හොල්මනක් පසු පස යන්න හැදු අයකු බේරාගන්න මාස කීපයකට පෙර මියගිය මිතුරාගේ අවතාරය ඇවිත්

හොල්මනක් පසු පස යන්න හැදු අයකු බේරාගන්න මාස කීපයකට පෙර මියගිය මිතුරාගේ අවතාරය ඇවිත්

සිහි විකලෙන් නන් දෙඩවීම සුව වුණේ යකදුරාගේ පිහිටෙන්

අම්පිටියේ දලුග්ගොල්ලේ පදිංචි ජයන්ත තරමක් දඩබ්බර ප්‍රදේශයේ “අයියා” කෙනකු වශයෙන් සිටියත් කාගෙත් හිත දිනා සිටි තරුණයෙකි.

කිසියම් උවමනාවකට හෙතම කොළඹ නගරයට ගොස් ආපසු පැමිණි බස්රථය අතරමඟදී නතර වූයෙන් වෙනත් බස් රථයකට මාරු වී මහනුවර ඔර්ලෝසු කණුව අසලින් බසින විට රාත්‍රි 1.00 පසුවී තිබිණි.

අම්පිටියට යෑමට වෙනත් වාහනයක් හෝ බස් රථයක් මේ වෙලාවට නොමැති බව හොඳින් දන්නා ජයන්ත වැව රවුම දිගේ පයින්ම අම්පිටිය බලා පිටත් විය.

වැව රවුම කෙළවර අම්පිටියට හැරෙන හන්දිය වන රතු බෝක්කුව හන්දියේ ළමයෙක් අතින් ගත් කාන්තාවක් හැඳිවත සකස්කර ගන්නා තුරු දරුවා වඩා ගැනීමට කියා වඩාගත් තැනැත්තා බය කිරීම, ලෙඩ කිරීම හෝ ජීවිතක්‍ෂයට පත් කිරීම වැනි කථා මහනුවර ප්‍රදේශයේ නොදන්නා කෙනෙකු නැති නිසා ජයන්ත මෙම ස්ථානය පසු කිරීමට මඳක් චකිත වුවත්, හිත දැඩි කරගෙන එම ස්ථානය පසු කළේ මෑතකදී එවැනි දෙයක් සිදු නොවූ බව මෙනෙහි කරමින්ය.

රතු බෝක්කුවට නුදුරුව ඇත්තේ නුවරවෙලයි. එම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් යන්ත්‍රවල හඬ ඈතින් ඇසෙද්දී ජයන්ත එම ස්ථානයත් පසුකර මඳ දුරක් යනවිට තමාට ඉදිරියෙන් අවුරුදු 20 ක පමණ වයසැති තරුණියන් දෙදෙනකු ලොකු කථාවක යෙදෙමින් සිනාසෙමින් යනු ඇස ගැසිණි.

රතු බෝක්කුව පිළිබඳ පැරැණි වෘත්තාන්තය හේතුවෙන් තරමක බියෙන් සිටි ජයන්තගේ සිතට තරුණියන් දෙදෙනා දැකීමෙන් මඳ අස්වැසිල්ලක් වූයෙන් ඉක්මන් ගමනින් ගොස් තරුණියන්ට ළං විය.

කර්මාන්ත ශාලාවේ රාත්‍රි වැඩ මුරය අවසන් වන්නේ පාන්දර පහට බව ජයන්ත දනී. එහෙත් මේ වෙලාව රාත්‍රි 2ට ආසන්න වූ බැවින් තරුණියන් දෙදෙනා එම ආයතනයේ සේවිකාවන් විය නොහැක. රාත්‍රි අයාලේ යන තරුණියන් දෙදෙනෙකු වීමට බැරි නැතැයි සිතමින් ජයන්ත තරුණියන්ට තවත් ළංවී මේ නංගිලා මේ රෑ කොහේ යන ගමන්දැයි කරුණාබරව විමසීය.

“අනේ බලන්නකෝ අයියේ” මේ මගේ යාළුවගේ ගෙදර හදිස්සියක් ;වලා ගෙදර යන්න ඕන වුණා. රෑ තනියම යන්න එපා කියල පැක්ටර්යෙන් කියද්දිත් මෙයා එන්න පිටත් වුණ නිසා මම මෙයාගේ තනියට ආවා යයි එක් තරුණියක් කීවාය.

මම දළුග්ගොල්ලේ ඔයාලට ඔච්චර දුර තනියම යන්න පුලුවන්ද? බය නැද්ද විමසමින් ගමන් කරද්දී ජයන්ත පදිංචි ප්‍රදේශයට ළඟා වූයේ නිරායාසයෙනි.

ජයන්තගේ නිවෙස පෙනෙන මානයට පැමිණි විට අර තියෙන්නේ මගේ ගෙදර ඔයාල අකමැත්තක් නැත්තං මම ඔයාල ගමට යනකං තනියට එන්නම් යනුවෙන් පවසන විටම

ජයන්ත යන්න එපා ඔයා යන්න හදන්නේ අවසන් ගමන මේ දෙන්නා මැරිලා හුඟක් කල් කියමින් තවත් අයෙක් ජයන්තගේ ඉදිරියට ආවේය. තරුණියන් දෙදෙන අතුරුදන්විය. තමාගේ හිතමිත්‍රයකු වූ සිරිල් ජයන්ත ඉදිරියේ සිටගෙන සිටියේ ය.

තරමක කලබල ගතියෙන් සිටි ජයන්තට පියවි සිහිය එනවිට තමන් ඉදිරියේ සිටින සිරිල් මාස කිහිපයකට පෙර මියගිය මිත්‍රයා බව මතක් විය. ජයන්ත බියෙන් ගැහෙන්නට විය. ඔහු නිවෙස දෙසට දිව්වේ ය.

පසුදා උදෑසන අවදිවන විට උණ ගැනී නන්දොඩවමින් සිටි ජයන්ත සුවපත් කිරීමට යකැදුරකුගේ පිහිට පතන්නට සිදුවිය. සුවවූ ජයන්තට පසුව දැනගන්නට ලැබුණේ, හමුවූ තරුණියන් දෙදෙන කලකට ඉහත මෙම මාර්ගයේ දී අනතුරකට ලක්ව මියගිය දෙදෙනකු බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා