කැබිනට් තීරණ

කැබිනට් තීරණ

* ගණකාධිකාරී iii ශ්‍රේණියට බඳවා ගැනීමට තරග විභාගයක්

ගණකාධිකාරී සේවයේ 111 ශ්‍රේණියේ බඳවා ගැනීම් සඳහා විශේෂ තරග විභාගයක් පැවැත්වීමට රජය තීරණය කරයි.

උතුරු හා නැඟෙනහිර පළාත්හි පුරප්පාඩු 63 ක් පිරවීම සඳහා මේ විශේෂිත තරග විභාගය පැවැත්වීමට රජය තීරණය කර තිබෙන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.

ඊට අදාළ යෝජනාව මුදල් හා ක්‍රම සම්පාදන ඇමැතිවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන අතර උතුරු හා නැඟෙනහිර පළාත්හි රාජ්‍ය සේවයේ පවත්නා වූ මේ පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි දෙමළ භාෂාවෙන් රාජකාරි කළහැකි නිලධාරීන් බඳවා ගැනීම අත්‍යවශ්‍ය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

* මාතර නගරය සංවර්ධනයට පියවර

මාතර කඩිනම් සංවර්ධන වැඩසටහනට යටතේ මාතර නගරයට නව සම්මන්ත්‍රණ ශාලාවක් සහ නගරය අලංකරණය කිරීමේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒ සඳහා වන යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන අතර ඒ වෙනුවෙන් ගණන් බලා ඇති මුදල රුපියල් මිලියන 108 කි.

මෙම ව්‍යාපෘතිය සඳහා හඳුනාගත් ඉඩම් අක්කර 22.75 ක් පමණ වන්දී ගෙවීමට යටත්ව රජයට පවරා ගැනීමට නියමිතව ඇති අතර ඒ යටතේ නාගරික උද්‍යානයක් සමඟ නිල්වලා ගඟබඩ උද්‍යානය හා නාගරික වනෝද්‍යානය සංවර්ධනය කිරීමද සිදු කෙරේ.

* ජෛව ආරක්ෂණ සහයෝගිතාව සඳහා ඕස්ට්‍රේලියාව සමඟ අවබෝධතා ගිවිසුමක්

ජෛව ආරක්ෂණ සහයෝගීතා සඳහා ඕස්ට්‍රේලියානු නිරෝධායන පරීක්ෂණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ යෝජනාවකට අනුව ජෛව ආරක්ෂණ සහයෝගීතාව සඳහා මුලපුරන රටවල් අතර භාණ්ඩ හුවමාරුවේ ශාක රෝග හා අනෙකුත් පළිබෝධ ඇතුළුවීම වැළැක්වීම සඳහා යොදා ගන්නා ප්‍රතිකර්ම වෙනුවෙන් ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඔස්ට්‍රේලියානු නිරෝධායන පරීක්ෂණ ආයතනය සමඟ අදාළ ගිවිසුම ඇතිකර ගනු ඇත.

* කොළඹ නගර සංවර්ධනයට ඩොලර් මිලියන 213ක ආධාර

කොළඹ අග නගර සංවර්ධන ව්‍යාපෘතී සඳහා අන්තර්ජාතික බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 213 ක මූල්‍යාධාරයක් ලබා ගැනීම සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කොළඹ නගර ආශ්‍රිත ප්‍රදේශයන්හි ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම අවම කිරීමට සහ ඉඩම් පරිහරණයේදී ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා අන්තර්ජාතික බැංකුව වෙතින් මේ වසරේදී මෙම ආධාරය ලබා ගැනීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ නගර ආශි‍්‍රත ප්‍රදේශයන්හි ප්‍රාථමික හා ද්විතික ජලාපවහන පද්ධති හා වැව් ඉවුරු ප්‍රතිසංස්කරණයට හා අවධානයට පාත්‍රනොවූ තෙත් බිම් අවට ස්වාභාවික උද්‍යාන ස්ථාපිත කිරීමත් සුළු ජලාපවහන පද්ධති සංවර්ධනය කිරීමත් සිදුවේ.

රාජ්‍ය ආර්කෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මේ ව්‍යාපෘතිය 2012 අප්‍රේල් මස ආරම්භ කෙරෙන අතර එය වසර 03 කදී අවසන් කිරීමට අපේක්ෂිතය.

* මෝටර් රථවල ආසන පටි නොපළඳින රියැදුරන්ට ස්ථානීය දඩ

මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කරමින් ස්ථානීය දඩ නියම කිරීමට රජය තීරණය කරයි.

මෝටර් රථ පනත යටතේ වාහනවල ඉදිරිපස ආසනවල ගමන් ගන්නා රියදුරු හා මඟියා අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳවිය යුතු වන අතර එසේ නොපළඳීන අය වෙනුවෙන් ස්ථානීය දඩ නියම කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ආසන පටි නොපළඳීන රියදුරන් හා මඟීන් සඳහා දැනට ක්‍රියාත්මක වන උසාවි මඟින් දඩ අය කිරීම වෙනුවට ස්ථානීය දඩ අයකළ හැකි අයුරින් මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කිරීමට අදාළ යෝජනාව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

* පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සාධන බළකා ලේකම් කාර්යාලයක්

එළඹෙන 2013 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා කාර්ය සාධන බළකා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි.

මෙම සමුළුවේි සත්කාරක රාජ්‍ය වශයෙන් අවශ්‍ය පහසුකම් සැකසීමේ කාර්යය සඳහා මේ ලේකම් කාර්යාලය පිහිටුවන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවත් ඒ සඳහා ප්‍රාග්ධන හා පුනරාවර්ථන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 217.44 ක් වෙන් කරන බවත් පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.

මෙම කාර්ය සාධන බළකා ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමේ යෝජනාව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන අතර එය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවීමට නියමිතව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා