මාපියෝ

මාපියෝ

මෙහි මුල් කොටස ගිය සතියේ පළවිය

ගුරුනට වරද කිරීම වනාහි මාපියන්ට වරද කිරීම සේ මහත් වූ පාපයකි. එය මෙලොව ද පරිහානියට කරුණෙකි.

සේවකයන් කරන වැඩවලින් ස්වාමිවරු පොහොසත් වෙති. සුඛිත වෙති. එබැවින් සේවකයෝ ස්වාමිවරුන්ගේ පරම මිත්‍රයෝ ය. සේවකයෝ ද ස්වාමිවරුන්ගෙන් ලැබෙන වැටුපෙන් දිවි පවත්වා ගනිති. දුක් නැති කර ගනිති. සැප ලබා ගනිති. එබැවින් ස්වාමිවරු සේවකයන්ගේ පරම මිත්‍රයෝ ය. සේවකයන් යහපත්වීම ස්වාමිවරුන්ගේ නො පිරිහීමට හා දියුණුවට හේතුවකි.

එසේ ම ස්වාමිවරු යහපත්වීම සේවකයන්ගේ යහපතට බලවත් හේතුවෙකි. හොඳ සේවකයන් නැති ස්වාමිදරුවන්ට ද හොඳ ස්වාමියකු නැති සේවකයන්ට ද සැපය හා දියුණුව ලැබීම දුෂ්කර ය. ස්වාමි සේවක දෙපක්ෂය ඔවුනොවුන්ට හිතවත් නොවීමේ හේතුව තම තමන් අයත් යුතුකම් ඉටු නො කිරීම ය. ස්වාමි සේවක දෙපක්ෂය ම තම තමා අයත් යුතුකම් දැනගෙන ඒවා මැනවින් ඉටු කළ යුතු ය.

“පඤ්ඤහි ඛො ගහපති පුත්ත! ඨානෙහි අයිරකෙන පච්ඡිමාදිසා දාසකම්මකාර පච්චුපට්ඨාතබ්බා යථාබලං කම්මන්ත සංවිධානෙන, භත්තවෙතනානුප්පදානෙන, ගිලානුපට්ඨානෙන, අච්ඡරියානං රසානං සංචිභාගෙන, සමයෙ වොස්සග්ගෙන” යි තථාගතයන් වහන්සේ සිගාල ගෘහපති පුත්‍රයා හට ස්වාමි දරුවන් ගේ යුතුකම් පසක් දක්වා වදාල සේක.

1. හැම සේවකයකු ලවා හැම වැඩ ම කර වන්නට නො ගොස් සේවකයන්ගේ ශක්තිය බලා ඔවුන්ගේ ශක්තියේ සැටියට ඒ ඒ සේවකයා හට කළ හැකි වැඩ පමණක් කරවීම ස්වාමියාගේ එක් යුතුකමකි.

2. සේවකයාගේ තත්ත්වය හා ඔහු කරන වැඩවල සැටි ද බලා සුදුසු පරිද්දෙන් බත් වැටුප් දීම ස්වාමියාගේ එක් යුතුකමකි.

3. සේවකයා ගිලන් වුවහොත් ආහාර බෙහෙත් ආදිය පිණිස මුදල් දීම් ආදියෙන් ඔහුට සංග්‍රහ කිරීම ස්වාමියාගේ එක් යුතු කමෙකි.

4. ආශ්චර්යවත් රසයක් හෙවත් විශේෂ ආහාරයක් ලදහොත් ඔවුන් සමඟ බෙදා ගෙන අනුභව කිරීම ස්වාමියාගේ එක් යුතුකමෙකි.

5. පමණ ඉක්මවා වැඩ ගන්නට නො ගොස් සුදුසු කාලයේ දී වැඩ නැවැත්වීම හා නිවාඩු දිය යුතු දිනවල දී නිවාඩු දීම ද ස්වාමියාගේ එක් යුතුකමෙකි.

ස්වාමියා විසින් තමාගේ යුතුකම් මැනවින් ඉටු කරන කල් හි සේවකයෝ ස්වාමියාට හිතවත් වී ඔවුන්ගේ යුතුකම් ද මැනවින් ඉටු කරන්නට පටන් ගනිති. සේවකයන්ගේ යුතුකම් මෙසේ වදාරා තිබේ.

“ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්ඤහි ඨානෙහි අයිරකෙන හෙට්ඨිමා දිසා දාසකම්මකාරා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි අයිරකං අනුකම්පන්ති, පුබ්බුට්ඨායිනො ච හොන්ති, පච්ඡානිපාතිනො ච, දින්නාදායිනො ච, සුකතකම්මකාරකා ච, කිත්තිවණ්ණහරා ච”

මිත්‍රයෝ

ස්වාමියාට පළමුවෙන් නින්දෙන් නැගී සිටීම ය. ස්වාමියාට පසු නින්දට යාමය, සොරෙන් කිසිවක් නො ගෙන ස්වාමියා දුන් දෙය පමණක් ගැනීම ය. හොඳට වැඩ කිරීම ය. ස්වාමියාගේ ගුණ ජනයා අතර පතුරුවා ලීම ය යන මේ කරුණු පස සේවකයන් ගේ යුතුකම් ය. මේ යුතුකම් දේශනය කර තිබෙන්නේ එක් ගෙයක වෙසෙන ස්වාමි සේවකයන්ට සුදුසු පරිද්දෙනි.

වෙන් වෙන් වූ නිවෙස්වල වෙසෙන ස්වාමි සේවකයෝ තැනට සුදුසු පරිදි සිය යුතුකම් ඉටු කොට සමගියෙන් සතුටින් තමන්ගේ මෙලොව පරලොව වැඩ සිදුකර ගනිත්වා ! යම් ස්වාමියකු නිසා තමා ජීවත් වේ නම් ඒ ස්වාමියාට වරද කිරීම විශේෂ පාපයක් බව සේවකයෝ සලකත්වා !

සැම කල් හි ම සියල්ල ම තමන්ගේ සමත් කමින් කා හටවත් සිදුකර ගත හැකි නොවේ. අනුන්ගේ උපකාර සොයන්නට සිදුවන අවස්ථා කාහටත් පැමිණේ. එබඳු අවස්ථාවල දී මිත්‍රයන් නැත්තෝ අමාරුවට පත් වෙති. සමහර අවස්ථාවල දී ඉතා දුබල මිතුරකුගෙන් ලැබෙන සුළු උපකාරයේ අගය ද ඉතා මහත් වේ. එබැවින් නුවණැත්තෝ අනුන් හා මිතුරුකම් පවත්වති. මිත්‍රයෝ නොයෙක් ආකාර වෙති. අංග සතකින් යුක්ත මිත්‍රයා මිත්‍රයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් :

“සත්තහි භික්ඛවෙ ! අංගෙහි සමන්නාගතෝ මිත්තො සෙවිතබ්බො, කතමෙහි සත්තහි ? දුද්දදං දදාති, දුක්කරං කරොති, දුක්ඛං ඛමති, ගුය්හමස්ස ආවිකරොති, ගුය්හං අස්ස පරිගුහති, ආපදාසු න ජහති, ඛීණෙන නාතිමඤ්ඤති, ඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො.”

යනු වදාරන ලදී, “මහණෙනි, අංග සතකින් යුක්ත මිත්‍රයා සේවනය කළ යුතුය. කවර අංග සතකින් ද යත් ? දීමට දුෂ්කර දෙය දෙයි. කිරීමට දුෂ්කර දෙය කරයි. ඉවසීමට දුෂ්කර දෙය ඉවසයි. රහස් ඔහුට කියයි, ඔහුගේ රහස් සඟවයි, විපත් හී දී නොහරී, ධනක්ෂයය නිසා පහත් කොට නොසිතයි. මහණෙනි, මේ අංග සතින් යුක්ත මිත්‍රයා සේවනය කළ යුතු ය” යනු එහි තේරුම යි.

1. මිත්‍ර බවක් දක්වා ගෙන සිටින බොහෝ දෙනා සිය මිතුරන්ට වචනයෙන් හා නොවටනා දේවලින් ද සංග්‍රහ කරන නමුත් විපතට පත් මිත්‍රයකු උපකාරයක් ඉල්ලා පැමිණි කල් හි කාරණයට සෑහෙන උපකාරයක් නො කරති. එදාට තමාගේ අමාරුවක් හෝ දක්වති. මිත්‍රකම හෝ කෙළවර කරති. එසේ නොකොට, යම්කිසි විපතක් නිසා දිළිඳු ව පිහිට සොයා ආ පිළිය නම් සිටු තුමාට තමන්ගේ වස්තුවෙන් භාගයක් පරිත්‍යාග කළ සංඛ සිටාණන් සේ දීමට දුෂ්කර දේ දීම යහපත් මිතුරාගේ එක් අංගයෙකි.

2. අමාරු අවස්ථාවක දී වතුර ටිකක් දුන් කෙනකු නොකළ සොරකමට හසු වී මරන්නට ගෙන යනු ලබනු දැක ඔහු මුදා ගනු පිණිස දරුවන් ද සමඟ දාසියක් වන්නට ඉදිරිපත් වූ ස්ත්‍රිය සේ මිතුරන් වෙනුවෙන් දුෂ්කර දේ කිරීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ එක් අංගයෙකි.

3. අනන්‍යයන් කරන ගැරහුම් ඉවසමින් පාපක නැමැති මිත්‍රයකු සිය නිවසෙහි රඳවා ගෙන ඔහුට සංග්‍රහ කළා වූ අනේ පිඬු මහසිටාණන් මෙන් මිත්‍රයන් නිසා ඉවසීමට දුෂ්කර වූ ගැරහුම් අලාභ ආදිය ඉවසීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ එක් අංගයකි.

4. රහස් කිසිවකුට නොකිය යුතු බව මහෞෂධ පණ්ඩිතයන් විසින් ප්‍රකාශිත ය. එහෙත් මිත්‍රයනට කිය යුතු රහස් ද ඇත්තේ ය. තමාගේ එබඳු රහස් මිත්‍රයාට කීම යහපත් මිත්‍රයාගේ අංගයකි.

5. කොපමණ මහත් ලාභයක් නිසාවත් විපතකින් මිදීම නිසාවත් අන් කරුණක් නිසාවත් සිය මිතුරන්ගේ රහස් නො හෙළි කිරීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ එක් අංගයෙකි.

6. මිත්‍රයාට විපතක් වී තිබෙනු දුටු කල්හි අත්හැර නො දමා ඔහුට පිහිට වීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ එක් අංගයෙකි.

7. ඇතැම්හු මිත්‍රකම් පවත්වමින් සිටියකු පිරිහී දිළිඳු වූ කල්හි ඔහු පහත් කොට සිතති. මිත්‍රකම ද හැර දමති. එසේ නොකොට සැම කල්හි ම මිත්‍රයාට එක සේ සැලකිලි කිරීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ එක් අංගයෙකි.

මිත්‍රකම් පැවැතීමේ හා බිඳීමේ හේතු

කෙනකු හා මිත්‍රවීම පහසු වැඩකි. දුෂ්කර කාරණය නම් මිත්‍රත්වය දීර්ඝ කාලයක් නො බිඳ පවත්වා ගැනීම ය. මිත්‍රත්වය කල් පැවැත්විය හැක්කේ නුවණැතියන්ට ය. අඥයෝ මිත්‍ර වී නොබෝ කලකින් ම ඔවුනොවුන් බිඳෙති. බිඳුණා වූ ඔවුහු ඔවුනොවුන්ට සතුරුකම් කරමින් සිටිනු මිස නැවත මිත්‍රත්වය සකස් කර නො ගනිති. මිත්‍ර වූ නුවණැත්තෝ පහසුවෙන් නො බිඳෙති. යම්කිසි හේතුවකින් ඔවුනොවුන් බිඳුනාහු ද ඔවුහු නැවත මිතුරු වෙති. සෑම කල්හි ම වෛරය නො පවත්වති. එහෙයින් තථාගතයන් වහන්සේ,

“සචෙ පී සන්තො විවදන්ති – ඛිප්පං සන්ධීයරෙ පුන
බාලා පත්තා ව හිජ්ජන්ති – න තෙ සමථ මජ්ඣගු”
යනු වදාළ සේක.

“සත්පුරුෂයෝ ඔවුනොවුන් බිඳුනාහු ද වහා සමගියට පැමිණෙති. අඥයෝ මැටි බඳුන් බිඳෙන්නාක් මෙන් ඔවුනොවුන් බිඳෙති. ඔවුහු නැවත සමගියට නො පැමිණෙතිය” යනු එහි තේරුම ය.

මැටි බඳුන බිඳුණු පසු නැවත සන්ධි නො කළ හැකි ය. බාලයෝ මැටි බඳුන් සේ නැවත සමගි නොකළ හැකි ලෙස බිඳෙති. රන් බඳුන බිඳුණේ ද නැවත ප්‍රකෘතිමත් කළ හැකි ය. නුවණැත්තා වූ සත්පුරුෂයෝ බිඳුණාහු ද රන් බඳුන් සේ නැවත සමගි කළ හැකි ය.

මිතුරුකම් කල් පවත්වනු කැමැතියන් විසින් මිතුරු දහම නැමැති බැම්ම තහවුරු වීමට හා බිඳීමට ඇති හේතු දැන ගත යුතු ය. අනුන්ගෙන් කොතෙක් ලදත් සෑහීමකට නො පැමිණෙන ස්වභාවය වූ මහිච්ඡතාවය, තමා ගෙන් දෙයක් අනුන්ට දීමට නො කැමැති බව වූ මසුරුකම ය. කෙළෙහි ගුණ නො දැනීමය, නො විමසා කටයුතු කිරීම ය, වංක අදහස් ය. වරද නොපිළිගැනීම ය, කේලාම් පිළිගැනීම ය යන ආදිය මිත්‍රත්වය බිඳීමේ හේතුහු ය.

ලද දෙයින් සතුටු වන ස්වභාවය ය, වඩ වඩා අනුන්ගෙන් ගන්නට බලාපොරොත්තු නොවන බව ය, ත්‍යාගවත් බව ය. කෙළෙහි ගුණ දැනීම ය, ඉක්මන් නො වී විමසා දුර බලා වැඩ කිරීම ය, අවංක බව ය, වරද පිළිගැනීම ය, කේලාම් නො පිළිගැනීම ය යනාදිය මිතුරුකම් කල් පැවැතීමේ හේතුහූ ය.

මිත්‍ර ප්‍රතිරූපකයෝ

අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියාභාණිය, අපාය සහායය යි මිත්‍ර ප්‍රතිරූපකයෝ (මිත්‍රයන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති.

1. අනුන්ට යහපතක් කරනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තේ අඤ්ඤදත්ථුරහර නම් වූ මිත්‍රප්‍රතිරූපකයා ය. තමා ගෙන් කිසිවක් නො දී අනුන්ගෙන් ම ගැනීමය, ස්වල්ප උපකාරයක් කොට මහත් දෙයක් ගන්නට බලාපොරොත්තු වීම ය. තමාට බයක් පැමිණි කල් හි පමණක් සතුටු කරවීම පිණිස පක්ෂ කර ගනු පිණිස අනුන්ට වැඩ කිරීම ය, තමාගේ ප්‍රයෝජනය පිණිස ම මිතුරන් ඇසුරු කිරීමය යන මේවා අඤ්ඤදත්ථුහරයා ගේ ලක්ෂණයෝ ය.

2. ක්‍රියාවෙන් කිසිවක් නැති ව කථාවෙන් පමණක් අනුන්ට සංග්‍රහ කරන තැනැත්තේ වචීපරම නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයා ය. “ඊයේ පෙරෙයිදා පැමිණියේ නම් මේ මේ දේ දෙන්නට තිබුණේ ය. මේ මේ දෙය කරන්නට තිබුණේ ය” යි අතීතයෙන් සංග්‍රහ කිරිම ය. පසුවට දෙමිය කරමි යි අනාගතයෙන් සංග්‍රහ කිරීම ය. කථාවෙන් පමණක් නිරර්ථක ලෙස සංග්‍රහ කිරීම ය. කරුණක් පැමිණි කල්හි තමාගේ අමාරුවක් දැක්වීම ය යන මේවා වචීපරමයාගේ ලක්ෂණයෝ ය.

3. යුක්තිය අයුක්තිය නො සලකා සිදුවන වැඩ අවැඩ නො සලකා කෙසේ හෝ අනෙකා සතුටු කරවීම පිණිස ඔහුගේ පැත්ත ගෙන කතා කරන්නා වූ තැනැත්තේ අනුප්‍රියභාණී නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයා ය. අනෙකා කරන්නට යන හොඳ නරක දෙක ම අනුමත කොට කතා කිරීම ය. ඉදිරියෙහි ගුණ කීම ය, නැති තැන දොස් කීම ය යන මේවා අනුප්‍රියභාණියාගේ ලක්ෂණයෝ ය.

4. සුරාපානාදී පව්කම් කිරීමට එක් වන්නා වූ තැනැත්තා අපායසහාය නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයා ය. සුරාපානයට යහළු වීම ය, නො කල්හි ඇවිදීමට යහළු වීම ය. නැටුම් ආදිය දක්නට යෑමට යහළු වීම ය. සූදුවට යාමට යහළු වීමය යන මේවා අපායසහායකයා ගේ ලක්ෂණයෝ ය.

ඉතිරි කොටස ලබන සතියේ

රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ ‘බෞද්ධයාගේ අත්පොත’ කෘතියෙන් උපුටා ගැනිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා