මොරටු-ශ්‍රී සුමංගල ක්‍රිකට් තරගය 16-17 දෙදින

මොරටු-ශ්‍රී සුමංගල ක්‍රිකට් තරගය 16-17 දෙදින

මොරටු මහා විදුහලත්, පානදුර ශ්‍රී සුමංගල විදුහලත් අතර වාර්ෂිකව පැවැත්වෙන “රන් සටන” 60 වෙනි මහා ක්‍රිකට් තරගය මාර්තු මස 16 සහ 17 වන දිනවලදී මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවැත්වේ. මොරටු විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාව 1934 දී ආරම්භ වූ අතර පළමු ක්‍රිකට් නායකයා ලෙස ක්‍රියා කර ඇත්තේ එච්. එන්. සමරසිංහයි.

ශ්‍රී සුමංගල විදුහලේ ප්‍රථම නායකයා වනුයේ සෙල්වින් ෆොන්සේකා වන අතර මොරටු විදුහලේ නායක ඩිවිල්ටන් ප්‍රනාන්දු නායකත්වය දැරූ අවධියේ මීට වසර 59 කට පෙර මෙම තරගාවලිය ආරම්භ විය. මොරටු විදුහල මේ දක්වා පවත්වා ඇති තරග 7 ක් ජය ලබා ඇති අතර සුමංගල විදුහල තරග 9 ක ජය වාර්තා කර ඇත.

මොරටු විදුහලට නායකත්වය දීමේ භාග්‍ය උදා වී ඇත්තේ තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන තුන්වන වසරේ වර්ණලාභී පසුගිය වසරේදී ලකුණු 1167 ක් ලබා කඩුලු 103 ක් වාර්තා කළ මෙම පාසල් වාරයේදී ලකුණු 800 ඉක්මවා කඩුලු 99 ක් දවාගෙන ඇති සංඛ රමේෂ් ය. ඔහුගේ උප නායකයා ලෙස ක්‍රියා කරන්නේ තුන්වන වසරේ වර්ණලාභී කණ්ඩායමේ කඩුලු රකින්නා මෙන්ම දක්‍ෂ පිතිකරුවකු වන ජනිත නිමේෂ් ය.

සුමංගල විදුහලට නායකත්වය දෙනු ලබන්නේ හතරවන වසරේ වර්ණලාභී කඩුලු රකින දැනට මෙම පාසල් වාරයේදී ලකුණු 1000 ඉක්මවා ඇති අරුණ ධර්මසේනයි. ඔහුගේ උප නායක ලෙස කටයුතු කරන්නේ තුන්වන වසරේ ක්‍රීඩක තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන මාධව සකුරංගයි. මොරටු විදුහල මෙම පාසල් වාරයේදී පවත්වා ඇති තරග 14 න් හතක් ජය ලබා ඇති අතර සුමංගල විදුහල තරග 13 කට සහභාගි වූ පළමු ඉනිමේ ජය කීපයක් වාර්තා කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා