ඡ්‍යොතිෂය වැඩවලට ප්‍රසිද්ධියක් උසුලන පුංචි මහත්තයා ගෝලයා ලවා ජනතාව මුලාකරලා

ඡ්‍යොතිෂය වැඩවලට ප්‍රසිද්ධියක් උසුලන පුංචි මහත්තයා ගෝලයා ලවා ජනතාව මුලාකරලා

කවුරු කෙසේ කීවද ඡ්‍යොතිෂය විශ්වාස කරන පිරිස් අප අතර බහුලව සිටිති. යන්ත්‍ර මන්ත්‍ර තොවිල් පවිල් කේන්ද්‍ර බැලීම් දිනපතා සිදුවන බව නොරහසකි. දකුණු පළාත මේ සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලති.

පුංචි මහත්තයා යන්ත්‍ර මන්ත්‍ර වැඩවලට මෙන්ම කේන්ද්‍ර බැලීමට ද ප්‍රසිද්ධ වූ දකුණේ අයෙකි. ඔහු මේ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ කෙසේදැයි කීමට කිසිවෙක් නොදනී. එහෙත් ඔහුගෙන් යම් යම් වැඩ කරවා ගත් අය බොහෝ වෙති. පුංචි මහත්තයා කරදුන් ඇතැම් ගුරුකම් වැරදුණු බවද දන්නෝ දනිති.

ඒවා ප්‍රසිද්ධ වන්නේ නැත. ඒ පිළිබඳව ඔහුගෙන් විමසුවහොත් තම මුඛරි බවින් උපක්‍රමශීලීව ඒවා මඟ හැර යයි.

පසුගිය දිනෙක ත්‍රිරෝද රථයකින් කාන්තාවන් දෙදෙනකු හා පිරිමින් දෙදෙනකු පුංචි මහත්තයා හමුවට පැමිණියේ තම තමන්ගේ ග්‍රහචාරය විමසා බැලීමටය. පැමිණි පිරිස අදාළ කාමරයට යොමු වූ අතර ත්‍රිරෝද රථ රියැදුරා ගෙමිදුලෙහි සක්මන් කරමින් කාලය ගතකරන්නට විය. හත් අට දෙනකු එහි සිටි අතර පුංචි මහත්මයා යුහුසුළුව තම රාජකාරී කටයුතු කරමින් සිටියේය.

එක්වරම මේසය මත තිබූ දුරකථනය නාදවන්නට විය. තරමක නොරිස්සුම් ස්වභාවයකින් ඔහු දුරකථනය හා සම්බන්ධ විය.

මේ මොහොතේ තමන් කාර්යය බහුල බවත් දුරකථනයෙන් එවැනි දෙයකට පිළිතුරු දිය නොහැකි බවත් වෙලාවක් වෙන්කරවාගෙන තමා හමුවන ලෙසත් ඒ සඳහා විශාල මුදලක් අයකරන බවත් දන්වා ඔහු දුරකථනය විසන්ධි කළේය.

තමාට ලැබෙන වැඩ රාජකාරී ගැන උදම් අනමින් නැවතත් සුපුරුදු රාජකාරියේ නියැලෙන්නට විය.

ටික වේලාවකින් නැවත දුරකථනය නාද වන්නට විය. පෙර මෙන්ම නොරිස්සුම් ස්වභාවයෙන් දුරකථන සංවාදයට එක් විය.

තමා කාර්යය බහුල බවත්, ඔවැනි සුළු දේවල් තමා නොකරන බවත්, දුර බැහැර සිට පැමිණීම අනවශ්‍ය බවත්, තම ප්‍රදේශයේම කෙනෙකු ලවා එය කරගන්නා ලෙසත් දන්වමින් දුරකථනය විසන්ධි කළේය.

ත්‍රිරෝද රථයෙන් පැමිණි පිරිසගේ වැඩ කටයුතු නිමාවෙමින් තිබූ අතර පුංචි මහත්තයාගේ දුරකථනය නැවතත් නාද විය.

හේ සුපුරුදු නොරිස්සුම් ස්වභාවයෙන් දුරකථනය හා සම්බන්ධ විය.

සුහදශීලී බවක් පළකරමින් සංවාදයට එක්වූ හෙතෙම තමා බාරගත් වැඩය ඊයේ රාත්‍රී අවසන් කළ බවත් හෙට උදෑසන 8.37 ට යෙදෙන සුබ මොහොතින් යන්තර පැළඳිය යුතු බවත් ඒ සඳහා තමාගේ සහායක යකැදුරු මහතා ද සූදානමින් සිටින බවත් නියමිත මුදල් ද රැගෙන, දිය නා, පිරිසුදු වී සුදුවතින් සැරසී, අදාළ අයගේ උසට සරිලනසේ සුදුමල් මාලාව බැගින් ද ගෙන එන ලෙසත් දන්වා ආගමානුකූලව සෙත්පතා දුරකථන සංවාදය නවතා දැමුවේය.

සියල්ල අසා සිටි එම පිරිස මුදල් ගනු දෙනු හා ඉදිරි වැඩකටයුතු ගැන තීරණය කොට සතුටු සිතින් පැමිණ ත්‍රිරෝද රථයේ වාඩිවූයේ පුංචි මහත්තයාගේ විස්කම් සහ කාර්යය බහුල බව කථා බහ කරමිනි.

එය අසා සිටි ත්‍රිරෝද රථ රියැදුරුගේ මුවඟට උපහාසාත්මක සිනහවක් නැගිණි.

“ඔයාලට නම් පුංචි මහත්තයට ආපු දුරකථන ඇමතුම් ගැන පුදුම ඇති. ඒත් මට නම් පුදුම නැහැ. එයාගේ ගෝලයා තමයි ගේ පිළිකන්නෙ ඉඳගෙන එයත් එක්ක කථා කළේ. මම ඒක මුලින්ම දැක්කෙ ත්‍රීවීල් එකේ ඉන්නකොට. පස්සෙදි මම ගේ පිටිපස්සෙ තියෙන ලොකු කොස් ගහට මුවාවෙලා ඔක්කොම දේවල් අහගෙනයි හිටියේ.”

එය ඇසූ අපේ කණ්ඩායමට දහවල් තරු පෙනුණි. සියල්ල ක්ෂණයකින් අවබෝධ විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා