සුරතලයට ඇති කළ බැල්ලක කළ කලබලෙන් ‘සෙනෙහෙලතාගේ’ මඟුල් තුලාව එතැනින්ම ඉවරයි

සුරතලයට ඇති කළ බැල්ලක කළ කලබලෙන් ‘සෙනෙහෙලතාගේ’ මඟුල් තුලාව එතැනින්ම ඉවරයි

සිරිවාස දෙදරු පියෙකි. ඔහුගේ බිරිය සීලවතී නම් විය. දරු දෙදෙනාගෙන් දියණිය සෙනෙහෙලතා ය. සිරිවාස කලක් දිළිඳු තත්ත්වයේ පසුවිය. ඔහු විවිධ වූ ව්‍යාපාර කරමින් ක්‍රම ක්‍රමයෙන් දියුණුව කරා පිය නැගීය.

අතමිට මුදල් ගැවසෙන්නට විය. වීරියෙන් උපයාගත් මුදල් යොදවා ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන එහි අංගසම්පූර්ණ දෙමහල් නිවෙසක් ඉදි කළේය.

දරුවන් එතරම් දුරට අධ්‍යාපනය ලබාගත්තේ නැත. විශේෂයෙන් සෙනෙහෙලතා වියතුන් සබා මැද සිටිය යුත්තේ කෙසේද වත් දැන සිටියේ නැත.

නිවෙස නානකාමර සඳළුතල මැද මිදුල් වැනි දේවලින් අංගසම්පූර්ණ කර නවීන පන්නයේ ගෘහ භාණ්ඩ ආදියෙන් සම්පූර්ණ කිරීමට ද සිරිවාස මහත් පරිශ්‍රමයක් දැරීය.

උසස් වර්ගයේ සුරතල් බල්ලන් ද ඇති කළේය. ඉඩම වටා බැඳි තාප්පයේ දොරටුව දුරස්ථ පාලකයකින් ක්‍රියා කරවීමේ පහසුකම් ද සලසා ඇත.

මේ සියල්ලගෙන්ම අංගසම්පූර්ණ වූ මෙම නිවෙසෙහි සිටින සෙනෙහෙලතාගේ කල වයස ද ඉක්මයමින් සිටී. තමන්ගේ වත් පොහොසත්කම් අනුව ඉහළ පැලැන්තියේ මංගල යෝජනාවක් පිළිබඳව පියා සෝදිසියෙන් සිටියේය. සොයාගත් මංගල යෝජනාවක් අනුව සිරිවාස පිරිස කැඳවීමට තීරණය කළේය. දිනය උදාවිය. ආරාධනය ලැබූ පිරිස සුපිරි වාහනයකින් නිවෙසට ළඟා විය.

සිරිවාසගේ නිවෙසේ ඇති නවීන පන්නයේ ගෘහ භාණ්ඩ දුටු අමුත්තන්ගේ සිත් සතුටින් පිරී ගියේය. ගතවූයේ ස්වල්ප වෙලාවකි. මනාලිය ඉදිරියට පැමිණියේ රසකැවිලිවලින් පිරි ට්‍රොලියක් තල්ලු කරමිනි. ඇය ඇඳ සිටි ඇඳුම කොට සායකින් අත් දිග බලවුසයකින් හා අඩි උස සෙරෙප්පු යුවළකින් සමන්විත විය. ඇගේ ඇඳුම දුටු අමුත්තන්ටද සිනා පහළ විය.

සෙනෙහෙලතා කේක් ට්‍රොලිය පසෙකින් තබා එහි තිබූ කේක් තැටිය අතට ගෙන මනමාලයාට පිළිගැන්වූවාය. මනාලයා කේක් කෑල්ල අතට ගත්තේ මනාලිය දෙස හොරැහින් බලමිනි. කේක් කෑල්ල අතට ගත් සැණින් සුරතල් බල්ලා දුව විත් මනාලියගේ දණහිසට දෑත තබා ඉහළට නැග අත වූ කේක් කෑල්ල ඩැහැගත්තාය.

ගෙට්ඩවුන් ට්‍රිකි ගෙට් ඩවුන් ට්‍රිකි කියමින් සෙනෙහෙලතා අත එළියට දිගුකරමින් බැල්ලට සැර වූවාය. ඌ එය ගණන් ගත්තේම නැත. කේක් කැබැල්ල වහා ගිලගත් පසු නැවත මනාලයාගේ පියා වෙතට දිවගියාය. පෙර ක්‍රියාවලියෙන්ම ඔහු අත වූ කේක් කැබැල්ල ද ඩැහැ ගත්තාය.

දුවපිය බැල්ලි එළියට දුවපිය කියමින් සෙනෙහෙලතා බැල්ලට වේගයෙන් කෑ ගැසුවේ අඩි උස සෙරෙප්පු දමා දකුණු කකුලෙන් වේගවත් පහරක් එල්ල කරමිනි.

අමුත්තන් තිගැස්සිණි. පා පහර කෑ බැල්ල ආලින්දය හරහා දුව ගියාය. පිරිස එකිනෙකාගේ මුහුණට මුහුණ බලා ගත්තෝය.

කලබල නොවූ පිරිස තේ පානය කර “එහෙනම් අපි කියල එවන්නම්කෝ උත්තරයක්” කියමින් නැගිට සැමගෙන් සමුගත්හ.

පසුදිනම අප ඉස්සරහ ඔබගේ දියණිය බැල්ලට දුන්න පා පහර ගැන අපි සතුටු වෙමු. ඒත් දුව අපට සැර වැඩියි. එයාට සමාජයේ වැදගත් කමට ඉන්න උගන්වන්න කියා පණිවිඩයක් ලැබුණේය.

මඟුල් තුලාව එතැනින් හමාර විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා