වොලිබෝල් 20 දා සිට රට පුරා

ග්‍රාමීය දක්‍ෂතා ජාතික තලයට ගෙන එන ඩයලොග් ජනාධිපති රන් කුසලාන

වොලිබෝල් 20 දා සිට රට පුරා

ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලය දක්වා පැමිණිය හැකි මෙරට ප්‍රධානතම වොලිබෝල් තරගාවලිය වන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් මේ මස 20 වැනිදා හසලක දී ආරම්භ කෙරේ.

මේ තරගාවලියේ විශේෂත්වය වන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආරම්භ වී දිස්ත්‍රික් තරග පවත්වා ජාතික තලයෙන් අවසන් වීමය. තරගාවලියට එක්වන ක්‍රීඩා සමාජය අයත් ග්‍රාම නිලධාරී වසමේ වසර 3 ක ස්ථිර පදිංචියක් ඇති ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට පමණක් මේ සඳහා එක්විය හැකිය.

මේ 20 වැනිදා ප්‍රාදේශීය ලේකම් මට්ටමෙන් ආරම්භ වන තරග දෙසැම්බර් 3 හා 4 දිනවලදීත්, දිස්ත්‍රික් මට්ටමේ තරග දෙසැම්බර් 10, 11 හා 17, 18 දිනවලදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාතික මට්ටමේ තරග ජනවාරි මස 2 වැනිදා ආරම්භ කෙරේ.

අවසන් තරග ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. ඔලිම්පික් නිවහනේදී පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා පැවැසුවේ පසුගිය වසරේ මෙන්ම මෙවරද ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් තරග එළිමහන් පිටියකදී පැවැත්වීමට කටයුතු යොදන බවය. “ජයග්‍රාහී කණ්ඩායමට පිරිනමන රන් කුසලානය අලුතින්ම නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අලුත් රන් කුසලානය ජනාධිපතිතුමාට භාර දී ආශීර්වාදය ලබාගැනීම ඉදිරි දිනෙක සිදුවෙනවා” ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

ඩයලොග් ජනාධිපති රන් කුසලානය නමින් 2005 දී මේ තරගාවලිය ආරම්භ කරන විට කණ්ඩායම් 412 ක් එක්වූ අතර එය පසුගිය වසර වෙද්දී කණ්ඩායම් 6701 ක් දක්වා ශීඝ්‍ර වැඩිවීමකට ලක්විය. ජාතික ක්‍රීඩාව නඟාසිටුවීම තුළින් යොවුන් පරපුරට බිම් මට්ටමේ සිට සම්බන්ධ වීමේ හැකියාවක් ඇතිවීම මේ වර්ධනයට හේතු වී ඇතැයි වොලිබෝල් සම්මේලනයේ සභාපති ඇමැති ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඩයලොග් ආසියාටා ප්‍රධාන විධායක හා අධ්‍යක්‍ෂ හාන්ස් විජේසූරිය මහතා පැවැසුවේ ජාතික ක්‍රීඩාව නඟාසිටුවීමට ඩයලොග් ආයතනය කවදත් සහය ලබාදීමට සූදානම් බවය.

මෙහිදී අදහස් දැක්වූ වොලිබෝල් සම්මේලනයේ උප සභාපති හා තැපැල් ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් බණ්ඩාර හේරත් මහතා පැවැසුවේ අනුග්‍රහකයන් නොමැති කාලයේ ජාතික ක්‍රීඩාව නැංවීමට ඩයලොග් සමාගම ඉදිරිපත් වීම අමතක කළ නොහැකි බවය. “ඩයලොග් ජාතික ක්‍රීඩාව ඉහළට ගෙන යන්න උපරිම සහය දැක්වූවා” හේරත් මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා