අම්පාර මැතිවරණ කාර්යාලයේ අනියම් කම්කරුවකුට උපහාර

අම්පාර මැතිවරණ කාර්යාලයේ අනියම් කම්කරුවකුට උපහාර

අම්පාර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවලදී ශ්‍රමය ලබාදුන් අනියම් කම්කරුවකුට උපහාර පිදීමේ උත්සවය පසුගියදා අම්පාර දිසාපති කාර්යාලයේ දී පැවැත්විණි. ඊට අමතරව එම කම්කරුවාට මුදල් පරිත්‍යාගයක් සහ ආර්ථිකය සවිමත් කර ගැනීමේ අරමුණ ඇතිව එළදෙනුන් දෙදෙනකුද ලබාදුනි.

1994 මහ මැතිවරණයේ සිට පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය දක්වා වසර 18 කාලයක් අනියම් කම්කරුවකු ලෙස අම්පාර සහකාර මැතිවරණ කාර්යාලයේ සේවය කළ 57 හැවිරිදි ගොඩගේ සිරිපාල මේ උපහාරයෙන් පිදුම් ලැබීය.

අම්පාර සහකාර මැතිවරණ කොමසාරිස් එම්. එම්. එස්. කේ. බණ්ඩාර මාපා මහතාගේ සංකල්පයකට අනුව අම්පාර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් විසින් මේ උපහාර උළෙල සංවිධානය කරන ලදී. මැතිවරණ කටයුතු සඳහා සේවය කළ සියලුම සහකාර තේරීම් භාර නිලධාරීන් විසින් අම්පාර මහ දිසාපති නීල් ද අල්විස් මහතාගේ අනුග්‍රහයෙන් මෙය පැවැත්විණි.

අනියම් කම්කරුවකු ලෙස කටයුතු කළත් ඔහුට පවරන හැම කටයුත්තක්ම නිවැරදිව සිදුකළ බව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන රාජ්‍ය කළමනාකරණ සහකාර ඩබ්ලිව්. එස්. එම්. චන්ද්‍රසේන මහතා කීවේය.

අනියම් කම්කරුවකු ලෙස සේවය කළ සිරිපාල මහතාගේ වයස අවුරුදු 57ක් නිසා සේවය ස්ථිර කිරීමට නොහැකි බවත් ඔහු සිදුකළ සේවය වෙනුවෙන් ඒ මහතාගේ අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට උපකාර කිරීම සඳහා මේ උත්සවය සංවිධානය කළ බවත් අම්පාර සහකාර මැතිවරණ කොමසාරිස් එම්. එම්. එස්. කේ. බණ්ඩාර මාපා මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා