කාර්යක්ෂම සේවාව-මානසික සුවය සලසන කඳාන දිසා රෝහලට රෝගීන්ගෙන් පැසසුම්

කාර්යක්ෂම සේවාව-මානසික සුවය සලසන කඳාන දිසා රෝහලට රෝගීන්ගෙන් පැසසුම්

කඳාන දිසා රෝහල පළාතේ රෝහල් අතරින් කැපී පෙනෙන එකකි. ක්ෂය රෝගය බියකරු වසංගතයක් බවට පත් වී තිබූ කාලයේදී, එම රෝගයෙන් පීඩා විඳි අසරණ මිනිසුන්ට විවේකයෙන් කල් ගත කිරීමේ ඉඩ පහසුව සලසා දෙමින් මේ රෝහලේ ආරම්භය සිදුවුණි.

එදවස සිටි ධානපතියකු වූ ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් තමන්ට අයත් අක්කර 30 ක පමණ භූමි ප්‍රමාණයක් මේ වෙනුවෙන් පරිත්‍යාග කරන ලදි.

කඳාන දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය කේ.ඒ.ආර්. කේ.කේ. කොල්ලුරේ මහතා සමඟ අත්වැල් බැඳගත් රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි ඇප කැපවීම නිසාම බස්නාහිර පළාතේ රෝහල් අතරින් බෙහෙවින් ජනාදරයට පත්ව ඇත්තේ කාර්යක්ෂම හා අවංක - විනීත සේවයක් මෙමඟින් ඉටුවෙන නිසාවෙනි. මෙහි කාර්ය මණ්ඩලය 150කි. වෛද්‍යවරු 15ක් හා පරිපූරක වෛද්‍ය සේවාවේ 09ක් නිරතව සිටිති. හෙද - හෙදියෝ 41කි. සුළු සේවකයන් 80 කින්ද සමන්විතය. මෙම රෝහලේ පරිපාලන සියලු කටයුතු රාගම ශික්ෂණ රෝහල මගින් අධීක්ෂණය කෙරේ.

මෙය දිසා රෝහලක් බවට පත්වීමෙන් අනතුරුව ක්ෂය රෝගීන් වෙනුවෙන් වෙන් වූ අංශ වැලිසර රෝහලට මාරු කර ඇති අතර මේ වනවිට රෝගීන් සඳහා පිරිසුදු වාට්ටු 08ක්ද හදිසි ප්‍රතිකාර ඒකකයක්ද, බාහිර රෝගී අංශයක්ද සතියේ දින පහේම වෛද්‍ය සායනයක්ද පැවැත්වේ.

කඳාන දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය කොල්ලුරේ මහතා මෙසේ කීවේ ය.

එක්ස්රේ පරීක්ෂණය සඳහා අවශ්‍ය තාක්ෂණ ශිල්පියකු අපට නෑ. ඒ පිළිබඳව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාට දැනුම් දීමෙන් අනතුරුව එම පරීක්ෂණ සඳහා එන රෝගීන් රාගම ශික්ෂණ රෝහලට යොමු කරනවා. රාගම ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රෝයි පෙරේරා මහතා කඳාන දිසා රෝහලේ සංවර්ධන කටයුතු සඳහා නිරතුරුවම සහාය ලබා දෙනවා.

රෝහල් භූමියේ විහාරස්ථානයක් සහ කිතුනු දෙව් මැදුරක් ඉදිකර තිබීම නේවාසික මෙන්ම බාහිර රෝගීන්ටද මානසික සැනසුමක් වී තිබේ.

මේ රෝහලේ දීර්ඝතම කාලයක් සේවය කරන කළඑලියේ හෙදි නිලධාරිනියක කුමුදිනී ජයසිංහ මහත්මිය මෙසේ කීවා ය.

වෛද්‍ය කොල්ලුරේ මහතාගේ පැමිණීමෙන් පසුව ඉමහත් දියුණුවක් ලැබුවා. ඔහු කාර්ය මණ්ඩලයට වගේම රෝගීන්ටත් කරුණාවයි. එමෙන්ම අප හා තවත් දීර්ඝ කාලයක් මෙහි වෛද්‍ය සේවයේ යෙදී සිටින වෛද්‍ය රංජන් ප්‍රනාන්දු මහතාගේ සේවයත් ලෙඩුන්ගේ විශේෂ ප්‍රසංශාවට ලක්ව තිබෙනවා. රාජකාරිය දේවකාරියක් ලෙසින් සලසන ඔවුන්ගේ සේවය හා අප රෝහලේ සාත්තු සේවිකාවන්ගේ හා සියලුම දෙනාගේ දයා කරුණා මෛත්‍රීය හා ළෙන්ගතුකම නිසා ලෙඩුන් පවසන්නේ එය රෝහලේ බෙහෙත්වලට වඩා මානසික සුවයක් බවයි.

රෝහලේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තා පොලිස් නිලධාරිනියක් මෙසේ කීවා ය.

ඇත්ත වශයෙන්ම ලෙඩෙකු සුව වන්න ප්‍රථමයෙන්ම අවශ්‍ය ආදරය සහ කරුණාවයි. ඒ දෙකම මේ රෝහලේ වෛද්‍යවරුන් වගේම සෞඛ්‍ය හෙදියන්ගෙන් නොමදව ලැබෙනවා. ගෙදරක සිටිනවාට වඩා විශේෂ සැලකිල්ලක් ලැබෙනවා.

රෝහල් සේවක තිලකසිරි

රෝහලේ පාලකයන්ගේ යහගුණය කරුණාව - ආදරය නිසා අපත් රෝගීන් හා ඉතා කරුණාවෙන් කටයුතු කරනවා. මේ රෝහලේ විශේෂ ලක්ෂණයක් තමයි වෛද්‍ය හෙදි කියල සේවක සේවිකාවියන් කියල උස් පහත් භේදයක් නැහැ. වෙනත් රෝහල්වල නැති එකමුතු කමක් මෙහි තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා