කප්පම් ගැනීමට පුරුදුවූ අඹු සැමියෝ උසාවියට

කප්පම් ගැනීමට පුරුදුවූ අඹු සැමියෝ උසාවියට

තඹලගමුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකුගෙන් කප්පම් ගැනීමට තැත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු මෙම 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටින අඹු සැමි යුවල අකුරණ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ගැනීමේ සිද්ධියක්ද සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බවට හෙළිදරව් වීමෙන් පසු ලබන 7 දා මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකරන ලෙසට කන්තලේ වැඩබලන මහේස්ත්‍රාත් ශානිකා පෙරේරා මහත්මිය නියෝග කළාය.

මෙලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වෙත යොමුකිරීමට නියම වූයේ කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශයේ එම්. ඒ. මොහොමඩ් අයුබ්ඛාන් හා නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේ ලිපිනයක් දී ඇති නෂීරා නෝනා ශාබිලා යන අඹු සැමියන්ය. අකුරණ කුරුගොඩ ප්‍රදේශයේ පදිංචි සාවුල් හමීඩ් මොහොමඩ් පාෂාර් නැමැති අය මෙහි පැමිණිලිකරු වන අතර දැනට බෝගම්බර සිරගෙදර දරුණු අපරාධ, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අච්චුවිඳින මුස්ලිම් ජාතිකයෙකු විසින් තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස කථාකොට යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් තමාට බරපතළ චෝදනා පැමිණිලි ලැබී ඇති හෙයින් ඒවා ක්‍රියාත්මක නොකිරීමට නම් රුපියල් ලක්ෂයක මුදලක් ලංකා බැංකු ශාඛාවක අහවල් ගිණුම් අංකයට මුදල් යොදන ලෙසට ඉල්ලා තමන් භීතියට පත්කළ බවට අධිකරණයේදී අනාවරණය විය.

තඹලගමුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයෙකු බියකොට ලක්ෂ 3ක කප්පම් මුදලක් ගැනීමට තැත්කිරීමේදී මෙම අඹු සැමි යුවල තඹලගමුව පොලිසියේ අපරාධ විමර්ශනය අංශයේ නිලධාරීන් විසින් කුරුණෑගල ලංකා බැංකු පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන කන්තලේ දිසා අධිකරණය වෙත යොමු කිරීමෙන් පසු මෙම සිද්ධියද යළි අධිකරණය වෙත යොමුවී ඇත. අලවතුගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක මහතා ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සැකකරු හා සැකකාරිය මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකරන ලෙසට කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයේදී අවසරය ඉල්ලා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා