ඩේවිස් කුසලාන ටෙනිස් තරග හෙට කොළඹ දී

ආසියා - ශාන්තිකර කලාපයේ රටවල් 8 ක් අතර

ඩේවිස් කුසලාන ටෙනිස් තරග හෙට කොළඹ දී

ආසියා - ශාන්තිකර කලාපයේ රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය හෙට සිට 19 වැනිදා දක්වා ගී‍්‍රන්පාත් ටෙනිස් සංගම් මූලස්ථානය අසල ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

සත්කාරක ශ්‍රී ලංකාව ක්වේට්, ලෙබනන්, මලයාසියාව, මියන්මාරය, ඕමාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා වියට්නාමය මේ තරගාවලියට එක්වෙති.

ශ්‍රී ලංකාව දැනට 3 වැනි කාණ්ඩයේ පසුවන අතර මේ තරගාවලියෙන් ජයගෙන ඩේවිස් කුසලාන ආසියා - ශාන්තිකර කලාපයේ 2 වැනි කාණ්ඩයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

ඩේවිස් කුසලාන තරගාවලියට එක්ව සිටින රටවල් අට කාණ්ඩ දෙකක් යටතේ තරග බිමට පිවිසෙති. එම කාණ්ඩ ඇතුළත තරග මූලික වටයේදී පැවැත්වේ.

එම කාණ්ඩ දෙකේ පළමු හා දෙවැනි ස්ථාන දිනාගන්නා කණ්ඩායම් දෙක ලබන වසරේ ඩේවිස් කුසලාන දෙවැනි වටයට තරග කරන කණ්ඩායම තේරීමේ වටයට පිවිසේ. තෙවැනි හා සිවුවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක ලබන වසරේ ඩේවිස් කුසලාන හතරවැනි කාණ්ඩයට වැටෙන කණ්ඩායම තෝරා ගන්නා කාණ්ඩයට පිවිසේ.

හෙට ආරම්භ වන තරගාවලියේ තරග කාල සටහන අද පෙරවරුවේ තීරණය කිරීමට නියමිතය. තරගාවලියේ තරග තීරක ලෙස කටාර් රාජ්‍යයේ අස්රාෆ් හමුඩා හා මධ්‍යස්ථ විනිසුරු ලෙස ඉන්දියාවේ අභිෂේක් මුකර්ජී යන මහත්වරු කටයුතු කරති.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හර්ෂන ගොඩමාන්න, ඔෂධ විජේමාන්න, දිනේස් කාන්තන්, රජීව් රාජපක්ෂ හා විමුක්ති ද අල්විස් තරගාවලියට එක්වෙති.

ඔෂධ විජේමාන්න හා විමුක්ති ද අල්විස් ඇමරිකාවේ සිට මේ තරගාවලිය වෙනුවෙන් පැමිණ සිටී.

ශ්‍රී ලංකා පිලේ නායකත්වය 1999දී ඩේවිස් කුසලතා තරගාවලියට එක්වූ ආසිරි ඉද්දමල්ගොඩ නම් කර ඇත. ඔහු තරගාවලියට ක්‍රීඩකයෙක් ලෙස එක් නොවන අතර සහභාගී වන ක්‍රීඩකයන්ගේ පුහුණු උපදේශකයා ලෙස කටයුතු කරයි.

කණ්ඩායමේ පළ පුරුදු ක්‍රීඩක හර්ෂන ගොඩමාන්න රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන අතර පසුගිය වසරේ පැවැති ඩේවිස් කුසලාන තරගාවලියේදී නවසීලන්තයේ ප්‍රබල කී‍්‍රඩකයෙකු පරාජයට පත් කළේ ය.

ඒකළ, යුගල හා මිශ්‍ර යන අංශ තුනේම ජාතික ටෙනිස් සූරයා ලෙස ඔහු සම්මාන දිනා ගත්තේ ය.

වසර 2002 හා 2003 ඩේවිස් කුසලාන ටෙනිස් තරග අත්දැකීම් ඇති ඔෂධ විජේමාන්න ඇමරිකාවේ ෆ‍්‍රැන්සිස් මේරියන් විශ්වවිද්‍යාලයට ක්‍රීඩා කරමින් සිටී.

රජීව් රාජපක්ෂ 2002 සිට වසර ගණනාවක් ශ්‍රී ලංකා ටෙනිස් පිටියේ දස්කම් දැක්වීය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට හා ආසියානු ක්‍රීඩා උළෙලට එක් වූ ඔහු 1998 දී මුල්වරට ඩේවිස් කුසලාන තරගාවලියට එක්විය.

ඉන්දුනිසියාවේ ජාකර්තා ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ විමුක්ති ද අල්විස් 2006 සිට මේ දක්වා ජාතික සූරතා කිහිපයක් දිනා ඇත. ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු විදෙස් සංචාර කිහිපයකට ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය.

මඩකලපුව ප්‍රදේශයෙන් ටෙනිස් ක්‍රීඩාවට එක් වූ දිනේෂ් කාන්තන් තන්ගරාජා පසුගිය වසරේ ඩේවිස් කුසලාන තරගාවලියට එක්වූවේ ය. ජාතික කනිෂ්ඨ ටෙනිස් සූරතාව 2001 සිට 2009 දක්වා දිනා ගැනීමට සමත් වූවේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා