විශේෂ කාර්ය බළකා කොස්තාපල් රියැදුරෝ 65ක් විසිර යති

කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුරේ පුහුණුව ලැබු

විශේෂ කාර්ය බළකා කොස්තාපල් රියැදුරෝ 65ක් විසිර යති

අප ඉදිරියට යා යුත්තේ විනය හා මනුස්සකම සමග යැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්. ඩබ්ලිව්. එම්. චන්ද්‍රසිරි රණවක මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුරේ පුහුණුව අවසන් කළ පොලිස් කොස්තාපල් රියැදුරන් 65 දෙනකු විසිර යාම නිමිති කොට පැවැති උත්සවයේදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

මෙය 38 වැනි පොලිස් කොස්තාපල් රියැදුරන්ගේ පුහුණු පාඨමාලාවයි. ඒ වගේම පොලිස් කොස්තාපල් රිඩැදුරන් පුහුණුව අවසන් කළ කණ්ඩායමක් වෙනුවෙන් පවත්වන පළමු විසිර යාමේ උත්සවයයි.

අද මෙවැනි උත්සවයක් පවත්වන්නට තරම් හොඳ වාතාවරණයක් උදාවී තිබෙනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බළකාය එක්ව රටේ තිබූ ත්‍රස්තවාදය තුරන් කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය විනය මූලික කරගෙන පවත්වාගෙන යන එකක්. ගුණාත්මකව දියුණු කරන ලද ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ටතම බළකාය ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කරනවා. ඉවසීම, දරා ගැනීමේ හැකියාව හා කැපවීම මත පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කරනවා. එහෙත් ඇතැම් නිලධාරීන්ගේ විනය ගැන සෑහීමට පත් වන්නට බැහැ. විනය හා මනුස්සකම රැකගෙන කටයුතු කළහොත් ඉදිරියට යන්න පුළුවන්.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කටුකුරුන්ද පුහුණු කඳවුරේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආනන්ද ගුණතිලක මහතා ද මෙහිදී කතා කළේය.

මෙහිදී අතිදක්ෂ අතිශූර පොලිස් කොස්තාපල් රියැදුරු ලෙස (2350) එම්. පී. තුෂාර ප්‍රදීප් ද දක්ෂතම වෙඩික්කරු ලෙස (2847) ජී. එස්. එල්. එම්. ලියනගේ ද සම්මාන තිළිණ දිනා ගත්හ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා