සුදු බිත්තිය සාමාන්‍ය පාඨකයාටයි

සුදු බිත්තිය සාමාන්‍ය පාඨකයාටයි

- අනුර දහනායක

අද හමන මේ සුළඟ
පෙර දිනක ආවනම්
ඉගිල ගොස් ක්‍ෂිතිජයේ
හැංගෙන්න තිබුණි නම්
පාව ආ රෝස මලෙ
රැදි සුවඳ මෙතරම්ම
කිතිකවා ගියෙ ඇයි ද
නතර වී හද පතුලෙ

මේ කාව්‍ය සංකල්පනාව උපුටා ගත්තේ අපේ සාහිත්‍ය කෘති අතරට එක්වන අලුත් ම කෙටිකතා සංග්‍රහය වන ‘සුදු බිත්තිය’ නැමැති කෘතියෙනි. අනුර දහනායක විසින් රචිත ‘සුදු බිත්තිය’ කෙටිකතා සංග්‍රහය 2011 අගෝස්තු 17(අද) දින උදෑසන 9.30 ට මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශාලාවේදී දොරට වැඩීම සිදු කෙරේ. ‘සුදු බිත්තිය’ පිළිබඳ අනුර දහනායක සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

* ‘සුදු බිත්තිය’ ඔබේ කුළුදුල් කෙටිකතා සංග්‍රහයයි. මෙවැනි කෘතියක් රචනා කිරීම සඳහා පසුබිම සැකසුණේ කොහොමද?

මම වෘත්තියෙන් චිත්‍ර හා මූර්ති ශිල්පියෙක්. ඒත්, මම පොතපත කියවීමට ලොකු කැමැත්තක් දක්වනවා. මම මුලින් ම ලියන්න පටන් ගත්තේ නාට්‍ය පිටපත්. 1984 දී මම ‘දිරච්ච ඉනිමං’ නැමැති කෙටි නාට්‍ය රචනා කළා. ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා මම ඊළඟ වසරේදීත් ‘හතරමං හන්දිය’ නමින් තවත් කෙටි නාට්‍යයක් ලිව්වා. පසුව මම ලියූ ‘මම තවම පණපිටින්’ නාට්‍ය ජනප්‍රිය වේදිකා නාට්‍යයක් ලෙස තවමත් වේදිකා ගත කෙරෙනවා. පසුගිය වසරේ දී මම ‘හතරැස් ලෝකය’ නමින් කවි පොතකුත් රචනා කළා. නමුත් කෙටිකතා පොතක් රචනා කිරීමට මට අදහසක් තිබුණේ නැහැ. විවිධ අවස්ථාවල දී මට ලැබෙන මම අත්විඳින කතා තේමාවන් මම මගේ මිත්‍රයන්ට ලබා දුන්නා. එම අදහස්වලින් වගේ ම කෘතියක් රචනා කරන්න මා පෙළඹවූයේ මගේ බිරිය සහ දියණියයි. ඒ අනුව මම සාම්ප්‍රදායික කෙටිකතා කලාවෙන් ඔබ්බට ගොස් වගේ ම ශෛලියකට අනුව මෙම කෘතිය රචනා කළා.

* සාම්ප්‍රදායික බවින් මිදුණු මේ කෘතියෙහි ඇති විශේෂත්වයන් මොනවාද?

මම මට වදදෙන මගේ ඔළුවේ නලියන සිතුවිලි සමාජයට අතහැරලා දානවා. මේ කෘතියේ ‘හැංගි මුත්තං’, ‘මම කසාද බදින්නම’ ඕන ද?, ‘මාව කසාද බඳින්න’, පින්’, ‘ඔයා බැඳලද?’, ‘ලබන අවුරුද්දේ’, ‘සුදු බිත්තිය’, ‘පොඩි ප්‍රශ්නයක්’ වැනි එකිනෙකට වෙනස් කතන්දර අටක් (08) අන්තර්ගත වෙනවා. මේ සෑම කතාවක්ම ගොඩනැගිලා තිබෙන්නේ එදිනෙදා සමාජයේ සිදුවන සිදුවීම් ආශ්‍රයෙන්. මේ හැම කතාවක ම අවසානයක් නැහැ. ඒ තුළින් මම කියවන පාඨකයන්ට හිතන්න යමක් ඉතිරි කළා.

* වර්තමානයේ ජනතාව පොතපතින් දුරස් වෙනවා. එවන් වාතාවරණයක් තුළ ඔබේ කෘතිය රචනා කිරීමේ දී ඔබ අනුගමනය කළ උපක්‍රම කෙබඳු ද?

අපේ සමාජයේ හැම කෙනෙක් ම ප්‍රබුද්ධ කෙටිකතා කියවලා නැහැ. මම මේ කෘතිය රචනා කළේ සාමාන්‍ය මිනිසුන්ටයි. මෙහි හැම කතාවකම කතන්දර ස්වරූපයක් තිබෙනවා. ඒ වගේ ම පාඨකයන්ට ආයාසයකින් තොරව කියවිය හැකි ආකාරයට නාට්‍යමය දෙබස්, සිනමාත්මක රූපරාමු, නාට්‍යමය ස්වරූපයක් මවලා තිබෙනවා. මම මේ කෘතිය සඳහා යොදගත්තේ සරල භාෂාවක් සාහිත්‍ය කියලා මිනිසුන්ට නොතේරෙන වචන භාවිතා කළොත් ඒ නිර්මාණය සාර්ථක වෙන්නේ නැහැ. භාෂාව දියුණු කරනවාට වඩා භාෂාව තිබෙන මට්ටමින් රැකගන්න අවශ්‍ය නිසා මම හැමෝටම තේරෙන භාෂාවක් යොදා ගත්තා.

* සමාජ සංසිද්ධීන් වටා ගොඩනැගුණු මෙම කෘතියෙහි අන්තර්ගතය කෙබඳු ද?

‘සුදු බිත්තිය’ කෙටිකතා සංග්‍රහයේ එන සියලුම කෙටිකතා එදිනෙදා සමාජයේ මිනිසුන් අතර සිදුවන සුවිශේෂී සිදුවීම් ආශ්‍රයෙන් රචනා කර තිබීම විශේෂ කරුණක්. මෙහි එන හැංගිමුත්තන් කෙටිකතාවට පාදක කරගත්තේ මගේ ම අත්දැකීමක්. දිනක් ඥාති සහෝදරයෙකුට මනාලියක් බැලීමට යන ගමනක් සඳහා මට ආරාධනා ලැබුණා. ආරාධනය පිළිගත් මම ඔවුන් සමඟ එම ගමනට එක්කාසු වුණා. නමුත් එදින අපි බලන්න ගිය ගැහැනු ළමයා අපි එම නිවසින් පිටවනතුරු පිටතට පැමිණියේ නැහැ. එදින ඇය පැය දෙකක් පුරාවට කාමරයේ සැගවී සිටියා. හැංගිමුත්තන් කෙටිකතාව ලියුවේ මෙම සිද්ධිය ආශ්‍රයෙනුයි.

* ඔබේ කෙටිකතා සංග්‍රහය ‘සුදු බිත්තිය’ ලෙස නම් කළේ ඇයි?

‘සුදු බිත්තිය නමින් කෙටිකතාවක් මෙහි අන්තර්ගත වෙනවා. එහි නම තමයි කෙටිකතා සංග්‍රහයට යොදා ගත්තේ. සුදු බිත්තියත් හරි අපූරු තේමාවක් යටතේ ගොඩනැගුණු කෙටිකතාවක්. සුදු බිත්තියේ එන වික්‍රමරත්න නැමැත්තා ජීවත් වුණේ බස්රථවල විරිදු ගායනා කර ලැබුණු මුදලින්. ඔහු දිනපතා නගරයේ බස් රථ ගණනාවකට ගොඩ වී උගුර ලේ රස වනතුරු විරිදු ගායනා කරනවා. ඔය අතරතුරදී දිනක් නගරයට අලුතින් පැමිණි ගණිකාවක් වික්‍රමරත්න දකිනවා. ඇයගේ නම ප්‍රියංකා. දැන හඳුනා ගැනීමෙන් පසු ඔවුන් අතර කුඩා ප්‍රේමයක් හටගන්නවා. ලිංගිකත්වයකින් තොරව ප්‍රියංකාව ස්පර්ශ කරනු ලැබූ එකම පිරිමියා වුණේ වික්‍රමරත්නයි. මෙහි දී මම උත්සහ කළේ මෙම චරිතවල සාමාන්‍යයෙන් දකිනවාට වඩා මානුෂීය ගැටුම ඉස්මතු කරන්නටයි. සමාජයේ අවධානයට ලක්වන කොටස් තුළ අන් අයට වඩා මනුෂ්‍යත්වයක් තිබෙන බව මේ කතාව කියවීමෙන් හැෙඟනවා.

* අද පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ සීමිත පිරිසකගේ කෘතීන් පමණයි. මේ ක්‍ෂේත්‍රයේ සිටින නවක රචකයෙකු ලෙස ඔබ එය දකින්නේ කොහොමද?

ඔව්, ඇතැම් අයට සල්ලි දීලා පොතක් ගන්න නම් ප්‍රසිද්ධ නමක් තියෙන්න ඕනෑ. අපේ සමාජය හුරුවෙලා ඉන්නේ ප්‍රසිද්ධ නමට පොත් මිල දී ගන්නයි. එවැනි දැක්මකින් තොරව රචකයෙකුගේ පෙර නිර්මාණ පිළිබඳ සළකා බලා පොත් මිල දී ගන්න පාඨකයන් පෙළඹෙනවා නම් හොඳයි. ඒ වගේ ම ඇතැම් අය මෝස්තරයට පොත් මිල දී ගත්තත් ඒවා කියවන්නේ නැහැ. කියවන එකේ හොඳ වින්දනයක් තිබෙනවා. යමක් කියවන විට බාහිර සමාජයෙන් අයින් වෙනවා. බාහිරින් ඉවත්වෙලා ඒ රූපරාමු සමඟ ජීවත්වන විට කියවන දෙය ජීවිත අත්දැකීමක් කර ගන්න පුළුවන්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා