්‍රමුදිත බවට පත් වූ මේ කුමාරවරු තිදෙන තමන්ගේ ප්‍රධාන කාර්යභාරයන්හි නියුක්ත පිරිස කැඳවා ඉදිරි වස් කාලය තුළ බුදුරජාණන් වහන්සේටත්, මහා සංඝයා වහන්සේටත් විහාරාරාමාදිය ඉදි කිරීමට සැලසුම් කළහ. ඒ අනුව ජල පහසුකම් සහ නිසි ලෙස වැඩුණු ගස් කොළන් ඇති භූමි භාගයක් තෝරා එහි සමවූ බිම් කොටසක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවිශේෂ ගන්ධ කුටියක් ද, මහා සංඝයා වෙනුවෙන් සුවිශාල ආරාමයක්ද ඉදි කරවා ඊට අදාළ දාන ශාලා, සක්මන් මළු, පැන් පොකුණු, වච්ච කුටි ආදිය ද ඉදිකොට නිම කළහ.

රටේ ජනතාව ද බොහෝ කාලයක සිට බලාපොරොත්තු වු පැතුමක් ඉටුවීම නිසා ඉමහත් උනන්දුවකින් යුතුව මේ සියලු කටයුතු වහා නිම කර ගැනීමට කුමාරවරුනට මහත්සේ උපකාර කළහ. රාජකාරි කටයුතු පිළිබඳව මනා පුහුණුවක් ඇති කුමාරවරු වස් තෙමස හා කඨින මාසය තුළ දිනපතා හීල් දානය හා දහවල් දානය පිළියෙල කිරීම පිණිස තෝරාගත් දස දහසක් පිරිස අතුරෙන් එක් කණ්ඩායමකට භාර කළහ. ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ද සේවක කාරකාදීන් සම්බන්ධ කොට ගෙන දානයට අවශ්‍ය ධාන්‍ය වර්ග, එළවළු, පලතුරු, කුළුබඩු, සහ කැවිළි - පෙවිළි, ආදිය නිතිපතා ලැබෙන සේ අවශ්‍ය විධිවිධානයන් ද යෙදූහ.

ගිලන්පස පිළියෙල කිරීම් සහ ජල සැපයීම් ආදී කටයුතුවලට ද පවිත්‍රතා කටයුතුවලට ද තවත් පිරිසක් යෙදවූහ. මේ අතර මහ සඟ පිරිසක් සහිත බුදුරදුන් වැඩ සිටිනු ලබන විහාරස්ථානයකට උන්වහන්සේ දැකීමට බණ පිරිත් ඇසීමට සංඝෝපස්ථානාදී කටයුතුවලට නිමක් නොමැතිව සෙනඟ පැමිණෙන බැවින් ඔවුනට අදාළ පහසුකම් සැලසීමට ද තවත් පිරිස් යොදවන ලදහ. මෙසේ අතිමහත් පවිත්‍රතාවයකින් යුත් පරිසරයක පිහිටුවන ලද මේ චිත්තාකර්ෂණීය විහාරස්ථානයට නිතිපතා පැමිණෙන්නෝ ද එලෙස ම නිමක් නැති තරම් විය. මේ සෑම කාර්ය සම්භාරයක් සඳහා පත් කරන ලද ප්‍රමුඛ පුද්ගලයා වූයේ ඒ ජනපදයෙහි අධිපතිවරයා ය. මෙසේ ඇසළ පුර පසළොස්වක පොහෝ දින බුද්ධප්‍රමුඛ මහා සංඝයා වහන්සේ වස් සමාදන් කරවන ලදහ. නගරයේ පමණක් නොව ගම් දනව් වැසියනුත් ඵුස්ස බුදුරදුන් ප්‍රධාන මහා සඟරුවනට ඇප උපස්ථාන කිරීමට ලැබීමත් බණ දහම් ඇසීමට ලැබීමත් උන් වහන්සේලා උදේ සවස දැකීමට ලැබීමත් නිසා මහත් සේ ප්‍රමුදිත බවට පත්වූහ.

ඉඳුල් කිරීම

මෙසේ අපරිමිත පරිශ්‍රමයකින් යුතුව ජයසේන පිය මහ රජාණන්ගෙන් ලබාගත් වරය අනුව පින්කම නිසි පරිදි ම ඉටුකොට අනුසස් ලබා ගැනීම සඳහා කුමාරවරු තුන් පල ද සමත් වූහ. වස් කාලය තුළ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට නිරන්තරයෙන් ම උවැටැන් කිරීම පිණිස තෝරාගත් සැදැහැවත් දස දහසක් පමණ පුරුෂයන් සමග කුමාරවරු ද - ගුරු පාට වස්ත්‍රයෙන් සැරසී උපෝස්ථ අෂ්ටාංග ශීලයෙන් යුතුව ම පිළිවෙත් පිරූහ. ඔවුන්ගේ භාණ්ඩාගාරික පුරුෂ තෙමේ ඟනමය කටයුතු ඉහත කී පරිදි තම පිරිසත් සමඟ නිසි පරිදිම ඉටු කළහ. මේ අතර කුමරුවන්ගේ නියමය පරිදි දානමය කටයුතු බාරගත් පිරිසට අයත් ඇතැම් දෙනා මාසයක් හමාරක් ගත වූ විට පළමුව පැවැති සැදැහැවත් බවින් තොරව පිළියෙල කළ දානය බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට පිදීමට පෙර උඩින් පල්ලෙන් ඉඳුල් කරන්නට පටන් ගත්හ.

ටික දවසක් ගත වෙත්ම රසවත් ආහාරවලට ඇලුණු ඔව්හු, නිබඳව ම සංඝ දානයට පෙර බිය සැක නැතුව ම හොරෙන් කෑමට පවා උත්සුක වූහ. එසේම දානයෙන් පසු ඉඳුල් අතන මෙතන දමා දාන ශාලාදිය ද අපිරිසුදු කිරීමට පටන් ගත්හ. දානයට පෙර අතිශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටත්, මහරහතන් වහන්සේටත්, පිළියෙල කළ ආහාර පාන අනුභව කිරීමට පටන් ගත් මේ කෑදර පිරිස - කඨින පින් කමෙන් පසු රණ්ඩු සරුවල් ඇතිකරගෙන දාන ශාලාවට ද ගිනි තැබුවෝ ය. මිනිස් ගති දන්නා සැදැහැවත් කුමාරවරුන්ගේත් ඇපකැප වී පින්කම් කළ මූලික වූ දහසක් පුරුෂයන්ගේත් පුණ්‍ය චේතනාවනට එයින් හානියක් නො වීය.

තුන් බෑ ජටිලයෝ!

කුමරුන් තිදෙනා ඒ කඩාකප්පල්කාරී, පාපකාරී පිරිසගේ ක්‍රියා පිළිබඳව කලනොකිරී තමනට සහය වූ ප්‍රමුඛ පෙළේ පුරුෂයන් දස දහසක් දෙනා සමඟත්, කටයුතු මැනවින් ඉටුකළ ජනපද අධිපතියන් සමඟත් පින්කම නිමකොට බුදුරජාණන් වහන්සේ සහ මහ සඟරුවන කාසිපුර පිය මහරජුගේ විහාරයට සුවිශාල පෙරහැරින් වැඩම කරවූහ. පියරජතුමා ද දරුවන් විසින් නිසිපරිදි කරගත් මෙම මහා පින්කම පිළිබඳව මුව නොසෑහෙන පරිදි ප්‍රශංසා කරන ලදහ.

ඉතිරි කොටස ලබන සතියේ

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන්ගේ
‘සම්බුදු ගුණ ඔප්වත් කළ දෙව්දත් තෙරණුවෝ!’ කෘතියෙනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා