බසයේ දී කලහ කර ගත් දෙදෙනාට ආසනවලම නින්ද ගිහින්

බසයේ දී කලහ කර ගත් දෙදෙනාට ආසනවලම නින්ද ගිහින්

කොළඹ සිට කුරුණෑගල හරහා පොළොන්නරුව බලා ධාවනය වන පෞද්ගලික බස් රථයකි.

කිරිබත්ගොඩ නගරය ආසන්නයට බසය පැමිණෙන විට බොහෝ දෙනෙක් දිග නින්දකට වැටී සිටියහ. තවත් කිහිප දෙනකු සිටගෙන ද ගමන් කළහ.

එහෙත් එකවර ම,

‘කවුද? පිස්සෙක් තමුසෙට ඇස් දෙක නැත් ද?’ යැයි මහ හඬින් අයෙක් මොර දෙන්නට විය.

බසයේ සිටගෙන ගිය අය ද දිගු නින්දකට සැරසෙමින් සිටි සියලුම දෙනා එකවර ම තිගැස්සී අවදි වන්නට විය.

හරි හරි අංකල් පොඩි වැරදීමක් වුණේ. සමාවෙන්න යැ’ යි තරුණයෙක් තරමක් උස් හඬින් කියන්න ට විය. බසයේ සිටි සියලුම දෙනාට සිද්ධිය මහත් ප්‍රහේලිකාවක් විය. ඒ ගැන අසන්නට කිසිවෙකු ද ඉදිරිපත් වූයේ ද නැත.

අවුරුදු 55 ක් පමණ වයසැති පුද්ගලයෙකු ද අවුරුදු 28 ක පමණ තරුණයකු ද මේ ආරවුලට මැදි ව සිටියහ. දෙදෙනා අතර සිදුවූ වචන හුවමාරුව නතර වන පාටක් ද දක්නට නොලැබුණ අතර, බසයේ සිටි සියලුම දෙනාටම මෙය මහත් විනෝදයක් විය.

වරෙක ‘බල්ලා, බූරුවා, ගොනා’ ආදි සතුන් ගේ නම්වලින් දෙදෙනා බැණ ගන්නට විය. කිරිබත්ගොඩ නගරයේ දී ආරම්භ වූ දෙදෙනාගේ කලහය වරකාපොළ නගරය ආසන්න විට ද පැවැතිණි.

නමුත් එකවරම දබරය නතර වූ බවක් පෙනිණි. මේ ගැන විමසිල්ලෙන් සිටි, බසයේ කොන්දොස්තර මහතා අදාළ ආසන වෙත පැමිණ නිශ්ශබ්ද වීමට හේතුව නිරීක්‍ෂණය කරන්නට විය.

දිගින් දිගටම දබර වෙමින් ආ තරුණයාට ද වැඩිහිටි පුද්ගලයාට අදාළ ආසනවල ම නින්ද ගොස් ඇති අයුරු දැකීම කොන්දොස්තර මහතාගේ මුවඟ ට නැගුණු සිනහව නතර කර ගැනීමට නොහැකි වූ අතර, මේ පිළිබඳ තරමක් උස් හඬින් “බලන්න කෝ පූස් පැටව් දෙන්නා වගේ දෙන්නාට ම නින්ද ගිහින් ඉන්න හැටි. දැන් මාර ලස්සනයි” යැයි කොන්දොස්තර මහතා පවසත්ම බසයේ බොහෝ දෙනකුට මතු වූ සිනහව කුරුණෑගල දක්වා ද පැවැති අයුරු දක්නට ලැබුණි.

පසුව සොයා බැලීමේ දී දක්නට ලැබුණේ එක ළඟ වාඩි වී සිටි වැඩිහිටි පුද්ගලයා නින්දට වැටී සිටි වේලාවේ අසල සිටි තරුණයාගේ අත අහම්බෙන් වැඩිහිටි පුද්ගලයාගේ හිසේ වැදීම, සිද්ධියට ද හේතු වී ඇති බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා