ශ්‍රී ලංකා ක්‍රිකට්-සමර්සෙට් ගනුදෙනුව සෙවීමට ඇමැතිගෙන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට්-සමර්සෙට් ගනුදෙනුව සෙවීමට ඇමැතිගෙන් පරීක්ෂණයක්

දෙස් - විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විස්සයි – 20 පළාත් ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු භාරව සිටින සිංගප්පූරුවේ සමර්සෙට් ආයතනය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් අස්සන් කළ ගිවිසුම පිළිබඳ සොයා බැලීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කළේය.

ආයතන දෙක අතර අස්සන් කළ ගිවිසුමේ වාසි හා අවාසි පිළිබඳ විවිධ මත පළවන හෙයින් අදාළ කොන්දේසි ගැන සොයා බැලීම කමිටුවට පවරා ඇත. සමර්සෙට් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් අස්සන් කළ ගිවිසුම පිළිබඳ පසුගියදා පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමක් ද සිදුවුණි.

හිටපු ක්‍රිකට් අතුරු කමිටු නිලධාරීන් හා සමර්සෙට් ආයතනය අතර විස්සයි – 20 පළාත් තරගාවලිය පැවැත්වීමේ එකඟතාවක් ඇති විය. එහෙත් බලාපොරොත්තු වූ පරිදි පසුගිය වසරේදී එම තරගාවලිය පැවැත්වීමට නොහැකි විය. අස්සන් කර ඇති ගිවිසුම ප්‍රකාරව තවදුරටත් තරගාවලිය පැවැත්වීම අත්හිටවුවහොත් සමර්සෙට් ආයතනයට වන්දි මුදලක් ගෙවිමට සිදුවන හෙයින් තරගාවලිය පැවැත්වීම කෙරෙහි වත්මන් ක්‍රිකට් නිලධාරීන්ගේ අවධානය යොමුව පවතී.

එහෙත් මේ ගනුදෙනුව කුමන ආකාරයෙන් සිදු වන්නේ දැයි සොයා බැලිය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලාපොරොත්තුව වී තිබේ. ගණුදෙනුව පිළිබඳ සෙවීමට පත් කළ කමිටුවේ සභාපති ලෙස හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න හා සාමාජිකයන් ලෙස ක්‍රීඩා සභාවේ සභාපති වෛද්‍ය මයියා ගුණසේකර, ඌව පළාත් හිටපු ලේකම් ඩබ්ලිව්. ඒ. තිසේරා, ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. හරිස්චන්ද්‍ර, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් රංජනී ජයකොඩි යන මහත්ම මහත්මීන් කටයුතු කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා