ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරග ඇවිදීම, පාපැදි ඉසව් 4වැනිදා

ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරග ඇවිදීම, පාපැදි ඉසව් 4වැනිදා

තිස්හත්වැනි වරටත් පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන්, තරග ඇවිදීම හා පාපැදි ඉසව් මේ 4වැනිදා පුත්තලමේදී පැවැත්වේ. රුපියල් 750000කට අධික තෑගි මුදල්වලට අමතරව රන්, රිදී, ලෝකඩ පදක්කම් හා සහතික පත් පිරිනැමෙන මේ තරග ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියරේ තරග වේ. පිරිමි කාන්තා රේසිං පාපැදි තරග පුත්තලම නව බස් නැවැතුම්පොළ අසලින් ආරම්භ කෙරේ. පිරිමි රේසිං තරග කිලෝ මීටර් 133.1ක් පැවැත්වෙන අතර කාන්තා තරගය කිලෝ මීටර් 51.8ක දුරක් පැවැත්වේ.

පිරිමි තරගය පුත්තලමේ සිට කොට්ටුකච්චිය, ආනමඩුව, පලුගස්වැව, නිකවැරටිය නගරයෙන් දැදුරුඔය පාලම හරහා පාදෙනිය හංදියට පැමිණ වාරියපොල පොලිස් ස්ථානය ඉදිරිපිටින් ගොස් වාරියපොල වටරවුමෙන් හැරී නැවැත එම මාර්ගය ඔස්සේ පැමිණ පුත්තලම බස් නැවතුම්පොළ අසලින් අවසන් කෙරේ. කාන්තා රේසිං පාපැදි තරගය පුත්තලම නව බස් නැවැතුම්පොළ අසල සිට ආනමඩුව නගරයට ගොස් හෝරාස්ථම්බය අසලින් හැරී නැවැත එම මාර්ගයේම පැමිණ පුත්තලමෙන් අවසන් කෙරේ.

පිරිමි හා කාන්තා තරග ඇවිදීමේ ඉසව් කිලෝ මීටර් 20ක දුර ප්‍රමාණයක් පුත්තලම නගරය වට මාර්ගයේ පැවැත්වේ. පිරිමි හා කාන්තා මැරතන් තරග පුත්තලම ප්‍රධාන බස් නැවැතුම්පොළ අසලින් පෙරවරු 5.45ට ආරම්භ කෙරේ. එයට සමගාමීව මැරතන් පාසල් තරග අංශයෙන් බාලක බාලිකා තරගයක් ද පැවැත්වේ.

මැරතන් තරගයට අනුග්‍රහය දක්වන නෙස්ලේ ලංකා සහකාර උප සභාපති බන්ධුල එගොඩගේ මහතා විසින් චෙක්පත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියට පිරිනැමූ අවස්ථාව.
ඡායාරූපය – නිරංජන් කොන්තසිංහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා