ශිෂ්‍යත්වයට ලිවීමට පෙර ප්‍රශ්න පත්‍රයේ උපදෙස් අනුගමනය කරන්න

ශිෂ්‍යත්වයට ලිවීමට පෙර ප්‍රශ්න පත්‍රයේ උපදෙස් අනුගමනය කරන්න

අනුර එදිරිසිංහ
විභාග කොමසාරිස් ජනරාල්

රු දැරියෝ තුන්ලක්ෂ විසිඑක්දහස් හාරසිය හත් දෙනෙකු තවත් දින 04 කින් එළැඹෙන අගෝස්තු 21 වැනිදා පැවැත්වෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතය. මේසා විශාල සිසු දරු දැරියන් පිරිසක් පෙනී සිටින ශිෂ්‍යත්ව විභාගය නම් කුමක්දැයි විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතාගෙන් විමසා දැන ගනිමු.

* පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නේ කවුද ?

2001 වසරේ පෙබරවාරි 01 වැනිදා සිට 2002 වසරේ ජනවාරි 31 වැනිදා දක්වා උපත ලබා, දැනට පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දූදරුවෝය.

* පහ ශ්‍රේණියේ පන්ති පැවැත්වෙන සෑම පාසලකම දරුවන් මේ විභාගයට පෙනී සිටිය යුතුද ?

නැත. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිය යුතු යැයි බල කළ නොහැකියි. කොළඹ රාජකීය, විශාඛා, මහනුවර ධර්මරාජ, මහනුවර උසස් බාලිකා, මාතර රාහුල ආදී ජාතික පාසල්හි ළමයින් ශිෂ්‍යත්ව විභාගය නොකරන අවස්ථා තිබෙනවා. ඒ මන්දැයි තේරුම් ගත හැක්කේ ශිෂ්‍යත්වයේ අරමුණු වටහා ගත් පසුවයි.

* ශිෂ්‍යත්වයේ අරමුණු මොනවාද ?

ශිෂ්‍යත්ව විභාගයට අරමුණු දෙකයි. පළමුවැන්න නම් ඉගෙනීමට ශක්තිය ඇති එහෙත් ආර්ථික වශයෙන් ශක්තියක් නැති දරුවන්ට ඉදිරි අධ්‍යාපනය පිණිස ශිෂ්‍යාධාර ලබාදීමයි. දෙවැන්න නම්, එම විභාගයේ දී ලබා ගන්නා ලකුණු මත හයවැනි ශ්‍රේණිය සඳහා රජයේ පාසලක් ලබාදීමයි. ඒ අරමුණු අනුව අවශ්‍යතාව තිබෙනවා නම් මේ විභාගයට ඉදිරිපත් විය හැකියි. එවැනි දරුවන්ට ඒ වෙනුවෙන් පාසල පහසුකම් සපයා දිය යුතුයි. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැන සිටිය යුතු කරුණු රැසක් තිබෙනවා.

* විදුහල්පතිවරුන් දැනගත යුතු කරුණු මොනවාද ?

මා මුලින්ම සඳහන් කළ වයස් සීමාවට ඇතුළත් නොවන දරුවන් විභාගයට ඉදිරිපත් නොකිරීම පහේ ශිෂ්‍යත්ව විභාග ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒ වගේම අදාල වයස් මට්ටම ඇතුළත සිටින සියලු දරුවන් ඉදිරිපත් කළ යුතුයි. විවිධ හේතු මත අනාථ නිවාසවල සිටින ළමයින්ට උප්පැන්න නැහැ. සමහර අනාථ නිවාසවල සිටින දරුවන් හිතාමතාම ඉදිරිපත් කරන්නේ නැහැ. එවැනි දරුවන්ට විභාගයට අවස්ථාව දිය යුතු බව ළමා අධිකරණය තීන්දු කර තිබෙනවා. ශිෂ්‍යාධාර ලබා ගැනීමට අවශ්‍ය දරුවන් සිටිනවා නම් විදුහල්පතිවරුන් ඒ ගැනත් විශේෂයෙන් උනන්දු විය යුතුයි. ශිෂ්‍යත්ව විභාග ව්‍යවස්ථාවට අනුකූලව මවුපියන්ගේ වාර්ෂික ආදායම රුපියල් පනස් හතර දහස (54000) ට අඩුවිය යුතුයි. එම ආදායම් සීමාවට වඩා තම ආදායම අඩු බව ග්‍රාම නිලධාරියාගේ සහතිකය සහිතව මවුපියන්ගෙන් විදුහල්පති ලිපියක් ලබා ගත යුතුයි. සෑම ළමයකු සම්බන්ධයෙන් ඒ ළමයාගේ නම ඉදිරියේ ආදායම අඩු හෝ වැඩි බව හෝ සඳහන් කිරීම අත්‍යවශ්‍යයි.

* විදුහල්පතිවරුන් එවැනි වාර්තා නිවැරැදිව සපයනවාද ?

බොහෝ විදුහල්පතිවරුන් නිවැරැදිව ලබා දෙනවා. එහෙත් ඇතැම් අය මෙය වරද්දනවා. ආදායම අඩු ළමයාට ආදායම වැඩි බවත් වැඩි ළමයාට අඩු බවත් සඳහන් කර ඉල්ලුම්පත සම්පූර්ණ කර එවනවා. එම නිසා සිදුවන්නේ විශාල අසාධාරණයක්. ශිෂ්‍යාධාර ලබා දෙන්නේ දරුවන් පහළොස් දහසකට පමණයි. ආදායම් අඩු තැන සිටිය යුතු ළමයෙකු ආදායම වැඩි බවට සඳහන් කිරීමෙන් ඒ ළමයාට හිමි විය යුතු ස්ථානය අහිමි වෙනවා. ළමයාට ශිෂ්‍යාධාරය නොලැබුණොත් ලේඛනය සම්පූර්ණ කළ අය ඊට වගකිව යුතුයි.

* එවැනි වරදක් නිවැරැදි කරන්නේ කොහොමද ?

අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කළත් එය නිවැරදි කරන්න බැහැ. හේතුව ශිෂ්‍යාධාර ප්‍රමාණය වැඩි කළ නොහැකිවීම නිසයි.

* ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලබන දරුවන් ගණන තෝරා ගන්නේ කෙසේද ?

අඩු ආදායම් සහිත ළමයින් සියලු දෙනා ලබාගෙන ඇති ලකුණු සමඟ පෙළ ගස්වනවා. ශිෂ්‍යත්ව පහළොස් දහස අවසන් කරන තැන ලකුණු කඩ ඉම් ලකුණු වෙනවා. දිස්ත්‍රික්ක අනුව හා ජනගහණය අනුව මේ ලකුණු වෙනස් වෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ නිර්ණායකය අනුව දිස්ත්‍රික් දහහතරක් ජනගහන අනුපාතයට අනුකූලව පහසුකම්වලට අනුව දුෂ්කර දිස්ත්‍රික්ක යැයි සම්මත වී තිබෙනවා. ඒ අනුව ශිෂ්‍යාධාර සඳහා කඩඉම් ලකුණු ද දිසා මට්ටමින් වෙනස් වෙනවා. අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් සකස් කරන කඩඉම් ලකුණු මත සෙසු දරුවන් ද තෝරා ගන්නවා. එවැනි දරුවන් පහළොස් දහසක් පමණ තෝරා ගැනෙනවා. ඔවුන්ට ලබා දෙන්නේ හයවැනි ශ්‍රේණිය සඳහා අලුත් පාසල් පමණයි.

* වැරැදියට සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් නිවැරැදි කර ගන්නේ කෙසේද ?

විභාගයට පෙනී සිටින සියලු ළමයින් සඳහා ප්‍රවේශ පත්‍රය හෙවත් නාම ලේඛනය පාසලට ලැබී දින දෙකක් ඇතුළත සංශෝධන කර ගත යුතුයි. මෙවර විභාගයේ එම ප්‍රවේශ පත්‍රය ඉකුත් 2 වැනිදා පාසල්වලට යවා තිබුණා. සංශෝධනයට වෙන් කළ දින දෙක දැන් අවසන්. සංශෝධන කරනවාට වඩා වැරැදි සිදු නොවන ලෙස කටයුතු කිරීම වැදගත් වෙනවා නේද ?

* විභාගයට අදාළව විදුහල්පතිවරුන් දැනගත යුතු තවත් කරුණු තිබෙනවාද ?

ඔව්. ළමයින් හා මවුපියන් පාසලට කැඳවා රැස්වීමක් පවත්වා ඔවුන් කරුණු දෙකක් දැන්විය යුතුයි. ඒ විභාග අංකය සහ විභාග මධ්‍යස්ථානයයි. ළමයා ඉගෙනුම ලබන පාසලම විභාග මධස්ථානය නොවිය හැකි නිසා එම මධ්‍යස්ථානය හොඳින් දැනගත යුතුයි. ඒ මධ්‍යස්ථානයට යාම සඳහා ළමයින් තම පාසලෙන් පිටත් වන වේලාව, එතැනට යන අයුරු විභාගය අවසන් වී නැවත පාසලට එන විදිය බොහොම පැහැදිලිව කියා දෙන්න ඕනෑ. කල්වේලා ඇතිව එතනට යා යුතුයි.

* විභාගය ආරම්භ වන්නේ කීයටද ?

පළමුවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 ට ආරම්භ වී පෙරවරු 10.15 ට අවසන් වෙනවා. කාලය මිනිත්තු 45 යි. දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.30 ට ආරම්භ වෙනවා. එය පෙරවරු 11.45 ට නිම වෙනවා. පැයයි මිනිත්තු පහළොවක් ලැබෙනවා. විභාගය ආරම්භ වන්නට අවම වශයෙන් මිනිත්තු තිහකට පෙර අනිවාර්යෙන්ම විභාග මධ්‍යස්ථානයට යා යුතුයි.

* මවුපියන්ට කිවයුතු තවත් විශේෂ කරුණු තිබෙනවාද ?

විදුහල්පතිවරුන් මවුපියන්ට කියාදිය යුතු තවත් ඉතා වැදගත් පණිවිඩයක් තියෙනවා. විභාගය දිනයේ නිවසින් පිටවීමට පෙර දරුවාට හොඳින් කවා පොවා පාසලට ගෙන ආ යුතුයි. විභාග මධ්‍යස්ථානයට හෝ පාසලට ගොස් බනිස් කවන්න බීම පොවන්න ඉඩක් නැහැ. ඕනෑ නම් වතුර බෝතලයක් එවන්න පුළුවන්. විභාග ශාලාවට ගෙන යාමට ඉඩ නොදෙන දේ තිබෙනවා.

* විභාග ශාලාවට ගෙන යා නොහැකි දේ මොනවාද ?

ශිෂ්‍යත්ව විභාගයට එක් එක් ළමයා සඳහා ප්‍රවේශ පත්‍ර නැහැ. ඒ වගේම අනන්‍යතා පත්‍ර නැහැ. ලියන කඩදාසි, ෆයිල් කවර ගෙන යන්න බැහැ.

* ගෙන යා යුත්තේ මොනවාද?

නිල් හෝ කළු පැහැයෙන් ලියැවෙන පෑනක්. හොඳම වර්ගයේ එච්. බී. පැන්සලක්. බාල වර්ගයේ පැන්සලකින් ලිවීමෙන් ඇතැම් විට මැකෙන්න පුළුවන්. මකනය විභාග අංකය ලියන ලද කඩදාසි කැබැල්ලක්. විභාග මධ්‍යස්ථාන ගැන කතාකිරීමේද ළමයින් ඉගෙනුම ලබන විදුහලේ මෙන්ම වෙනත් විදුහලක් විභාග මධ්‍යස්ථානය ලෙස යොදා ගැනෙනවා. විභාගය පැවැත්වෙන්නේ වෙනත් විදුහලක විභාග මධ්‍යස්ථානයක නම් ඊට නියමිත විදුහල්වල ළමයින් එහි කැඳවාගෙන යා යුතුයි. සාමාන්‍යයෙන් විදුහලේ නියෝජිතයෙක් දරුවන් එහි කැඳවා ගෙන යනවා.

* පාසලේ නියෝජිතයන් කියන්නේ කාටද ? ඔවුන්ගේ රාජකාරිය කුමක්ද ?

විභාග මධ්‍යස්ථානය පිහිටි පාසලේ ඉගෙනුම ලබන ළමයින් විභාග ශාලාවට කැඳවාගෙන ඒමට මෙන්ම වෙනත් පාසලක මධ්‍යස්ථානය පිහිටියේ නම් ළමයින් එහි රැගෙන යාම සඳහා ද විදුහල්පති විසින් පත්කර ගනු ලබන ගුරුවරුන් මේ නියෝජිතයන් ලෙස හඳුන්වනවා. එම නියෝජිතයන් තමන්ට නියමිත ළමයින් සංඛ්‍යාව විභාග ශාලාවට ගෙන යා යුතුයි. එසේ ගෙන යන ළමයින්ගේ නම්වලට අනුව විභාග අංකය සහිත ස්ථානයේ වාඩිකර විය යුතුයි. එම මේසය හා පුටුවේ ළමයාට පහසුවෙන් වාඩි වී පිළිතුරු ලිවිය හැකි තත්ත්වයක තිබේදැයි බැලිය යුතුයි. එසේ සුදුසු තත්ත්වයක නැත්නම් විභාග ශාලාධිපතිට දන්වා මේස පුටු වෙනස් කරදීමට පිළිවන්. මේ නියෝජිතයන් තමන්ගේ පාසලේ මධ්‍යස්ථානය තිබුණත් පිට පාසලකින් පැමිණියත් ළමයා වාඩි කරවා පවනට බඳු වේගයෙන් එම ස්ථානයෙන් පිට වී යා යුතුයි. ඔවුන්ට ශාලා භූමියේ රැඳෙන්න අයිතියක් නැහැ. නැවත පැමිණිය යුත්තේ විභාගය අවසන් වී සිසුන් ගෙන යාමට පමණයි. එහිද නියමිත වේලාවට පැමිණීමටත් වගා බලා ගත යුතුයි.

* විභාග මධ්‍යස්ථානය පිහිටි විදුහලේ විදුහල්පති හා ආචාර්ය මණ්ඩලයටත් නීති තිබෙනවාද ?

විදුහලේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය සේවකයන්ට විභාග පරිශ්‍රය තුළට පැමිණීම සපුරා තහනම්. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව චක්‍ර ලේඛයකින් දන්වා තියෙනවා. මීට ඉහත මේ සම්බන්ධ පැමිණිලි තිබුණා. එම විදුහලේ ගුරුවරයකුට තම දරුවා රැගෙන හෝ විභාග ශාලාවකට යන්න අවසරයක් නැහැ. විභාග ශාලාවට යා හැක්කේ විභාග ශාලාධිපති ඇතුළු කාර්ය මණ්ඩලයට පමණයි. පිටස්තරයන්ට මධ්‍යස්ථානය තහනම් කලාපයක්. යම් පුද්ගලයකු ඒ තහනම් කලාපයට ඇතුල් වුණොත් ශාලාධිපතිවරයා වගකිව යුතුයි. ඔහු දඬුවමට ලක් වෙනවා. මවුපියන්ටත් විභාග මධ්‍යස්ථානය අසළ හෝ වැටෙන් හා හෝ තාප්පයේ එල්ලී හෝ දරුවන්ට කොකන් පාන්න එපා කියා කියනවා. එය දරුවාගේ යහපත් මානසික තත්ත්වයට බලපාන්නක් විය හැකියි.

* ශිෂත්ව විභාගයට ප්‍රශ්න පත්‍ර දෙකක් තිබෙන නිසා ඒ දෙක අතර විවේක කාලයක් නැද්ද ?

කුඩා විවේක කාලයක් තිබෙනවා. හැබැයි කිසිම හේතුවක් කියා හෝ විභාග ශාලාවට පැමිණ දරුවන්ට කෑම, බීම දීම තහනම්. වරක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ විභාග ශාලාවකට පැමිණි මවුපියන් දරුවන්ට පැණි බීම හා රෝල්ස් වැනි කෑම දී තිබුණා. විභාගය ආරම්භ කළ පසුත් ළමයින් වමනය කරන්න පටන් ගැනීම නිසා ඔවුන්ගේ විභාගය අවසන් වූණා. උදේ හොඳට කන්න දීලා අරන් ආවාම පැය දෙක තුනක් ඉන්න බැරිකමක් දරුවන්ට නැහැ. තිබහට වතුර තිබුණාම ප්‍රමාණවත්.

* ප්‍රශ්න පත්‍ර දෙක පිළිබඳ යමක් කතා කළොත්?

ඇත්තෙන්ම කිවයුතුමයි. පළමුවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුªරු ලිවීමට මිනිත්තු හතළිස් පහක් ලැබෙනවා. ප්‍රශ්න හතළිහක් පමණ තිබෙනවා. එමගින් දරුවාගේ මානසික හැකියාව පරීක්ෂා කරනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ පස්වැනි ශ්‍රේණියට පැමිණෙන්ට දරුවෙකු මානසික හැකියා දහතුනක් ළඟා කර ගෙන ඇතැයි අපේක්ෂාවක් තිබෙනවා. විෂය නිර්දේශයේ හා පෙළ පොතෙහි ඒවා නැහැ.

* ඒ හැකියාවන් දරුවාට ලැබෙන්නේ කොතැනකින්ද ?

එක් එක් ළමයාගේ මානසික ශක්තිය පොදු නැහැ. එකිනෙකාට වෙනස්. එය විවිධයි. විභාගෙට හරියට උත්තර දීලා නැහැ. මේක මෝඩයෙක් කියා ළමයින්ට ගහලා බැනලා හැරහුවාම ඒ මානසික තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. අප පළමු ප්‍රශ්න පත්‍රයෙන් මැන බලන්නේ එම මානසික ශක්තියයි.

* දෙවැනි ප්‍රශ්න පත්‍රය ?

ඔව්. මවුපියන් කරන්නේ ළමයා සතු නිපුණතා මොනවාදැයි මැන බැලීමයි. පෙළ පොත හා විෂය නිර්දේශයෙහි ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. මේ පන්තියට එන විට ප්‍රාථමික අධ්‍යාපනයෙහි නිපුණතා තිස් නවයක් ළඟා කර ගෙන ඇතැයි විශ්වාස කරනවා. හැම ළමයෙක්ම ඒ නිපුණතා තිස්නවයම ළඟාකර ගනු ඇතැයි කියන්න බැහැ. එක් එක් ළමයාගේ මානසික මට්ටම අනුවයි එය තීරණය වෙන්නේ.

* මෙවර ප්‍රශ්න පත්‍ර දෙක ගැන යම් ඉඟියක් කළ හැකිද ?

එහෙම ඉඟි දෙන්න බැහැ. එහෙත් මෙවර විශේෂත්වයක් තිබෙනවා. දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙළපොත හා විෂය නිර්දේශ තුළින් සකස් කරනවා. ඒ නිසා විෂය නිර්දේශය හා පෙළපොත අනුගමනය කරන්න. මේ සඳහා දරුවන් ප්‍රගුණ කරවන්න.

* විභාග දිනයේ ඉතිරි කටයුතු පිළිබඳ කතා කළොත්?

විභාග ශාලාධිපතිට පැවැරෙන කාර්ය විශේෂයි. එයින් ප්‍රධානම කාර්ය නිවැරැදි විභාග අංකයෙහි නිවැරැදි ළමයා වාඩි වී සිටීදැයි බැලීමයි. එය සියයට සියයක්ම තහවුරු කර ගන්න බැහැ. පාසලේ නියෝජිතයා පැමිණ වාඩි කරවා තිබුණත් ශාලාධිපති නැවත බැලිය යුතුයි. නියමිත වෙලාවට විභාගය ආරම්භ කළ යුතුයි. ප්‍රශ්න පත්‍ර මාරු කර නොගත යුතුයි. පසුගිය අවුරුදුවල ඇතැම් මධ්‍යස්ථානවල පළමු ප්‍රශ්න පත්‍රය වෙනුවට දෙවැනි පත්‍රය මුලින් බෙදා දී තිබුණා. මෙය නරක තත්ත්වයක්. සෑම ප්‍රශ්න පත්‍ර පැකට්ටුවේ පැහැදිලිව ප්‍රශ්න පත්‍රය කුමක්දැයි දක්වා තිබෙනවා. සහකාර ශාලාධිපති හා කාර්ය මණ්ඩලයේ අය ළඟට කැඳවා පැහැදිලිව ලොකු අකුරෙන් ප්‍රශ්න පත්‍රය කවරක්දැයි දැක්වෙන සදහන කියවා බැලිය යුතුයි. ප්‍රශ්න පත්‍ර සිංහල ද දෙමළ ද කියා දැක්වෙනවා. ඒ නිසා කාර්ය මණ්ඩලය සමඟ එක්වී ප්‍රශ්න පත්‍ර පැකට්ටුව විවෘත කළ යුතුයි. ප්‍රශ්න පත්‍ර පැකට්ටුව විවෘත කළ පසු එහි සඳහන් ප්‍රශ්න පත්‍රය කුමක්දැයි බැලිය යුතුයි. පැකට්ටුවේ දැක්වෙන ප්‍රශ්න පත්‍රය තිබේද ඒ වගේම ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාව නිවැරැදි දැයි ගණන් කර බලන්න ඕනෑ. අඩුපාඩු තිබෙනවා නම් ලබාදී ඇති උපදෙස් පරිදි ක්‍රියා කළයුතුයි.

* මෙවර විභාගයේදීත් දරුවාට කටුවැඩ කරන්න පුළුවන්ද ?

පුළුවන්. සෑම ළමයෙක්ම ඉල්ලුවත් නැතත් කටුවැඩ කඩදාසියක් දිය යුතුයි. ප්‍රශ්න පත්‍ර දෙකටම ඒ කඩදාසි සපයනවා. විභාගය අවසන් වූ පසු කටුවැඩ කඩදාසි ශාලාධිපති විසින් එකතු කර ගනු ලැබිය යුතුයි. ඒවා ළමයින්ට ගෙනයන්න බැහැ.

* ප්‍රශ්න පත්‍ර විභාග ශාලාවෙන් පිටතට ගෙන යා හැකිද ?

කිසිම ප්‍රශ්න පත්‍රයක් කිසිම හේතුªවක් නිසා ශාලාවෙන් පිටත ගෙන යා නොහැකියි. ඒ වගේම ප්‍රශ්න පත්‍රයක් හෝ කොටසක් හෝ ඡායා පිටපත් කිරීමට විභාග ශාලාධිපතිට හෝ නිරීක්ෂකයන්ට හෝ විභාග කාර්ය මණ්ඩලයේ කවරකුට හෝ අයිතියක් නැති බව කල් ඇතිවම දන්වනවා. උපදෙස් කඩකරන අයට එරෙහිව විභාග පනත අනුව දඬුවම් ලබා දෙනවා. විභාග පනත අනුව ප්‍රශ්න පත්‍රය පිටතට ගෙන යාම ප්‍රශ්න පත්‍රය හෝ කොටසක් හෝ ඡායා පිටපත් කර ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් බව නැවතත් අවධාරණය කරනවා. විභාගය අවසන් වූ වහාම ඉතිරි ප්‍රශ්න පත්‍ර ගණන පැකට්ටුවේ සඳහන් කර ඒ සම්බන්ධ උපදෙස් අනුව ක්‍රියාකළ යුතුයි.

* ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගය පැවැත්වීමෙන් පසුව ප්‍රකාශයට පත් කළ හැකිද?

විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේදී නිවේදනය කරන තෙක් ඒවා රහස්‍ය ලේඛන බවට පත්වෙනවා. යමෙක් ප්‍රශ්න පත්‍ර පිට කර මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.

* මීට පෙර ප්‍රශ්න පත්‍ර පිට කළ අවස්ථා තිබෙනවාද ?

2010 වසරේ විභාගයේදී ප්‍රශ්න පත්‍ර පිට කළ ශාලාධිපතින් හතරදෙනකු රිමාන්ඩ් භාරයට පත් කළා. උත්තර පත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේදී පිටකරන ලද සහකාර පරීක්ෂකවරයකුද රිමාන්ඩ් කළා. නිත්‍ය නිරීක්ෂකවරුන්ද ඒවා පිළිපැදිය යුතුයි. පිළිතුරු ලියන ළමයින්ට නිවැරැදි පිළිතුර ඇඟිල්ලෙන් පෙන්වා දී ඇති අවස්ථා හසුවී තිබෙනවා. විභාග ශාලාවේ එවැනි උදව් කළ අයට දඬුවම් කර තිබෙනවා.

* මෙතෙක් විස්තර කළේ මවුපියන්, විදුහල්පතීන්, විභාග කාර්ය මණ්ඩල සඳහා ලබාදෙන උපදෙස් සමූහයයි. එහෙත් වැදගත්ම පිරිස විභාගයට පෙනී සිටින සිසුන් නිසා ඔවුන්ටත් උපදෙසක් දෙනවා නම් යහපත් නේද ?

ඔව්, ශිෂ්‍යත්වයට පෙනී සිටින සෑම දරුවකුම දැනගත යුතු පොදු කරුණු රැසක් තිබෙනවා. ඒවා එකින් එක කියන්නම්. මීට ඉහත කීවා සේ කළු හෝ නිල් පෑනකින් පමණක් උත්තර ලියන්න. එසේ නැත්නම් දී ඇති පිළිතුරට යටින් ඉර ගහන්න. ඒ සඳහා පෑන හෝ හොඳ එච්. බී. පැන්සලක් යොදා ගන්න. උත්තරයට යටින් ගැසූ ඉර වැරැදි නම් එය හරස් අතට කුඩා ඉරි කැබලි තුනකින් කපා නිවැරදි උත්තරය යට ඉරක් ගසන්න. එහෙම නැතිව මකනයෙන් කෙළ ගා මකන්න එපා. සමහර ළමයින් කෙළගාමින් මකන්න පුරුදු වෙලා ඉන්නවා. එය නොකළ යුතුයි. ළමයා ප්‍රශ්න පත්‍රයේ මුල්පිටුවේ උපදෙස් හොඳින් කියවිය යුතුයි. ප්‍රශ්නවලත් කොටසින් කොටසත් දී ඇති උපදෙස් හරියට ම අනුගමනය කරන්න. විභාග අංකය පිටු කිහිපයකම නිවැරැදිව ලිවිය යුතුයි. ප්‍රශ්න පත්‍රය ලද පසු එහි පිටු සියල්ලම තිබේදැයි බලන්න. හැම පිටුවකට ප්‍රශ්න මුද්‍රණය වී ඇත්දැයි බැලිය යුතුයි. සන්සුන් සිතින් කලබල නොවී පිළිතුරු ලබා දෙන්න.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා