දස දහස් ගණනින් ‘රීලෝඩ්’ දම්මවා ගැනීමේ ජාවාරමක්

ජංගම දුරකථන හිමිකරුවන් මුලාකර

දස දහස් ගණනින් ‘රීලෝඩ්’ දම්මවා ගැනීමේ ජාවාරමක්

පෞද්ගලික දුරකථන ජාල මගින් පාරිභෝගිකයන්ට හඳුන්වාදෙන විවිධ තරගාවලි උපයෝගි කරගනිමින් එම පාරිභෝගිකයන් රවටා මුල්‍ය වංචාවල යෙදෙන කණ්ඩායමක් කොටුකර ගැනීමට කොළඹ වංචා විමර්ශන අංශය ප්‍රමුඛ රට පුරා ඇති පොලීසි ගණනාවක් මෙහෙයුම් කරයි.

මොබිටෙල් පෞද්ගලික දුරකථන ජාලය හඳුන්වා දුන් “ඩබල් බෙනැන්සා” සහ ඩයලොග් ආයතනය මගින් හඳුන්වා දුන් තවත් තරගාවලි නම් හරහා එම මුල්‍ය වංචා සිදු කර තිබේ.

මේ ජාවාරම දීප ව්‍යාප්තව සිටින සංවිධානාත්මක කල්ලියක් මගින් සිදු කරන වංචාවක් බව කොළඹ වංචා විමර්ශන අංශය පවසයි. මේ ජාවාරම සම්බන්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් කොළඹ වංචා විමර්ශන අංශයටත් දිවයිනේ සෙසු පොලිසි ගණනාවකටත් ලැබී තිබේ.

එම දුරකථන ආයතනවලටද තවත් පැමිණිලි රැසක් ලැබී ඇති බව පවසති. මේ ජාවාරම්කරුවන් දුරකථන ඇති පුද්ගලයන්ට කතා කර මේ තරගවලින් මෝටර් රථයක් හෝ වෙනත් වටිනා දෙයක් ඔහුට ලැබී ඇති බව පවසා යම් මුදලක් නියම කර එම මුදලේ වටිනාකමට සරිලන පරිදි රීලෝඩ් තැන්පත් කිරීමට පවසා තිබේ.

ඊට රැවටුන පාරිභෝගිකයන්ගෙන් රුපියල් පන්දහස, දස දහස , තිස් දහස ආදි වශයෙන් විශාල වටිනාකම්වලින් සමන්විත රිලෝඩ් දම්මවාගෙන ඇත. මේ ජාවාරමට අදාළ එම දුරකථන අංක විශාල ප්‍රමාණයක් භාවිතයෙන් තොර ඒවා බවද හෙළිවී තිබේ.

එක් දුරකථනයකට දමා ගන්නා රීලෝඩ් වෙනත් අංකවලට මාරු කර ඇතැයි සැක කෙරේ. තවද මේ ජාවාරම දුරකථන ඒජන්සි පවත්වාගෙන යන පුද්ගලයන් අතර සිදු කෙරෙන ජාවාරමක් යැයි පරීක්ෂණ අංශ සැක කරයි. මෙවැනි තරගවල නම් සඳහන් කර සිදු කරන මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා