පැපුවානිව්ගිනියාව ආසන්නයේ මඟීන් 350ක් රැගත් යාත්‍රාවක් ගිලෙයි

පැපුවානිව්ගිනියාව ආසන්නයේ මඟීන් 350ක් රැගත් යාත්‍රාවක් ගිලෙයි

200ක් ‍බේරා ගනී

පැපුවා නිව්ගිනියාවට ඔබ්බෙන් මගීන් 350ක් පමණ රැගත් යාත්‍රාවක් ඊයේ අයහපත් කාලගුණය මැද ගිලී ගොස් ඇතැයි විශ්වාස කෙරේ‍. ඉන් විපතට පත් 28 දෙනකු පමණ ඊයේ දහවල් වනවිට බේරාගැනී‍මට හැකිව තිබුණු බව ගැලවුම් සම්බන්ධිකාරකයන් පවසා තිබිණ.

ස්ටාර් ෂිපස් ආයතනය පවසන්නේ එම් වී රැබෝල් ක්වීන් නම් එම යාත්‍රාව සමඟ තිබූ සම්බන්ධතා ඊයේ උදේ 6 ට පමණ නතර වූ බවය. මේ යාත්‍රාව පැපුවා නිව්ගිනියාවට නැ‍ඟෙනහිරින් කිම්බි සිට ලයේ දක්වා ගමන් කරමින් තිබී ඇත.අයහපත් කාලගුණය යාත්‍රාව ගිලීයාමට හේතුවන්නට ඇතැයි සැලකී තිබේ.

ඔස්ට්‍රෙලියානු ගැලවුම් කණ්ඩායම් එම ප්‍රදේශයට දැන් ඇතුළු වී ඇති අතර බේරාගත් 28 දෙනා හැර ඉතිරි සිය ගණනක පිරිස ගැන මෙතෙක් තොරතුරක් නැති බව ස්ටාර් ෂිප්ස් ආයතනය කියා ඇත. ඔස්ට්‍රෙලියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ ආධාර ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ප්‍රදේශය ගුවනින් සෝදිසි කිරීමටද කටයුතු යොදා ඇති බවය.

පැපුවානිව්ගිනියා ජාතික සාගරික ආරක්ෂක අධිකාරිය පවසා ඇති පරිදි යාත්‍රාව පෙරළී ඇත. ඔවුන්ගේ ගැලවුම් කණ්ඩායම් ද සෝදිසි කටයුතුවල නියැලී සිටින බවද සඳහන්ව ඇත.

මේ අතර යාත්‍රාව ගිලීයාමට හේතුව අයහපත් කාලගුණයද පමණට වැඩි මගී සංඛ්‍යාවද නැත්නම් වෙනත් හේතුවක්ද යන්න දැන්ම කිවනොහැකි බව ජාතික ආපදා මධ්‍යස්ථානය කියා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා